සොබාදමේ අසිරිමත් තිළිණය

සොබා දහම මිනිස් ලෝකයා වෙත බොහෝ දේ තිළිණ කර දී තිබේ. ආශ්වාස ප්‍රශ්වාසයට වාතයත්, බීමට ජලයත්, ආහාරය සඳහා පලවැලත් කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරවම මිනිසා වෙත තිළිණ කර දුන් සොබා දහම සියලු මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කළා වු අසිරිමත් තිළිණය කුමක්දැයි විමසා බැලීමේ සිතිවිල්ල මා හද තුළ කෙසේ පහළ වූයේ දැයි නොදන්නා නමුදු මම ඒ සිතිවිල්ල ඔස්සේ හඹා යමි.

ලොව බොහෝ රට රාජ්‍යයන්හි නොදුටු විරෑ සුන්දරත්වය තාක්ෂණය විසින් අප අභිමුවට ගෙනෙයි. එක් තැනක සිට තවත් සැතපුම් සිය දහස් ගණනක් දුර වෙසෙන අප සමීපතමයන් නෙත් මානයට ඇසි දිසි මොහොතකින් සමීප වේ.

ක්ෂීර පථය නම් වූ චක්‍රාවාටයට එපිටින් ඇති නොදන්නා වීරූ ලෝක පවා ගවේෂණය කිරීමේ තාක්ෂණය මොහොතින් මොහොත දියුණ වෙමින් පවතී.

ඒ සියල්ල එසේ සිදුවන අතරම ලොව සෑම තැනකම විවිධාකාරයෙන් එකිනෙකට අනන්‍ය වූ මිනිස් සමූහයා එකිනෙකා කෙරෙහි දයාවෙන්, කරුණාවෙන්, මෙන් ම ‍ෙවෙරයෙන් හා ක්‍රෝධයෙන් විවිධ වූ ක්‍රියාකාරකම්හි යෙදේ.

ගාසාවේ ඊශ්‍රායලය හා පලස්තීනය ගැටෙද්දී, ලිබියාවේ කැරලි කරුවෝ සහ රජය ගැටෙයි. අල්කයිඩා ත්‍රස්ත්‍රවාදයට එරෙහිව සාමය අගයන්නෝ පවුරු බැදීමට උත්සාහ දරති. අප්‍රිකාවෙන් මතුවන “ඉබෝලා” වෙරසයට එරෙහිව සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රය ඖෂධ සොයාගැනීමේ අරගලයක ය.

සෑම පුද්ගලයකුම තමන්ටම අනන්‍යය වූ කිසියම් වූ අරගලයක ය. එම අරගලය තමන් සමඟ වසන තමන්ගේ අනෙකා සමඟ විය හැකි ය.

එසේ නැති වුව ජීවත්වීම සඳහා විය හැකියි. පැවැත්ම රැක ගැනීම උදෙසා විය හැකියි. සියල්ල කෙසේ වුව මිනිසා විසින් ස්වකීය අනෙකා වෙත නිරායාසයෙන් තිළිණ කරන්නාවු අසිරිමත් තිළිණය කුමක්දැයි වටහා ගමි.

සොබා දහම විසින් සියලු මිනිසුන් වෙනුවෙන් නිර්මාණය කළා වූ ඒ මහානර්ඝ අසිරිමත් තිළිණය “සිනහව” යනුවෙන් නම් කිරීමට කැමැත්තෙමි.

ඒ අසිරිමත් සිනහව පිළිබඳ ව නැවත නැවතත් සිතා බලන්නට සිනහව වින්දනය කරන්නට ‍මට සිත් වූයේ විශාල මිනිස් අවකාශයක විවිධාකාර සිනහ අත්දකින්නට ලත් අවස්ථාවයි. බත්තරමුල්ල “ දියත උයන” හිස් අවකාශයක් පුරවා ගොඩනැ‍ඟෙන්නා වූ විශාල මිනිස් අවකාශයක එක් මොහොතක් ලෙස මට හැ‍‍ඟේ.

ආහාර පාන ගැනීමට, පවුලේ සියල්ලන් සමඟ වෙනසකට ගොඩවෙන තැනක් ලෙස, නිවෙස් කූඩු තුළ සිරගත වූ කුඩා උන්ගේ කෙළි පිටියක් ලෙස, ගෙවත්තට මල් පැළයක් විසිතුරු පැළයක් සොයා ගෙන පාරිභෝගිකයන්ගේ වෙළෙඳ පොළක් ලෙස විවිධාකාරයෙන් නිර්වචනය කෙරෙන , නිර්වචනය කළ හැකි භූමිය “සිනහ අවකාශයක්”ලෙස හඳුනාගමි.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජාතිකයන් ලෙසට වර්ගීකරණය වු ලාංකීය සමාජය, බ්‍රිටිෂ්, අමෙරිකන්, ඉන්දියන්, සෞදි, ජපන්, චීන, කොරියන්, අප්‍රිකන්, මාලදිවයින් ආදී විවිධාකාර ජාතිකයන් සමඟ සම්මිශ්‍රණය වන්නේ “දියත උය‍න” තුළ දී ය. එතෙක් සැප බස්වල යමින් එමින් සිටි සංචාරකයන් දේශීය ජනතාව සමඟ මුසුවෙමින් ස්වකීය සිනහව අනෙකා සමඟ හුවමාරු කරගනී.

කුඩා දරුවන් ස්වකිය රැකවලුන්ගෙන් මිදී නිදහසේ දුව පැනයයි. නිවෙස් තුළම සිරගතව සිටින අසනීපයෙන් පසුවන දූ දරුවෝ, මවුපියෝ, අත්වාරුවලින් රෝද පුටුවලින් සිය සමීපතමයන් සමඟ ඔවුනගේ ආධාරයෙන් නිදහසේ පියමං කරති. මා සිත සතුටිනි. සමාජය වෙනස් වෙමින් තිබේ. ඒ බව හැ‍ඟෙන්නටම තිබේ. තව දුරටත් කිසියම් මට්ටමකට අනෙකා දෙස අමුතු ඇසකින් බලනවා වෙනුවට අනෙකා සමඟ සිනාවීමට, සිනහව වැපිරීමට සමාජය කිසියම් වූ උත්සාහයක යෙදෙන වග මට පසක් වෙයි.

සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දිනවල, දවස පුරා ඇස ගැ‍ටෙන සිනහවන් එක් කැන්වසයකට ගත හැකි නම් මොන තරම් අගනේ දැයි මට සිතේ. මලක් දැක මල් ගසක් ළඟ නතර වී දුරකතනයක කැමරා ඇසට සිනාසෙන සිනහව, මින් මැදුරක වරල් සලන මින් රැළක අසිරිය මවන සිනහව මෙන් ම තමන් සමඟ සිනාසෙන, නම් ගම ‍නොදන්නා සිනාසෙන ඇස් සමඟ වන නොතින් සිනාව, සොබා දහමේ වෙසෙස් නිර්මාණය සේ හඟිමි. ඇරයුම් කරමි. මිනිස් සිනහවක් විඳින්නට, දකින්නට, අනෙකා සමඟ නොපැකිළව සිනහව බෙදාගන්නට එක්වන්නයැයි පවසමි. සිනහව ජීවිතයේ අරුත විය හැකි නම් ජීවිතය පහසු යැයි අදහමි.