ගාමිණී: යුගයක වීරයා

සිනමාවක් එක්ක හැදුණ වැඩුණු පරම්පරාවක් විදියට අපේ ළමා හා ගැටවර මිතුරා අපේ වීරයා වුණේ මහා නළු ගාමිණී ෆොන්සේකා. ඇත්තටම අද ආපසු හැරිලා බලද්දි ගාමිණී, මාලනී, ජෝ, සන්ධ්‍යා වැනි නළු නිළියන් නොසිටින්න අපි පස්සෙ කාලෙක සිනමා පත්‍රකලාවේදීන්වත්, චිත්‍රපට විචාරකයන්වත් වෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා.

ගාමිණී ෆොන්සේකා අදාළ කරගෙන එබඳු අදහසක් දක්වන්න මට නිමිත්තක් වුණේ ඔහුගේ දසවැනි ගුණසමරු උළෙල හා ඊට සමගාමීව එළිදකින ධර්මජිත් පුණර්ජීවගේ ‘ප්‍රාග්ධනය’ නම්වූ පොත. මේ පොතේ සම්පූර්ණ නම ‘යථාර්ථවාදී මහා සිනමා ආඛ්‍යාන ප්‍රභාස්වර කළ නළුවරයාගේ ප්‍රාග්ධනය.’

ගාමිණී දිහා අපිට දෘෂ්ටි කෝණ කීපයකින්ම බලන්න පුළුවන්. ඒ චරිතාංග නළුවකු, අධ්‍යක්ෂවරයකු හා තම වෘත්තිය වෙනුවෙන් අරගලයක නිරතවූ පෙරටුගාමියකු යනාදී වශයෙනි.

අපේ සිනමාව තුළ යථාර්ථවාදී රංග සම්ප්‍රදායක පුරෝගාමියා එක් පැත්තකින් ගාමිණී සහ අනිත් පැත්තෙන් අයිරාංගනි සේරසිංහ යැයි කියන්න පුළුවන්. ඊට කලින් තිබුණේ ටවර් හෝල් නාටක රංග රීතියත් දකුණු ඉන්දීය භාවාතිෂය (මෙලෝ ඩ්‍රාමා) රංග රීතියක් සම්මිශ්‍රත වූ රංග ක්‍රමවේදයක් බව අප දන්නවා.

බටහිර හා යුරෝපයේ පැවති යථාර්ථවාදී රංගය තම සිනමා රූපණයේදී භාවිතා කරන්න ගාමිණීට පිටුබල වුණේ මොකක්ද? මෙහිදී කාරණා තුනක් කෙරෙහි අපේ සැලකිල්ල යොමුකරන්න වටිනවා.

එනම්; (1) ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගේ අධ්‍යක්ෂණය. (2) ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටයේ දර්ශන තලයේදී සර් ඇලෙක් ගීනස් විලියම් හෝල්ඩන් වැනි නළුවන්ගේ රඟපෑම් පෞද්ගලිකව අත්දැක ගැනීම හා (3) පෝල් මුනි වැනි විශිෂ්ට නළුවකු රඟපෑ ‘ද ගුඩ් අර්ත්’ වැනි චිත්‍රපට නැරඹීම.

රඟපෑම යනු කලාවක් බවත් නළුවා යනු කලාකරුවකු බවත් පළමු වතාවට සාක්ෂාත් කළ පුද්ගලයා ගාමිණී. මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, චිත්‍රසේන, ආචාර්ය අමරදේව, ප්‍රේමසිරි කේමදාස, ජෝර්ජ් කීට්, මහගමසේකර තම තමන්ගේ කලාවන්ට මොනතරම් ශ්‍රේෂ්ඨ ද. එපරිද්දෙන්ම ගාමිණීත් තමන් නිරතවූ කලාවට (සිනමා රංගනය) ශ්‍රේෂ්ඨයකු වෙනවා.

ගාමිණී කවදත් සිනමාව කලාත්මක වාණිජ යනුවෙන් පටු වර්ගීකරණයකට ලක් කළේ නැහැ. ඔහු මේ දෙපාර්ශ්වයටම අයත් චිත්‍රපටවල රඟපෑෙව් අතිශය සාර්ථක අයුරින්. මට තාම නම් ‘පරසතුමල්’ චිත්‍රපටයේ ගාමිණී බීමත්ව නිවෙසේ තරප්පු පෙළ මත දෑත් විදහා සිටින සෙවණැලි සහිත දැවැන්ත රූපරාමුව වැදගත් වන්නේ යම්සේද ‘සූරයන්ගෙත් සූරයා’ චිත්‍රපටයේ ගාමිණී එක් අතකින් බ්‍රීෆ් කේසයකුත් අනිත් අතින් රිවෝල්වරයකුත් අතැතිව සිටින රූපරාමුව ඒ ආකාරයටම වැදගත්. ඒ එකී රූපරාමු දෙකේම සිංහල සිනමාවේ ප්‍රධාන ධාරාවන් දෙකක් මූර්තිමත් කෙරෙන සංකේතාත්මක වටිනාකමක් තිබෙන බැවිනි.

ලෙස්ටර්ගේ ‘ගම්පෙරළිය’ සිනමා කෘති‍යේ ගාමිණී එකිනෙකට වෙනස් චරිත දෙකක් රඟපෑවා. ඒ ‘ගම්පෙරළියේ’ ජිනදාස හා ‘යුගාන්තයේ’ සවිමන් කබලාන, මෙම චිත්‍රපට දෙකම නැරඹූ කිසිදු විදේශීය ප්‍රේක්ෂකයකුට මේ චරිත දෙකම රඟපාන්නේ එකම නළුවකු යැයි වැටහුණේ නැති බව ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් වරක් මා සමඟ කියා සිටියා. ගාමිණී නළුවකු වශයෙන් මොනතරම් ශ්‍රේෂ්ඨ ද යන්න එම සංසිද්ධියෙන් සාක්ෂාත් වෙනවා.

ගාමිණී චිත්‍රපට ගණනාවක්ම අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ අතරින් ‘රෑ මනමාලි’ හැරුණුකොට අනිත් චිත්‍රපට සියල්ලම ඔහු අධ්‍යක්ෂණය කළේ ප්‍රධාන චරිතය ද රඟපාමින්. නළුවකු වූ නිසාම මේ චිත්‍රපටවලදී ගාමිණීට ආධුනිකයන් කීපදෙනකුගෙන් කෘතහස්ත රංගනයක් උකහා ගැනීමට ඉඩප්‍රස්ථා සැලසුණා.

‘උතුමාණෙනි’ චිත්‍රපටයේ සොමි රත්නායක, ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටයේ ශාන්ත සපරමාදු ඊට හොඳ උදාහරණ දෙකක්. ‘සරුංගලේ’ චිත්‍රපටය ගාමිණීගේ අධ්‍යක්ෂණයක් ලෙස නාමාවලියේ නොදැක්වුණද එහි ෆරිතා ලායිගේ රංගනයේ සාර්ථකත්වයට ගාමිණී ඉවහල් වූ බව නොසඟවා කියන්න පුළුවන්.

රංගනයට හොඳ වෘත්තිය පදනමක් දමන ලද්දේ ගාමිණී විසින්. ඔහු ඒ සඳහා ඉහළ මිලක් අය කළා. රුපියල් පනස්දාහක් අයකරන්න තිබූ චිත්‍රපටයකට ඔහු ලක්ෂයක් අයකළේ එවිට තමා සමඟ රඟන ප්‍රධාන නිළියට අවම වශයෙන් දහදාහක්වත් ලබාදීමේ අභිප්‍රායෙන්. තමා පනස්දාහට රඟපෑවේ නම් අදාළ නිළියට ලැබෙන්නේ ඉහත මුදලින් අඩක් පමණක් බව ගාමිණී දැනසිටියා.

එකල නළු නිළියන් කටයුතු කළේ වහලුන් පරිද්දෙන්. නිෂ්පාදකවරයා දර්ශනතලයට එද්දි ඔවුන්ට උන් අසුනෙන් නැඟිටින්න පවා සිදුවුණා. නිෂ්පාදකවරයා සකස් කරන ගිවිසුමට නළු නිළියන්ට අත්සන් කරන්න සිදුවුණේ කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව.

මේ දුර්දශාපන්න තත්ත්වය සපුරා වෙනස් කළේ ගාමිණී. නළු නිළියන්ට වෘත්තිය ගරුත්වයක් ලබාදීමෙන් ඔහු ඉටුකළාවූ මෙහෙවර අද සිටින සියලු සිනමා නළුනිළියන්ගේ ගෞරවයට පාත්‍රවිය යුතු දෙයක් යැයි මා සිතනවා.

බොහෝ නළුනිළියන්ට නොතිබුණු දර්ශනයක්, චින්තනයක්, ප්‍රතිපත්තිගරුක බවක් ගාමිණීට තිබුණා. එය සනාථ වන එක් වැදගත් සංසිද්ධියක් ධර්මජිත්ගේ ග්‍රන්ථයෙන් දැක්වෙනවා. වරක් ගාමිණීට දුටුගැමුණු චරිතය රඟපාන්නට ඇරියුමක් ලැබෙනවා. (ඒ චිත්‍රපට නිෂ්පාදනය වුණේ නැහැ) ඒත් ගාමිණී එය ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන්නේ අවුරුදු හැට හැත්තෑවක මහල්ලෙක් (එළාර) සමඟ සටන්කර දිනන දුටුගැමුණු වීරයකු නොවන බවයි. තමා චිත්‍රපටයකදිවත් නාකි මිනිසුන් සමඟ ගහනොගන්නා බව ගාමිණී මෙහිලා කියන්නේ උත්ප්‍රාසයකින්.

කෝටියක් දුන්නත් දුටුගැමුණු චරිතය රඟනොපාන බව කියන ගාමිණී නොමිලේ වුව එළාර චරිතය රඟපාන්ට සූදානම් බව කියන්ට යෙදෙනවා. ඒ තමයි ගාමිණීගේ දර්ශනය. ගාමිණීගේ චින්තනය ම ඔහුගේ ප්‍රතිපත්ති ගරුක බව. මගේ සිනමා පුවත්පත් කලා ජීවිතය තුළ මට අවස්ථා කීපයකදීම ගාමිණී සමඟ සම්මුඛ සාකච්ඡා කරන්ට භාග්‍යය ලැබුණා.

ඔහු හමුවීමත් කතාබහ කිරීමත් ඔහු සමඟ එකට හිඳ අඩියක් පුඩියක් ගැසීමත් මා හැඟි සිහිවටනයක්. මීට දස වසරකට ඉහත ගාමිණීගේ වියෝව ඇසූ කල්හි මට අපේ ළමාවිය පුළුස්සා දැමුවාක් බඳු අඳුරු, මූසල හැඟීමක් ඇතිවුණා. ඒ ගාමිණී අප තුළ වීරයකු සේ නිබඳවම ජීවත්වූ බැවින්.