හොරුන්ගෙත් හොරු සාහිත්‍ය හොරු

පල්හොරු හා හොල්මන් ගැන රසබර කතා මවුපිය වැඩිහිටියෝ පිල්කඩ මත හිඳ අපට කියා දුන්හ.

අනේකවිධ හොරු එදිනෙදා ජීවිතයේදී හඳුනා ගත හැකි ය. පුහුල් හොරා හඳුනාගත්තේ කර අත ගෑමෙනි. කල්ලි ගැසී ගෙවල් බිඳින හොරු මෙන්ම තනියම මංපහරන හොරු ද ගම් දොර මෙන් පුරදොර එදවස මෙන් ම මෙදවස ද දැකගත හැකි ය.

'කල්ලි' දෙමළෙන් සිංහලට පැමිණි වචනයකි. හොර මුල - හොර කල්ලියටම යෙදෙන්නෙකි. ගිරිගෝරිස් එදවස ගමක විසූ හොර දෙටුවෙකි. ඔහු ගම ගෙදරක විසූ රූබර එකියක් ගෙදරින් පන්නාගෙන ආවේ හොර රහසේ ම ය.

එය හොර මඟුලකි. සඳපානේ ඔහු කඳු වැටි, පාළු සොහොන් පිටි, රබර් වතු, බඩ වැටි පසුකර හොර රහසේ මනාලියක් කැන්දාගෙන ආහැටි රෝහණ බැද්දගේ සූරීන් රසබර ගීයකට විචිත්‍ර ලෙස නඟා ඇත්තා සේ ය.

පසුකරමින් මහ කඳු වැටි ඕවිටි
පාළු සොහොන් පිටි රබර් වතු බඩවැටි
ගල් මුල් වල පය පැටලී වැටි වැටි
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි

සොරදෙටුවා ගිරිගෝරිස් ගේ මංගල ප්‍රීතිය විඳ ගැනීමට සූදානම් වූ සොර මුලත් තම දෙටුවා වෙනුවෙන් කවියෙන් ප්‍රීතිය හා ආශිර්වාදය පළ කිරීමට සූදානම් විය. කවියේ මුල් පදය සැරද ගිරිගෝරිස් යනුවෙන් එක් සොරකුගේ මුවින් පිටවිය.

මනාලිය එව්ලින් නැමැත්තියකි. දෙවැන්නා - එව්ලින් හොරෙන් ගෙන ආ යනුවෙන් ද තෙවැන්නා මේ හොර මංගල සඳහා යනුවෙන් ද ත්‍රිපදය පද බැද කීවෝ ය. සතර වැනියා සතර පදය පුරනු ලැබුවේ කරනෙම් සිදත් සඟරා යනුවෙන් පදයක් එක් කිරීමෙනි.

සැරද ගිරිගෝරිස්
එව්ලින් හොරෙන් ගෙන ආ
මේ හොර මඟුල සඳහා
කරනෙම් සිදත් සඟරා

යනුවෙන් මේ අනුව මංගල ස්තුතිය කවියට පබද කර ගායනා කෙරුණි. කෙසේ වෙතත් සොරමුලේ සියල්ලෝ ම සාහිත්‍ය සමාජයක විසූ කවිකාරයන් බව මෙයින් පෙනී යයි.

1963 අප්‍රේල් මස 13 වෙනි දින සිංහල අවුරුද්ද නිමිති කර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා ලියූ වගතුග තීරයක රසවත් කවියක් මෙහි දී මතකයට නැ‍ඟේ.

අවුරුදු

මහද උයනක් කැරැ
එරමුදු කුසුම් වැස්සට
කරනෙම් සතුට සඳහා
අවුරුදු සිදත් සඟරා

සමහරු සොර නැකතින්ම උපදිති. අංගුලිමාල උපන්නේ ද එවන් සොර නැකතකිනි. අංගුලිමාල සොර නැකතින් උපන් කතාව අමාවතුරේ අඟුල්මල්දමන යටතේ කදිමට විස්තර කෙරේ. අංගුලිමාල කල්ලියකට සම්බන්ධ නොවන එක් සොරෙක් බව මෙම අමාවතුර වැනුමෙන් කියවෙයි.

"ගෙවල් බිඳීම” තනි තනිව මෙන් ම කල්ලි ගැසීද කරනු ලබන චෞර ක්‍රියාවකි. ගෙයි බිත්තිය බිඳ ගෙට ඇතුළුවීමට පෙර මුට්ටිය දැමීම සොරුන්ගේ සිරිතකි.

මුට්ටිය වෙනුවට කුමරතුඟුවන්ගේ හත්පණ පොතේ සොරුන් ගේ ඇතුළට යවා බලන්නේ මෝඩ කිරිහාමි ය.

ඉන්දියාවේ මෑතක් වනතුරු සිටි බිහිසුණු හොරා වීරප්පන් ය. ඔහු මහ කැලේ හිඳ තනිවම හොරකම් කළ අයෙකි. අපේ රටේ උතුවන් කන්දේ සරදියෙල් කල්ලි ගැසී මං පැහැරූ අයෙකි.

සරදියෙල්ට මම්මලේ මරික්කාර් සහ සිරිමලා වැනි අය එක්ව සිටියෝ ය. සොර වෘත්තියේ වුව ද එදවස චාරිත්‍ර ධර්ම පෙනෙන්නට තිබුණි. සරදියෙල් නැති බැරි අයගෙන් සොරකම් නොකළේ ය.

දරුණු දාමරිකකම් හොර මැරකම් ලෙස ජනවහරට එක්වෙයි. හොරාගෙ අම්මාගෙන් පේන ඇහුවා වගෙයි. යන්න ප්‍රස්තා පිරුලක් ලෙසින් පැවසෙන්නේ තමාගේ වාසියට හා අනුන්ගේ අවාසියට දෙන උපදේශයක් සම්බන්ධයෙනි.

බල්ලා සොරුන්ගෙන් ගෙවල් දොරවල් ප්‍රවේසම් කරදෙන්නකු ලෙස සැලකේ.

රෑ වෙනවා නොදැනෙයි අම්මා නැතුව
එලි වෙනවා නොදැනෙයි කුකුළා නැතුව
හොරු එනවා නොදැනෙයි බල්ලා නැතුව
මිනී මළ ගෙදර අඳුරයි දුව නැතුව

(පැල්කවි)

රාජ කතා, චෝර කතා ආදී දෙතිස් කතා ඇසීමට කාලය ගත කිරීම නිෂ්ඵල බැවින් භික්‍ෂූන් වහන්සේට එය අකැප බැව් භික්‍ෂු විනයෙන්ම පෙන්වා දී තිබේ.

හොරා හතුරු වන අවස්ථා ද හතුරා හොරා වන අවස්ථා ද දැකගත හැකි ය.

හොරු වෙස් මුහුණු පැලඳ ගන්නේ කාටවත් හඳුනාගත නොහැකි වන සේ ය. එසේ වුවද කොයි හොරාගෙත් වෙස් මුහුණ කවදා හෝ ගැලවෙන්නකි.

හොර කල්ලි බොහොමයක් ගෙවල් බින්දේ පෙට්ටගමේ හෝ අල්මාරියේ තැන්පත් ගෙහිමියාට අයත් වස්තුව කොල්ලකෑමට ය.

පාරිභෝගික වස්තුව කොල්ල කෑ හැකි වුව ද උගත්කම හොරාගත නොහැකි අනගි දෙයක් බව වදන් කවි පොතේ උපදේශ කවියක් පෙන්වා දෙයි.

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා
උගත මනා ශිල්පය මයි මතු රැකෙනා

උගත් ශිල්පය සොරකම් කළ නොහැකි දෙයක් වුව ද සැබෑ උගතා මෙන් ම උගතුන් ප්‍රදානය කළ හරි දේ යටපත් කිරීමට කටයුතු කරන මංකොල්ල කල්ලි සාහිත්‍ය කලා ක්‍ෂෙත්‍රවල දැන් දැන් අරක්ගෙන සිටින බවක් දක්නට ඇත.

සාහිත ක්‍ෂෙත්‍රවල අනේකවිධ හොරකම් පවතී. (හොරාට හොරා ඉවෙන් දැනේ යන්න ජනවහරේ යෙදුමකි.) සාහිත හොරු හොරාට හොරා ඉවෙන් මෙන් හඳුනා ගෙන සිටිති. ඒ අනුව ඔව්හු කල්ලි ගැසෙති.

කල්ලි ගැසී කොල්ල කන සාහිත කොල්ලකරුවෝ සාහිත මාසයේ වෙස්මුහුණු බැඳගෙන කල එළි බසිති. කෑදරකමේ ඉන්න අයට සම්මාන දොල පිදේනි කූට උපා මඟින් මෙසමයෙහි පිදෙන අවස්ථා ද නැත්තේ නොවේ. තොවිල් පවිල්වල දී මළ ප්‍රේතයන්ට හා කුම්භාණ්ඩයන්ට යකැදුරා තබන ප්‍රේත තටුව ද මෙහි දී සිහිපත් වෙයි.

කෑදරකම සංසිඳුවීමට යකැදුරා දෙන සම්මාන පිදවිලි ගැනීමට ආතුරයාට ආරූඩ වූ ප්‍රේතයා එන්නේ නටාගෙන ය. යකැදුරා කියන න පදේකට නැටීමට ප්‍රේතයා සූදානම් ය. කොයි ප්‍රේතයාත් යකැදුරාට අවනත ය. තොවිලය මැදහත්කරු යකැදුරා ය. කොයි තොවිලයේත් අවසානයේ ප්‍රේත තටුව තුංමංසලක තිබෙනු දැකගත හැකි ය.

කලකට ඉහත පැවති සාහිත සොරකම් අනාවරණය කරන වංශනාථ දේශබන්දු නැමැත්තා සාහිත්‍ය කොල්ලය නමින් ජනප්‍රිය ග්‍රන්ථයක් ද ලියා තිබේ.

"හොරා හඳ සමඟ එදිරිලු” යන්න ප්‍රස්තා පිරුළකි. සාහිත කල්ලිකරුවෝ පායන හඳට උඩු බුරති.

සාහිත මාසයේ සම්මාන පිදේනි පිදීම ගැන විනිසුරුවන්ට කෙරෙන චෝදනාවල දී හොරාට ඉස්සරවෙලා කෙහෙල් මල වැට පනින අයුරු ද අපි දැක ඇත්තෙමු.

ආතුරයා කඩතුරාවෙන් මුවා කර නටන තොවිල් පවිල්වල දී හොඳ හොඳ සෙල්ලම් දැකගත හැක්කේ එළිවෙන යාමයේ දී ය. සාහිත්‍යයට අණවින කරන ප්‍රේත හොර කල්ලි පන්නා හැරීමට දුම්මල වරමක් නැතිවම බැරි ය.

සාහිත වාද විවාදවල දී ද සාහිත හොරුන්ගේ ගති සොබා කූටෝපායන් එලිදරව් වෙයි. කුකවි වාදයේ දී කුමාරතුංග පඬිවරයා ඉදිරිපත් කළ කරුණු මෙහි දී වැදගත් වෙයි.

කවියා ඡායාව අනුකරණය කරයි.

කුකවියා අර්ථය ගනු ලබයි.

හොරා පදයම සොරා ගනු ලබයි.

ඇතැම් සම්මාන උත්සවවල දී පාඨකයා හීතල හොරු ගැන ද කතා කරනු ඇසුණි. එක මල්ලේ ලුණු කන හොරකල්ලි ගැන ද කවුරු කවුරුත් හොඳාකාරව දනී.

ලුණු කෑවොත් ලුණු දුන්න අයට අනතුරක් නොකිරීම හොරුන්ගේ චාරිත්‍රයකි. අරාබි නිසොල්ලාස කතාවලින් ද මේ බව මනාව අනාවරණය වේ.

චෞර උන්මාදය රෝගයකි. එංගලන්ත රජ කෙනකු පවා මේ රෝගයෙන් පෙළුණි. හොරකම් කරන දෙයට මුදල් ගෙවීමට රාජ පුරුෂයෝ ඔහු පසු පසින් ගියහ.

හොරුන්ගෙත් හොරු කම්බා හොරු ය. එක් හොර කල්ලියක් හොරකම් කළ කම්බා ඇඳ රෑ කල අම්බලමක නිදා ගත්ෙත්ය. නිදි පැදුරෙන් අවදි වු ඔවුනට තම ඇදි වත ද නැති බවක් පෙනුණි. අනතුරුව කම්බා හොරුන්ට අවබෝධ වූයේ තම කල්ලියේ ම අයෙක් තමන්ට ද හොරා ඇද සිටි කම්බා හොරකම් කර පලා ගොස් ඇති බවකි. හොරෙක් පලා ගිය ද හොරුන්ගෙත් හොරු කම්බා හොරු යන්න ජනවහරට එක්විය.

හොරා අතට පාඹුල් පෙට්ටියේ යතුර දුන්නා වගෙයි යන්ද ජන වහරේ එන්නකි. නුසුදුස්සන් අතට වගකීම් භාරකිරීම සම්බන්ධයෙන් මෙය යෙදෙයි.

හොරු කල්ලියක් මහ රෑ හොර කමේ ගියේ ය. පාලමක් උඩදී ඔවුන් ඉදිරියට ආවේ කොට ගමරාල කෙනෙකි. හොරුන් දැක බියපත් ගමරාල පාලම උඩින් වතුරට වැටුණි. හොරු අග අකුර එකවගේ පිහිටන සේ යොදා හිටිවන කවියක් කීමට පෙළඹුණහ.

පාලම උඩ කොටා
වැටු­ෙණය ගඟ ටා
ඉතින් අපට මොටා
හුටා

යන්න එම හතර පද කවිය විය. හොරුන්ට බයේ ගඟට වැටුණු කොටා ගොඩ ආවේ කෙසේදැයි සොයා බැලිය යුත්තකි.

හොරාට ගණ දෙවි නුවණ තිබේලු. හොරා හොර ගල් අහුලන්නේ අනුනට නොදැනෙන සේය. එසේ වුව ද, හොරා හොරගල් ඇහැලීමෙන් ම හඳුනා ගැනීමට බුද්ධිමත් ජනතාව සමත් ය. සාහිත්‍ය හොරාට ඇත්තේ කූට බුද්ධියකි. සොරා අල්ලා ගැනීමට මිනිසුන් හොරා පසුපස දිව යද්දී සොරා ද 'මෙන්න හොරෙක් මෙන්න හොරෙක්' කියමින් දිව යනු මේ දිනවල සාහිත්‍ය ක්ෂේත්‍රයේ දී දැක ගත හැකි ය. සාහිත්‍ය හොරු කරන ප්‍රකාශවලින් මේ බව මනාව පැහැදිලි වේ. මේවා අවබෝධ කර ගත් පාඨකයෝ දසන් දක්වා සිනාසෙති.

චෞර උන්මාදය පිළිබඳ කතා පන්සිය පනස් ජාතක පොතේ ද දක්නට ලැබේ.

සොර දෙටුවෙක් - කස තැලුම් කකා
දං ගෙඩියට ගෙන යන මොහොතේ
වදක බෙරේ දැක - සොරා ගන්ට එය
කදිමයි ලොබ සිතුණාලු

මේ චෞර උන්මාදයෙන් පෙළෙන සොරාගේ ගති සොබා පෙන්වීමට පරාක්‍රම කොඩිතුවක්කු කවියා පබද කළ ගීයකි. සුනිල් එදිරිසිංහ සූරින් මෙය ගායනයෙන් මධුරත්වයට පත්කරයි. රෝහණ වීරසිංහයන්ගේ මනරම් තනුවකි.

කොයි හොරත් ජීවත් වන්නේ සැකෙන් හා බියෙනි. සාහිත හොරුන්ගේ බියපත් අඳුරු මුහුණු පශ්චාත් සාහිත සම්මාන සමයේ මනාව දැක ගත හැකි ය.

හොරුන්ගෙත් හොරු කම්බා හොරු වෙනුවට අද්‍යතන ජනවහරට හොරුන්ගෙත් හොරු, සාහිත හොරු යන්න ආදේශ වූ බවක් පෙනී යයි.