වාද විවාද වෙනුවට හෘදයාංගම ආමන්ත්‍රණයක්

යාපනයේ වී. එස්. බී. වෙළෙඳ ව්‍යාපාරය මට මතක් වුණේ ජගත් සංවිධානය ශ්‍රී ලංකාවේ කරන්න හදන පරීක්ෂණ ගැන මේ දවස්වල මතුවන සංවාද දැක්කහමයි. එවැනි ඒකපාර්ශ්වීය පරීක්ෂණය අභියෝගයට ලක්කිරීමේ හැකියාව ලංකාවට තිබෙන බවට ඇතැම් නීති විශාරදයන් තර්ක කරනවා. ඊට ප්‍රතිවිරුද්ධව අදහස් පළ කරන නීතිවේදීන් හා විද්වතුන් පවසන්නේ ජගත් පරීක්ෂකයන්ට ශ්‍රී ලංකාවට ගොඩබසින්න දීමේ වරදක් ඔවුන් නොදකින බවයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමසාරිස් පදවිය හොබවන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවාත් ජගත් පරීක්ෂණ කමිටුව පිළිබඳව අදහස් දක්වපු විද්වතුන් අතරින් කෙනෙක්. ජගත් සංවිධානයේ පරීක්ෂණය පිළිනොගැනීමට අයිතියක් ශ්‍රී ලංකාවට තිබෙන බවයි එතුමාත් පවසන්නෙ. එසේම එවැනි පරීක්ෂණයකදී සාක්ෂි දීමට ඉදිරිපත් විය හැක්කේ මෙරටින් පිටව ගොස් සිටින අතළොස්සක් වූ කොටි හිතවාදීන්ට බවත් කොමසාරිස්තුමා ප්‍රකාශ කර තිබෙන බව පුවත්පතක පළ වී තිබුණා.

ජාත්‍යන්තර කොමිෂන් සභා හෝ මානව අයිතිවාසිකම් ගැන ලොකු දැනුම් තේරුම්කමක් නැති මම ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ඇතුළු නීති විශාරදයන් හා විද්වතුන් එක්ක තර්ක විතර්ක කරන්න සූදානම් වන්නේ නැහැ. ඒත් න්‍යාය ‍ටොන් එකකට වඩා අවුන්සයක තරම් ප්‍රායෝගිකත්වයක් වටිනවාය කියන මාක්ස්වාදී අදහස පිළිගන්න කෙනෙක් හැටියට අපේ පුංචි ශ්‍රී ලංකාවේ ජීවත් වන විවිධ ජන වර්ගයන් අතර වගේම විවිධ ආගම් දහම් අදහන බැතිමතුන් අතරත් දිගු කල් පවතින සහෝදරත්වයක් ඇතිකිරීමේ දී න්‍යාය ධර්මයන්ට වඩා භාවිතය වැදගත්ය කියා සිතනවා.

පසුගිය යුද්ධ සමයේ කොටි හිතවත් දෙමළ ප්‍රජාවට මෙන්ම කොටි විරෝධී හෝ කොටි සංවිධානයේ කටයුතුවලට එකඟ නොවූ බොහොමයක් දෙමළ ජනයාටත් ශ්‍රී ලංකාව අතහැර යන්න සිද්ධ වූ බව රහසක් නොවේ. මට යාපනයේ වී. එස්. බී. ව්‍යාපාරිකයන් සිහියට නැඟුණේ ඩයස්පෝරාවේ උදවිය ජගත් කොමිසමට සාක්ෂි දීමට ඉදිරිපත් වන බවට මේ දවස්වල කෙරෙන උණුසුම් කතාබහ නිසයි.

වී. එස්. බී. වෙළෙඳ ව්‍යාපාරය කියන්නේ යාපනයේ තිබුණු ප්‍රමුඛ පෙළේ සමාගමක්. 2002 වෙන විට ප්‍රීමා පිටි, මිට්ෂූයි සිමෙන්ති, සී. අයි. සී. එස්ලෝන් ආදී නිෂ්පාදනවල යාපනයේ ප්‍රධාන වෙළෙඳ නියෝජිතයා වුණේ මේ ව්‍යාපාරය. සාම ගිවිසුම පැවති සමයේ කොටි සංවිධානය මෙම ව්‍යාපාරිකයන්ට දරාගන්න බැරි තරමේ බද්දක් පැනෙව්වා. කොටි සංවිධානයෙන් සහනයක් ඉල්ලා සිටියත් ඔවුන්ට ලැබු‍ණු පිළිතුර වුණේ “බදු ගෙවන්න බැරි නම් ව්‍යාපාරය වසා දමාපල්ලා” කියායි. අවසානයේ ක්‍රියාත්මක වුණේ කොටීන්ගේ දෙවන නියෝගය යි. වෙළෙඳ ව්‍යාපාරය වසා දමා වී. එස්. බී. සමාගමේ හවුල්කරුවන් හැමෝම පවුල් පිටින් විදේශගත වුණා.

එදා ඇතිවුණු මරණ බියත්, කළකිරීමත් නිසා ඔවුන් මුනිවත රැකගෙන සිටියත්, අවස්ථාවක් ලැබුණොත් අද ලෝකයේ කොයි කොණක ජීවත්වුණත් තමන්ට අත්වූ අවාසනාවන්ත ඉරණම පිළිබඳව ඒ අය කතා නොකර සිටින එකක් නැහැයි කියා මා හිතනවා. වර්තමානයේ අපි ඩයස්පෝරාව ලෙස හංවඩු ගසා සිටින එතෙර ගිය ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව අතර වී. එස්. බී. වර්ගයේ මිනිසුන් තවත් කොපමණ සිටිය හැකිද?

න්‍යාය සහ භාවිතය අතර ප්‍රශ්න මතු වන්නේ මෙවැනි සංකීර්ණ ගැටලු හමුවේය කියලයි මට හිතෙන්නේ. නා නා ප්‍රකාර ලේබල් ගසා මිනිසුන් හෝ සිදුවීම් වර්ගීකරණය කිරීම ඉතාම පහසුයි. ඒ සඳහා ඕනෑ තරම් න්‍යායන් ද සකසාගන්න පුළුවන්. නමුත් අසීරු කාරණය වන්නේ මිනිසුන් හෝ දේවල් එකතු කිරීමයි. එහෙමත් නැත්නම් මිනිස් සිත් සතන්වල හෝ දේවල්වල අභ්‍යන්තර තතු තේරුම් ගැනීමයි.

ශ්‍රී ලාංකික සමාජය තව තවත් කැබලිවලට කඩා වෙන්කරන වර්ගයේ වාද විවාද වෙනුවට විරසකයන් දුරලිය හැකි ආකාරයේ හෘදයාංගම ආමන්ත්‍රණයක් කිරීමයි අද දවසේ අප කාගේත් කාර්යභාරය විය යුත්තේ. අපේ පුංචි රටට අද විසඳාගන්න තිබෙන ප්‍රශ්න හා ගැටලු අනාගත පරපුරට පැවරුවොත් මතු දවසක අපි සියලුදෙනාම ඔවුන්ගේ ශාපයට ලක්වෙනවා නියතයි.