සමනල තටු..!

රොනට ඇදෙන සමනලයකු දෙන්නකු දැකගන්නට ලැබීම මහා භාග්‍යයකි. සමනලයා පමණක් නොව ගේ කුරුල්ලා, වී කුරුල්ලා සහ කපුට‍ා ද ගංගොඩෙන් ද අපේ ඇසින් ද වසන් කරන්නට සමත් වූ කෘෂි රසායනික රකුසා හට ශාප කරන්නට පවා මම වරෙක අනුවණ වෙමි. එහෙත් සැබැවින්ම අප ශාප කළ යුත්තේ ඉවක් බවක් නැතිව ප්‍රමිතියෙන් තොර කාෂි රසායනික මෙරට පසද, ගොවියාගේ වකුගඩුද බිලි ගන්නා තරමට ආනයනය කරන්නට ඉඩ දී නිද්‍රාශීලී වූ එදා මෙදා තුර හැම ආණ්ඩුවකටම ය.

මේ කුඩා දූපත ලොව වෙනත් බලවත් රටවල වෙළෙඳපොළක් බවට පත්වන්නට ඉඩ හැරීම මොනතරම් මුග්ධ පිළිවෙතක්දැයි වටහාගන්නට අපේ නායක කාරකාදීන් තවමත් සමත් වූ බවක් පෙනෙන්නට නැත.

අතිශය සොඳුරු පියාපතින් හැඩ වැඩ වූ සියුමැලි සමනලයා දැකීමෙන් ජනිත වූ සොම්නසට දීර්ඝායුෂ නොදෙන කටුක යථාර්ථය මගේ කඩිසරකම ද උදුරාගනියි. එහෙත් දුරකතනයෙන් මා ඇමතූ ඇය මගේ කෝපයත් අප්‍රසාදයත් තුනී කර දැමුවා ය.

“හරි අම්මේ... මම එන්නම්” යි මම පොරොන්දු වීමි.

“ආ...ඒ ගමන අම්මයි දුවයි පටන් ගත්තද රෝන්දෙ ගහන්න ? “යි පොඩි පුතා සරදම් කළේ ය.

“අම්ම අඬගහන ඕනම වෙලාවක මම යන්න ඔන නේ පොඩි පුතා....”

“ඒ ඇයි?”

“ඒ මගේ අම්මා හිංදා.. මම ඒ අම්මගේ ලොකු දුව හිංදා...”

“හරි ඉතිං... ඒ වුණාට අම්මටත් දරුවො පස්දෙනෙක්නෙ කොච්චර වැඩ තියෙනවද...”

ඉලන්දාරියා අල්ලන්නට සැරසෙන අඩව්ව කුමක්දැයි ප්‍රශ්න කෙරෙන බැල්මකුත් එක්කම මම පිළිතුරු දුන්නෙමි.

“නිදහසට කාරණා අනවශ්‍ය යි. අනේ මට එන්න විදියක් නෑ අම්මේ... පොඩි පුතාට පංති... මද්දු පුතාට සනීප නෑ.. ගෙදර වැඩ කෙළවරක් නෑ... මගේ හිස කකියනවා. ඔන්න ඔය වගේ නිදහසට හේතු දක්වන්න නම් මම කැමතිම නෑ. අම්ම මට හැමතිස්සෙම කරදර කරන්නෙ නෑනෙ. ඉතිං එන්න කියපු වෙලාවට මට දරුවො පහක් නෙමේ දහයක් හිටියත් මම යනවා..”

පොඩි පුතා වට පිට බැලුවේ ය.

“මද්දු.. පුංචෝ.... චූටියෝ..මේ බලනවා.... අපේ අම්මා චණ්ඩියෙක් වෙලා....” ඔහු කෑ ගැසුවේ මා මුවඟ සිනා නංවමිනි.

“අම්ම කෙනෙක් අඬගැහුවම මොන වැඩේ තිබ්බත් දුවගෙන යන එක චණ්ඩිකමක්ද...?

“මේ මේ ඇත්තමයි කියන්නෙ... චූටියට සනීප නෑ නේද...?”

“හරි හරි.. එයාට බෙහෙත් දීලා එයාගේ පොඩි අයියට එයාව බලාගන්න කියල තමා මම යන්නෙ....”

“අනේ මට බෑ ලෙඩ්ඩුන්ට සාත්තු කරන්න.”

ගැටවරයා මුහුණ හකුලා ගත්තේ ය. යුහුසුලුව ඒ මේ අත දිව ගිය මම රෑ බත උයා තබන්නට වෙහෙසුණෙමි. ආපසු එන්නට ප්‍රමාද වුවහොත් ඒ සඳහා කාල වේලාවක් නොලැබේ.

“මට දැන් හොඳයි. මාත් එනවා.” යි චූටි පුතා කන්කෙඳිරි ගෑවේ ය. අන්තිමේ දී මා මගේ මව වෙත ගියේ පොඩි තුන්කට්ටුවත් එක්කම ය.

ලෙඩෙක් හෝ බබෙක් බලන්නට නොඑසේ නම් මළගෙයකට පන්සලට යාමට අම්මා මට ඉඳහිට අඬගසයි. එවිට කෙසේ හෝ ඇය කැටිව යාමට මම වග බලා ගනිමි.

“කිරි අම්මා අඬගහපු හැටියෙ මේ අම්ම දුවගෙන යන හැටි. ඒවෙලාවට අම්මට අපිවත් මතක නෑ...” යි වරෙක මද්දු නෝක්කාඩු කියයි.

“කිරි අම්ම හැමදාම අඬගහන්නෙ නෑනෙ මද්දු.. මතකනෙ මුත්තම්මා.. දැං නෑනේ. ඉන්නකං අපි අපිට කරන්න පුළුවන් උපරිම දේ කරන්න ඕ‍න...” යි මා කියන කල ඔහු හිස සලයි.

අනේ ලොකු දුවේ පන්සලට යන්න බැරි වුණා හුඟක් දවසකින්...”

අම්මා කියන්නේ සමාව අයඳින බැල්මක් හෙලමිනි. අතිශයින් කාර්යබහුල වැඩිමලීට කරදර කරන්නට සිදුවීම පිළිබඳව ඇය පසුතැවෙන සෙයකි.

“ඉතිං යමු.. පුතේ ඔයාලා මල් කඩන්න කෝ...”

දරුවන් මල් නෙළන්නට ගිය අතර අම්මා සූදානම් වූයේ ප්‍රබෝධයෙන් ඉපිළෙමිනි.

පන්සලේ ශාන්ත සුන්දරත්වයට සල්මල් සුවඳ එක් වූ කල මල් පිරුණ සල් ගස සැබැවින්ම සොඳුරු දසුනකි.

“දඟලන්න කෑගහන්න එපා. පන්සලේ දී සංවරව හැසිරෙන්න ඕන.

මම නිවුන් පුතුන්ට සහ මද්දුට රහසින් අවවාද කළෙමි. සමිත හාමුදුරුවෝත් සුදු මල්ලිත් මාත් අතර පිළිසඳර නවත්වාලන්නට සිදු වූ‍ෙය් මුස්ලිම් තරුණයන් දෙදෙනකු ගේ පැමිණීම නිසා ය. ඔවුන් දුටු පමණින් මට දැනුණේ බලවත් සතුටකි. ඔවුන්ට ඉඩ දී මාත් සුදු මල්ලිත් මඳකට ඉවතට ගියෙමු. සමිත හිමි සමඟ කතා බහ නිමාකළ තරුණයන් දෙදෙනා ආපසු ගියෝය.

“නෝම්බි උපවාස කාලෙ හමාර කිරීම නිමිත්තෙන් පවත්වන උත්සවයකට ආරාධනා කරන්නයි ඒ දෙන්නා ආවෙ....”

සමිත හාමුදුරුවෝ පැහැදිලි කළ හ.

“හරි හොඳයිනෙ ඒක තමා ආගමික සහජීවනය.”

මම මහත් සොම්නසින් කීවෙමි.

“ගිය පාරත් අපි ගියා. හාමුදුරුවරු පහළොස් නමක්ම. පල්ලියේ තමා උත්සවේ තියෙන්නෙ. අපිට බොහොම ගරු සරු ඇති ව සැලකුවා...”

කටියාව යාය හත මුස්ලිම් පල්ලියේ මේ වැඩපිළිවෙළ කොතරම් අගනේදැයි මට සිතිණ. මුස්ලිම් භීතිකාවක් මවාපාන ඇතැම් චීවරධාරීන් සමඟ සසඳා බැලීමේ දී මුස්ලිම් පල්ලියට වැඩම කොට ආගමික සහජීවනය ප්‍රායෝගිකව විදහාපාන භික්ෂුව කොපමණ උතුම් ද?