‘හල්ෆ්ට් ඩෝප්’ එදා සහ අද

‘‘හල්ෆ්ට් ඩෝප් කියන්නෙ මොකක්ද?’’ මගේ දියණිය එක් වරම මගෙන් ප්‍රශ්නයක් ඇසුවා ය. ඇයට එක්කෝ පොතකින් පත්තරයකින් හෝ රූපවාහිනී වැඩසටහනකින් මෙම වචනය අහුවන්නට ඇත. නැතහොත් ගුරුතුමියක් පාඩමක දී මෙම වචනය කියා දෙන්නට ඇත. වචනය කොහෙන් ලැබුණත් පිළිතුරු බැඳීම පියා සතු අනුල්ලංඝනීය වගකීමකි.

‘‘හල්ෆ්ට් ඩෝප් කියන්නෙ කොළඹ නගරයේ එක ස්ථානයක්.’’ මම කෙටි පිළිතුරකින් ඇයට උත්තර බැන්දෙමි. ප්‍රශ්න මල්ල එන්නට පටන් ගත්තේ ඊළඟට ය.

‘‘හල්ෆ්ට් ඩෝප් කියන්නෙ අමුතු නමක්නෙ. ඒ නම මොන භාෂාවෙද?’’

‘‘ලන්දේසි භාෂාවෙ. හල්ෆ්ට් කියන්නෙ ප්‍රසිද්ධ ලන්දේසි සෙනෙවියකුගෙ නමක්. ඩෝප් කියන්නෙ ගම නැත්නම් ස්ථානය වගේ තේරුමක් දෙන ලන්දේසි වචනයක්. හල්ෆ්ට් කියන සෙනෙවියා හිටපු තැනට තමයි අපි අද හල්ෆ්ට් ඩෝප් කියන්නෙ.’’

‘‘තව විස්තර කියන්නකො.’’ පැත්තකට වී අපේ කතාවට කන් දී සිටින පුතා ද ඉල්ලා සිටී.

‘‘පෘතුග්‍රීසීන්ට ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ අයිති වෙලා තිබුණා. ඒත් කාලෙකට පස්සෙ ඒ ප්‍රදේශ ලන්දේසීන් නැත්නම් ඕලන්ද ජාතිකයන් අල්ලා ගත්තා. ලන්දේසීන් කළේ කන්ද උඩරට රජකම් කළ දෙවෙනි රාජසිංහ රජ්ජුරුවොත් එක්ක ගිවිසුමක් ඇති කර ගන්න එක. පෘතුගීසීන් ලංකාවෙන් පලවා හරින තීරණාත්මක සටනටයි හල්ෆ්ට් ලංකාවට එන්නෙ. ජෙරාඩ් හල්ෆ්ට් සෙනෙවියා ක්‍රි. ව. 1655 දී 2500 පමණ සේනාවක් රැගෙන මුලින් ම පැමිණෙන්නෙ ගාල්ලට. ගාල්ලේ සිට වෙරළබඩ තීරයේ ඇති පරංගි කඳවුරු යටත් කර ගන්නා හල්ෆ්ට් කළුතර බලකොටුවත් අත්පත් කර ගන්නවා. කොළඹ පරංගි කොටුව යටත් කර ගන්නට ඔහු අද හල්ෆ්ට් ඩෝප් කියන ස්ථානයේ කඳවුරු බඳිනවා.’’

‘‘හල්ෆ්ට් ඩෝප් කොළඹ නගරයේ තියන උස්බිමක්. මුහුදු මට්ටමේ සිට අඩි 40ක් පමණ උසයි. උස්බිමක සංග්‍රාමීය වැදගත්කම වටහාගත් නිසා හල්ෆ්ට් මෙතැන කඳවුරු බඳින්න ඇති. ඒත් වෙනත් බලකොටු යටත් කරගත් තරම් පහසුවෙන් කොළඹ බලකොටුව යටත් කරගන්නට ලන්දේසීන්ට ඉඩ ලැබෙන්නෙ නෑ. කොටින් ම පෘතුගීසීන් බන්දේසියක තියලා කොළඹ ලන්දේසීන්ට භාර දෙන්ට සූදානම් නෑ. ඔවුන් යටත් නොවී සටන් කරනවා. කොළඹ කොටුව බේරා ගන්නටයි පෘතුගීසීන් වෑයම් කළේ. මේ නිසා සටන දිගින් දිගට ඇදෙනවා. හල්ෆ්ට් මාස කීපයක් ම මේ ස්ථානයේ කඳවුරු බැඳගෙන සටන් කරනවා. අන්තිමේ දී පෘතුගීසීන් මෙතනට බිහිසුණු ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ 1656 අප්‍රේල් 9 වෙනිදා. ප්‍රහාරයෙන් හල්ෆ්ට් මිය යනවා. හල්ෆ්ට් සෙනෙවියාගෙ මරණය සැල වුණා ම දෙවෙනි රාජසිංහ රජ්ජුරුවොත් කනගාටු වුණා ලූ.

හල්ෆ්ට්ගෙ මරණයෙන් වියරු වැටෙන ලන්දේසීන් යෝධ ප්‍රහාරයකින් පසුව කොළඹ කොටුව යටත් කර ගන්නවා.’’

මෙතනට ‘සන්ත බස්තියම’ යන නම ද ව්‍යවහාර වන බව මම දරුවන්ට කියා දුනිමි.

එමෙන් ම ‘වුල්ෆන්ඩල්’ යන නමද මෙතැනට ව්‍යවහාර වෙයි. ‘වුල්ෆ්’ යනු වෘකයා ය. වෘකයන්ගේ තැන්න යන අදහසින් වුල්ෆන්ඩල් යන නම මෙයට යෙදී ලූ. එහෙත් ලංකාවේ වෘකයන් දක්නට නොලැබේ. මෙතැන ගැවසුණු සිවල් රංචු නිසා මෙම නම ව්‍යවහාරයට එන්නට ඇතැයි යන්න පිළිගැනීමයි.

හල්ෆ්ට් ඩෝප් නම් ස්ථානය ආශ්‍රිතව අලුත්කඩේ උසාවි සංකීර්ණය පිහිටා තිබීම එහි වර්තමාන වැදගත්කම වැඩිවන්නට හේතු වී තිබේ. මුලින් ම අධිකරණ සංකීර්ණය පිහිටුවා ඇත්තේ කොටුවේ ගෝර්ඩන් උද්‍යානයේ ය. එහෙත් ඒ අසලම යුද්ධ දෙපාර්තමේන්තුව ද පිහිටා තිබිණි. උසාවියෙන් වරදකරුවන් වූ අයට කස පහර දෙමින් තම ආයතනය අසලින් කැඳවා ගෙන යාම යුද්ධ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විරෝධයට හේතු විය. මේ ආරවුල සංසිඳුවන්නට මැදිහත් වූ ෆ්‍රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා අලූත්කඩේ සිය නිල නිවස අතහැර රජගෙදර පදිංචියට ගොස් අධිකරණය 1804 දී හල්ෆ්ට් ඩෝප් හෙවත් සන්ත බස්තියමට ගෙනාවේ ය. එදා සිට අද දක්වා ම උසාවි සංකීර්ණය අලූත්කඩේට ස්ථාන ගත වන්නේ ඒ ආකාරයට ය.

ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය අපට පසක් කර දෙන වුල්ෆන්ඩොල් පල්ලිය හෙවත් ආදුරුප්පු පල්ලිය පිහිටා ඇත්තේ ද ඒ ආශ්‍රිතව ය. පල්ලියේ ආරුක්කුවේ ම සඳහන් ආකාරයට මෙම පල්ලිය ගොඩනඟා ඇත්තේ ද ක්‍රි.ව. 1749 දී ය. පල්ලිය තනා ඇත්තේ කුරුසියක හැඩය ලැබෙන ආකාරයට ය.

සීතාවක රාජසිංහ රජුගේ වකවානුවේ මෙම ස්ථානය බොරළුගොඩ නමින් හැඳින් වූ බව රාජාවලී වාර්තාව අනුව පැහැදිලි වේ. රාජාවලියේ මෙසේ සඳහන් ය. ‘‘රාජසිංහ රජ කොළඹ ආක්‍රමණය කළ විට වික්‍රමසිංහ මුදලි බොරළුගොඩ පහළ වාඩි ලා සිටියේ ය. සෙනෙවිරත්න මුදලි බොරළුගොඩ තැන්නේ වාඩි ලා සිටියේ ය. බොරළුගොඩ හින්නේ ආදිරිප්පු පල්ලිය පිහිටා තිබෙන්නේ ය.’’

කාලයාගේ ඇවෑමෙන් බොරළුගොඩ යන නම ව්‍යවහාරයෙන් ඈත් වූ බව පෙනෙයි. එහෙත් 1749 ලන්දේසීන් තැනූ ආදුරුප්පු පල්ලිය ගැන පෘතුගීසීන් විසූ සීතාවක රාජසිංහ යුගයේ වාර්තාවේ ද දක්නට ලැබෙයි. පෘතුගීසි සමයේ මෙතැන පල්ලියක් තිබුණා ද? නැතහොත් ස්ථානය සිය පාඨකයන්ට විස්තර කරන රාජාවලී කතුවරයා පසුව ඉදිවුණු පල්ලිය ආශ්‍රිතව ප්‍රදේශය විස්තර කළා ද යන්න හරිහැටි සඳහන් කිරීම අසීරු ය.