මුන්නේශ්වරම් කෝවිලේ බිලි පූජා

හලාවත මුන්නේශ්වරම් කෝවිලට තිබෙන්නේ දිගු ඉතිහාසයක්. ඒ ඉතිහාසය පැරණි රජ දවස දක්වා දිවයනවා. මෙහි කෙරෙන ආගමික වතාවත්වලට බිලිපූජා පැවැත්වීමත් අතීතයේ පටන් පැවත එන චාරිත්‍රයක්. පැරණි හින්දු ආගමික චාරිත්‍රානුකූලව මෙම බිලිපූජා පැවැත්වීමත් දිගු කාලයක් පුරාම සිදුකර තිබෙනවා.

ලෝකයේ දියුණු වන විට පැරණි අභිචාර විධීන් පරිවර්තනයකට ලක්වීම මානව ශිෂ්ටාචාරයේ දකින්න ලැබෙන ලක්ෂණයක්. එහෙත් ඇතැම් ආගමික කණ්ඩායම් ඉපැරණි සම්ප්‍රදායන් ඒ හැටියටම පවත්වාගෙන යාමට උනන්දු වන බවකුත් දකින්න ලැබෙනවා. අපේ රටේ හලාවත මුන්නේශ්වරම් කෝවිල සම්බන්ධයෙන් දකින්න ලැබෙන්නෙත් මෙවැනි තත්ත්වයක්.

මුන්නේශ්වරම් කෝවිලේ වාර්ෂික මංගල්ලය යනුවෙන් කෙරෙන මේ සත්ත්ව බිලිපූජාව පිළිබඳව විවේචනයක් අපේ සමාජයේ කලක පටන් ම පැවැතුණා. පැරණි අභිචාර විධියක් වුවත් මෙමගින් සිදුකෙරෙන විශාල සත්ත්ව ඝාතනය අනුමත කරන්න බැරි බවට විවිධ සංවිධාන හඬනැඟුවා. ඇතැම් කණ්ඩායම් බලය යොදා මෙය නතර කිරීමට උත්සහ කෙරුවත් අවසානයේ මීට එක්තරා විසඳුමක් ලැබුණේ නීතිය හමුවට ගියාට පසුවයි.

අධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුව වුණේ, මින් මනත සත්ත්ව ඝාතනයක් සිදුකෙරෙන්නේ නම් අදාළ ප්‍රාදේශීය සභාවෙන් ඒ සඳහා නිත්‍යානුකූල බලපත්‍රයක් ලබාගත යුතු බවයි. කොහොම වුණත් අදාළ ප්‍රාදේශීය සභාවෙන් මෙවර ඊට බලපත්‍රයක් නිකුත් කෙරුණේ නැහැ. ඒ නිසාම බැතිමතුන් විසින් බාර ඔප්පු කිරීම සඳහා රැගෙන විත් සිටි අසරණ සතුන් සිය ගණනකගේ දිවි රැකුණා.

එම සතුන් සියල්ලම වෙන්දේසියේ විකුණන්නට කෝවිලේ ප්‍රධාන පූජකවරයා ගත් තීරණයත් සමඟ නව යුගයට උචිත චාරිත්‍රයක් ඇරඹුණා කියා හිතන්නත් පුළුවන්.

මෙතෙක් වාර්ෂික නිකිනි උත්සවයේදී සිදුකෙරුණු චාරිත්‍රය වූයේ දැදුරු ඔයේ කෙරෙන දිය කැපීමෙන් අනතුරුව පසුව දා සතුන්ගේ බිලි පූජාව පැවැත්වීමයි. ඒත් එක්කම මාංස සහිත දවල් දානයක් පිරිනැමීමත් එදා පටන් ම අනුගමනය කළ චාරිත්‍රයක්.

එහෙම වුණත් මෙවර සිදු වුණේ ඊට හාත්පසින්ම වෙනස් පිළිවෙතක්. වාර්ෂික උත්සවය සඳහා පැමිණ සිටි සියලු බැතිමතුන්ට නිර්මාංශ දානයක් භුක්ති විඳීමේ අවස්ථාව මෙවර උදා වුණා. ඔවුන් ඒ දානය සතුටින් භුක්ති විඳ සුපුරුදු පරිදි ආපසු ගම් බිම් බලා පිටත් වුණා.

උත්සවය අවසානයේ කෝවිලේ ප්‍රධාන පූජකතුමා කරපු ප්‍රකාශයකුත් මෙහිදී අවධානයට යොමු කරන්න වටිනවා. ඔහු පවසා තිබුණේ දිගු කලක් පුරා පැවැති මෙම බිලි පූජා සඳහා සහභාගි වූ බැතිමතුන් අතරින් හරි අඩක් පමණ සිංහල ජනයා බවයි.

පූජකතුමා මේ ප්‍රකාශය මගින් අදහස් කරන්න ඇත්තේ මෙය හුදෙක්ම හින්දු බැතිමතුන්ගේ පූජාවක් පමණක් නොවන බව රටට පෙන්වා දීම විය හැකියි. මාසයක පමණ කාලයක් පුරා පැවැත්වෙන ‍කෝවිලේ නිකිනි උත්සවයේදී සිංහල ජනයා එක් වී පෙරහර කිහිපයක් පවත්වන බවත් ප්‍රකට කරුණක්.

දිගු කලක පටන් සිංහල හා දෙමළ ජනයා අතර පවතින සංස්කෘතික සබඳතා මෙවැනි අභිචාර විධී දක්වා ම පැතිර තිබෙන සැටි මින් තේරුම් ගත හැකියි. ඒ නිසා මෙවැනි සංවේදී ප්‍රශ්නවලට විසැඳුම් සෙවීමේදී පුළුල් සමාජ හා සංස්කෘතික දෘෂ්ටියකින් යුතුව ගැටලුව විග්‍රහ කරගැනීම වැදගත් වෙනවා. සිංහල ජනයාගේ ආගමික හා සංස්කෘතික කාර්යයන්ට දෙමළ ජනතාව නැඹුරු වී සිටිනවා වගේම දෙමළ ප්‍රජාවගේ එවැනි කටයුතුවලට සිංහල ජනයාත් නැඹුරු වී සිටීම මේ සමාජ කණ්ඩායම් දෙකේ දිගුකාලීන ඇසුරේ ප්‍රතිඵලයක් ලෙස තේරුම් ගැනීමට අපට සිදු වෙනවා.

දියුණු මිනිස් සමාජයකට අනුචිත මෙවැනි චාරිත්‍ර සමාජයකින් ඉවත් කිරීමේදී නීතියට වඩා වැදගත් වන්නේ සමාජයේ පවතින මානසික පසුගාමීත්වයට පිළියම් යෙදීමයි. මේ පසුගාමීත්වය අධ්‍යාපන මට්ටමේ අඩුවක් හේතුවෙන්ම පැන නඟින්නක් නොවන බවත් අප තේරුම්ගත යුතුයි.

මන්ද උගත් යයි සම්මත බොහෝ දෙනාත් ජාති ආගම් භේදයකින් ‍තොරව මිත්‍යා විශ්වාසයන්හි එල්බගෙන සිටින සැටි අපට බහුල වශයෙන් දකින්න ලැබෙන නිසයි. සත්ත්ව බිලි පූජා වගේම අපේ සමාජයෙන් උගුල්ලා දැමිය යුතු මිත්‍යා පිළිල රාශියක් තිබෙනවා. ඒ නිසා විද්වත් සමාජ පෙරටුගාමීන් විසින් කළ යුත්තේ මෙවැනි මානසික ව්‍යාධීන් වාර්ගික හෝ දේශපාලන කෝදුවලින් මනින්නට උත්සාහ නොකර පුළුල් සමාජ කතකාවකට ලක් කිරීම මඟින් රෝගය නිට්ටාවට සුව කළ හැකි ඔසුවක් සෙවීමයි.