මීයක් කඩයිද අත‍ ලෙවකන්න

විචාරකයන් චිත්‍රපටවල හොඳ නරක තීරණය කරන්නේ යම් යම් කාරණ සලකා බැලීමෙන්ය. කෙතරම් සිනමාපට තැනුණ ද සියල්ලම සම්මානවලට පාත්‍ර නොවේ. සියලුම චිත්‍රපට ආදයම් වර්තා තබන්නේ ද නැත. එම නිර්මාණයට සහභාගී වූ අය ජනප්‍රිය වන්නේ ද නැත.

තාක්ෂණික කාරණා හැරුණු කොට අනෙක් බොහෝ මිනුම් දඬු පුද්ගලික මති මතාන්තර යැයි මට බොහෝ විට සිතී ඇත. “ඒ සිනමාපටය ප්‍රේකෂකයා ප්‍රකෝපනය කිරීමට සමත්” යැයි විචරකයකු පවසන්නේ නම්, ඒ තමා තුළ ඇති වූ හැඟීම මිස ඒ ප්‍රේක්ෂකයන් පිරිසකගේ අදසක් විමසා, ඔවුන් වෙනුවෙන් කරනා පොදු ප්‍රකාශයක් නොවේ. සමහර විටෙක් කිසිදා නම නො ඇසූ, සම්මානවලට පත්‍ර නොවූ සිනමා චිත්‍ර හිතේ බැඳෙන්නේ නිර්මාණ විඳීම තනිකරම පුද්ගලික අභිරුචියක් නිසාවෙනි.

විශිෂ්ටභාවය හඳුනා ගැනීම සඳහා ඉරි ගසා අඳින ලද මායිම් වටහා ගනිමින් වැඩෙන අපි විචාරකයන් වන්නට ජීවිතය තුළ ඉගෙන ගනිමු. අපි පූර්ව නිශ්චිත විචාර බුද්ධියක් දරුවන්ටත් කියා දෙන්නෙමු.

‘මිනිසා නිවහල් ව ජනිත වූව ද, සියලු තැන යදමින් බැඳී ඇත” යැයි රූසෝ නම් වූ දාර්ශනිකයා කියා ඇත්තේ එවැනි උගැනුම් ගැනත් සලකා විය යුතු ය. නමුත් ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘හිඟන කොල්ලා’ ව මහත්මයකු කරන්නේ එලෙස උසස් යැයි සම්මත දේ රස විඳින්නට කියා දීමෙන් පමණක් ම නොවේ. ඔහුට යහපත් ගති ද ගුණ ද වගා කර ගැනීමට ඉඩ දීමෙන්ය.

සමහර විටෙක නම ගිය විචාරකයන්ගේ පරිභව සහ ප්‍රශංසාවලට අනුකූලව මිස අප සිනමාපට පිළිබඳ අවංක අදහස් ප්‍රකාශ නොකරන්නේ අසාර රසයක් ඇතැයි යන විනිශ්වයට භාජනය වීමට ඇති අකමැත්ත නිසා ය.

අධිරාජ්‍යයාගේ අලුත් ඇඳුම දැකීමේ වාසනාව ඇතැයි කීමට කවුරුත් කැමති වේ. ඇත්ත කියන්නට බිය විය යුතු නැති වුව ද ඇත්ත කියන්න අප බිය වේ.

සමාන්‍යයෙන් ග්‍රීෂ්ම නිවාඩුවේ දී පවුලේ චිත්‍රපට සහ තවත් චිත්‍රපට කිහිපයක් එළි දැක්වීමට නිෂ්පාදකවරයෝ වගකීම් සහගත වීමත්, වේලාව සහ නිදහස තිබීමත් යන හේතූ මත පසු ගිය දින කීපය තුළ චිත්‍රපට කිහිපයක් බලන්නට මට හැකි විය. එලෙසම මේ ශ්‍රී ලාංකික-අමෙරිකානුවෝ තමන්ගේ නෑයින් බලන්නට යන කාලය නිසා ඔවුන් විසින් ලංකාවේ චිත්‍රපට ගැන කතා කරනා කාලය ද වේ.

අන්තර්ජාලයේ කොළඹ සිනමා උළෙල ගැන දිගින් දිගටම කෙරෙනා කතා බහ ද වේ. මට චිත්‍රපටයක් ගැන කියන්නම සිත් දුන්නේ මේ කී නොකී සියලුම හේතු ය. නමුත් අමෙරිකාවේ බහුතරයක් විචරකයන් විසින් අසාර්ථක යැයි කියා විවේචනයට භාජනය කරන ලද ‘ ද 100 ෆුට් ජර්නි’ සිනමාපටය හොඳ චිත්‍රපටයක තිබිය යුතු බොහෝ කාරණා සම්පූර්ණ කරනා බවට තරමක් දුරට පක්ෂපාතී නිගමනයකට එළඹීමට මම තීරණය කළෙමි.

‘ද 100 ෆුට් ජර්නි’ යනු රිචර්ඩ් සී මොරයස් නම් කතාකරුවාගේ නවකතාවක් අසුරින් සැදි ඉන්දියාවේ පවුලක් ප්‍රංශයේ තමන්ගේ ජීවන චාරිකාවේ අරමුණ ඉටු කරගැනීමට දරනා ප්‍රයත්නය පෙන්නුම් කරනා චිත්‍රපටයකි.

එම පවුල සූප ශාස්ත්‍රය පුදා සුරකින කලාවක් මෙන් ම ඔවුන්ගේ උරුමයක් කොට සලකන අපූරු පිරිසක් ලෙස පෙන්නුම් කරන කතාවේ, ඔවුන්ගේ පිළිසසැඳුමට යොදා ගෙන ඇත්තේ ලෝකයේ කිසිවකුට නොදෙවෙනි විදග්ධ සූපවේදයකට හිමිකම් ඇති ප්‍රංශ ඉවුම් පිහුම් සහ ඒවාට එවැනිම ප්‍රේමයකින් යුතු ගැහැනියකි.

“මේක නම් මෙහේ ඒ තරම් ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ තරම් මුදල් සොයන එකක් නැහැ. සිනමා ශාලවෙන් පිට වන්නටත් පෙර අපි එය විචාරය කරන්නට වීමූ.”

චිත්‍රපටිය නිපදවා ඇත්තේ අමෙරිකාවේ මාධ්‍ය ලෝකයේ දැවැන්තයන් වන ඔප්‍රා වින්ෆ්‍රී සහ ස්ටීවන් ස්පීල්බර්ග් ය.

“ඒ දෙන්න මීයක් කඩයි ද අත ලෙවකන්න?”

‍"මේක බටහිර විචාරකයන්ට අකැප වුණාට ඉන්දියාවේ බිලියන ගණනක ජනගහනයෙන් මිලියන ගාණක් වත් බලයිනේ.” ආදයම් සෙවීමේ ප්‍රශ්නය අප විසඳීමු. සමබර ව පැතිරී යන ඉන්දියානු සහ බටහිර සංගීතය පසුබිම කරමින් ප්‍රංශයේ ලස්සන, පණ ඇති චිත්‍රයක් සේ මවන්නට සිනමා කරුවන්ට හැකි වී ඇති නිසා චිත්‍රපටය පුරාම ඇස් ඉවතට නොගත හැකි බන්දන ශක්තියක් ඇත.

ඉවුම් පිහුම්වලට ආත්මයන් ඇතැයි කියා පෙන්වන තව නොයෙක් සිතුවම් පට තැනී ඇති මුත්, බඳුනට කඩා දමනා බිත්තරයක, විසිරෙන කුළුබඩු අහුරක, සිහින්ව ලියා ඇති එළවළුවක සුන්දරත්ව ඉවුම් පිහුම් කලාවට අප ගෙන යන ආකරයට පෙන්වීම ඒ තරම් පහසු කාර්යක් නොවෙද්දී, සිනමාකරුවෝ එය අඩුපාඩුවකින් තොරව ඒ බාධකය ජයගෙන ඇත. නළු නිළියන්ගේ රඟපෑම අනර්ඝය. ඕම් පූරි සහ හෙලන් මිරන් ප්‍රේක්ෂකයා කිසි කලෙක අපහසුතාවයට පත් නොකරන දෙදෙනෙකි.

සෙස්සෝ ද චරිතවලට පණ දෙන්නේ දක්ෂ ලෙසය. චිත්‍රපටියේ හාස්‍ය රසවත්ය. ඒවා භවාංග ස්පර්ශ කරන්නේ ඉන්දියානු සංස්කෘතිය ගැන දන්නා අයගේ පමණක් නම් අනෙක් අයගේ නොදැනුවත්කම ගැන අප අනුකම්පා කළ යුතුය.

නළු නිළියන්ගේ රඟපෑම අනර්ඝ ය. ඕම් පූරි සහ හෙලන් මිරන් ප්‍රේක්ෂකයා කිසි කලෙක අපහසුතාවයට පත් නොකරන දෙදෙනෙකි. සෙස්සෝ ද චරිතවලට පණ දෙන්නේ දක්ෂ ලෙසය. චිත්‍රපටියේ හාස්‍ය රසවත්ය. ඒවා භවාංග ස්පර්ශ කරන්නේ ඉන්දියානු සංස්කෘතිය ගැන දන්නා අයගේ පමණක් නම් අනෙක් අයගේ නොදැනුවත්කම ගැන අප අනුකම්පා කළ යුතුය. නමුත් සිනමාකරණ යනු ප්‍රේක්ෂකයා සමඟ යන ගමනක් මිස ඔවුන් නොමැතිව යන ගමනක් නොවේ.

නමුත් සෑම ප්‍රේක්ශකයෙක්ම උද්‍යෝගී වේ යැයි බලාපොරොත්තුවීමක් චිත්‍රපට තනද්දි නොකෙරේ. ඒ අර මා කලින් කීවා වාගේ චිත්‍රපටවල ගුණ ඇත්තේ බලන්නාගේ මනසේ වීම නිසා විය යුතුය. කෙසේ නමුදු මට කියන්නට ඕනෑ වන්නේ ‘ද 100 ෆුට් ජර්නි’ ගැන ම නොවේ. චිත්‍රපට විචාර අප නොසළකා හැරිය යුතු බව වත් නොවේ . නමුත් චිත්‍රපට විනිශ්වය කරන්නට ඒවාට කවර නැති බව ය.