ජංගම දුරකථනයේ සිනමාව

නවසියේ හැටේ දශකයේ අග භාගයේ දී කලා ලෝලීන් ආස්වාදයට පත් කළ සිදුවීමක් පිළිබඳ ව මා කියවා ඇති බව මට මතක ය. ඒ පාසල් ශිෂ්‍යයන් පිරිසක් එක්ව චිත්‍රපටයක් නිෂ්පාදනයට අත ගැසීමයි. කොළඹ ආනන්ද විද්‍යාලයට අයත් සිසු පිරිසකගේ ධෛර්යයෙන් සිනමාවට නැඟුණු සිනමා පටය රන්ජිත් ලාල්ගේ ‘නිම් වළල්ලයි.’

නිම් වළල්ල පිළිබඳ ව ඒ අවධියේ දී ඊට සම්මාදන් වූ ශිෂ්‍යයකු වන පුවත්පත් කලාවේදී ඒ. ඩී. රන්ජිත් කුමාර ලියූ ලිපියක් මෑතක දී ද පුවත්පතකින් කියවූ බව මට මතක ය. ප්‍රේමකීර්ති ද අල්විස්, කුලරත්න ආරියවංශ ඇතුළු ශිෂ්‍ය පිරිසක් (අනෙක් අයගේ නම් මට අමතක ය.) රන්ජිත් ලාල් සමඟ ඊට එක් වූ බව එහි ලියා තිබුණා මතක ය.

එසේ ම මේ පුවත ආරංචි වී පැමිණි මහනුවර ධර්මරාජයේ ශිෂ්‍ය තිස්ස විජේසුරේන්ද්‍ර රංගනයෙන් ද, කෑගල්ලේ කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය ඩිල්මන් ජයරත්න කැමරාවෙන් ද ඊට දායක වූ බව ද සඳහන්ව තිබිණි. කොහොමටත් පාසල් යන වයසේ සිසු පිරිසක් එක්ව සිනමා කෘතියක් නිර්මාණය කිරීම වනාහි කල් ගත වූ පුවතක් වුව ද අද ද ඇගයීමට ලක් විය යුතු කටයුත්තකි.

නිම් වළල්ල තිර ගත වූ අවධියේ පැවති සිනමාධිපත්‍ය අද දවස වන විට රූපවාහිනිය ඇතුළු ගෘහස්ත මෙවලම් විසින් අත්පත් කරගෙන සිනමා ලෝලීන් සාලයට කොටු කරගෙන හමාරය. එදවස පියකරු රඟහල්ව පැවති සිනමා ශාලා ජරාවාසව අමාරුවෙන් නඩත්තු වන තැන් බවට පත්ව ඇත්තේ ය.

අපේ සිනමාවේ මෙකියන ඛේදවාචකය මධ්‍යයේ වුව ද සිනමාවට ඇවැසි තාක්ෂණය නම් යෝධ පිම්මකින් ඉදිරියට ගොස් ඊට ඩිජිටල් තාක්ෂණය ආදේශව තිබේ.

නෙගටිව් පට ඇතුළත් විසල් රීල් තුළ බහා ලූ සිනමා පටය සංගත තැටියකට හෝ චිප් එකකට (මතක පත) ලඝු ව ඇත. එමතු නො වේ. ජංගම දුරකථන ආධාරයෙන් කෙටි සිනමා පට රූගත කිරීම විලාසිතාවක් වී හමාර ය.

හරියට ම වචන 239 ක තරමක් දිගු පූර්විකාවක් යොදන්නට මට සිදුවූයේ පාසල් ගුරුවරයකු හා එක් වූ ශිෂ්‍ය පිරිසක් සංවිධානය කළ ‘කෙටි චිත්‍රපටි උළෙලක්’ නැරඹීමෙන් මා ලද ආස්වාදය සහෘද ඔබ හා බෙදා හදා ගැනීම උදෙසා ය. මෑත දිනක රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ගුරුවරයා වූ ‘චන්දන ගුණතිලක’ මවෙත පැමිණියේ ඔහු වෙතින් සිප්සතර හදාරන සිසු සිසුවියන් පිරිසක් සමඟ ය.

ඒ ඔවුන්ගේ රාජසිංහ නාට්‍ය හා රංග කලා සංසදය (RaDA) මගින් සංවිධානය කරනු ලබන ‘කෙටි චිත්‍රපටි උළෙල’ (POCKET FILM FESTIVAL) නැරඹීම සඳහා මට ආරාධනා කරන්නට ය. මෙම කෙටි චිත්‍රපටි සියල්ල ජංගම දුරකථන මගින් රූ ගත කළ ඒවා බව සඳහන් කළ චන්දන සියලුම නිර්මාණ සඳහා සක්‍රීය දායකත්වය සපයා ඇත්තේ පාසලේ සිසු සිසුවියන් බව ද වෙසෙසින් සඳහන් කළේ ය.

පාසල් ගුරුවරයකු සිය සිසු දරු දැරියන් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ නිර්මාණ ඇතුළත් කෙටි චිත්‍රපට උළෙලක් සංවිධානය කිරීම මා තුළ ජනිත කළේ ආස්වාදයකි. එහෙත් මම ඒ නිර්මාණ තුළින් අප ජීවත්වන සමාජයේ යථාර්ථය නිරූපණය කෙරෙන නිර්මාණ දකින්නට අපේක්ෂා නො කළෙමි. කොහොමටත් සාම්ප්‍රදායික පාසල් පරිසරයට ඒ සාම්ප්‍රදායිකත්වය ඉක්මවන අත්දැකීම් කැඳවීම අතිශයින් අසීරු ය. එහෙත් ඒ කෙටි චිත්‍රපටි නරඹන විට මගේ සිතිවිලි වෙනස් විය.

ජංගම දුරකථන මගින් රූ ගත කළ නිර්මාණ පෙලහරේ මුලින් ම දක්නට ලැබුණේ ‘ෆයිනල් ගේම්’ නම් නිර්මාණයයි. විනාඩි එක හමාරක පමණ කාලයක් තුළ තිරගත වන ඒ කෙටි සිනමාපටය යුදකාලීන සමාජයක කුඩා දරුවන් තුළට යුද්ධය කා වැදී ඇති ආකාරය නිරූපණය කරයි. කුඩා දරුවෝ කෙළි සෙල්ලම සඳහා යුද්ධාභ්‍යාස යොදා ගනිති. අන්තිමට ෆයිනල් ගේම් නම් ක්‍රීඩාවක ළමයින් නිරත වන අතර සඟවා තිබූ බෝම්බයක් පුපුරා යයි.

‘මාගේ දේශය අවදි කරනු මැන’ සරසවි සාහිත්‍ය උළෙලින් සම්මානයට පාත්‍ර වූ ‘දෙදියණියෝ’ මගේ සිත්ගත් තවත් නිර්මාණයකි. දැරියක් රබර් යායක පලා නෙළමින් හෝ රබර් ඇට අවුළමින් සිටින්නී ය. ඒ අතර බීමතින් එන වැඩිහිටියෙක් හුදකලාව හිඳින දැරිය දැක ඇය වෙතට ළං වෙන්නේ සරාගී චේතනාවෙනි. ඔහුගේ අරමුණ වටහා ගන්නා දැරිය කෑගසමින් පලා යයි. රූප රාමුව ඡේදනය වන්නේ බීමත්ව සිටි තැනැත්තා පියවි සිහියෙන් ඔහුගේ නිවසේ පුටුවක අසුන් ගෙන සිටින දර්ශනයකට ය.

කලින් රූප රාමුවේ ඔහු ලුහු බැඳි දැරියගේ වයසේ ම සිටින ඔහුගේ දියණිය නිවෙසින් බැහැර වන්නට පෙර ඔහුට වඳියි. ඔහු ඇයට ආශීර්වාද කරන්නේ උපාසකයකු සේ ය. සමාජ ක්‍රමය තුළ කාන්තාව මුහුණ දෙන පීඩනයත්, කාන්තාව අරභයා පුරුෂ සමාජයේ ඇති දෙබිඩි ආකල්පයත් උත්ප්‍රාසවත්ව නිරූපණය කරන්නට නිර්මාණකරුවා සමත් වෙයි.

දෙදියණියෝහි පියා ලෙස රඟපාන ‘නිමේෂ් මධුෂාන්’ රංග කාර්යය මැනවින් අවබෝධ කරගත් පාසල් නළුවකු බව අපට පසක් වෙයි. එසේම ‘කට වහපන් පොඩ්ඩියෙ’ කෙටි චිත්‍රපටියේ පෙම්වතා ලෙස රඟපාන ‘අෂාන් චරිත්’ සහ එහි ම රඟපාන ප්‍රභාෂි වීරරත්නගේ හා රුසිරු විනෝද්‍යාගේ ද රඟපෑම් අගය කළ යුතු ය.

අප නැරඹූ බොහෝ කෙටි චිත්‍රපට තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන්නේ චන්දන ගුණතිලකයි. සාගින්නේ ඇති සමාජ විෂමතාව නිරූපණය කෙරෙන ‘සාගිනි’ (Hungry) නම් කෙටි චිත්‍රපටය ළමයින්ගේ සාමූහික නිර්මාණයක් සේ දක්වා තිබේ. සංස්කරණයෙන් දායක වී ඇත්තේ ද තවමත් සිනමාවේ මූලිකාංග හදාරමින් සිටින ළමයින් වීම වැඩිහිටි අපේ ආස්වාදයට හේතුවකි.

බොහෝ නිර්මාණ සඳහා නිෂ්පාදන කළමණාකරණයෙන් දායක වී ඇත්තේ ‘උමේෂ් ප්‍රියශාන්ත’ නම් ශිෂ්‍යයා ය. මේ හැරුණු විට රංගනයෙන් ද විවිධ කාර්යයන්ගෙන් ද ටුවිනා අත්තනායක, ශිරෝමි විජේරත්න, ලක්ෂිකා මානවසිංහ, නිලංග, රනෝද් වැනි ළමයින් දායකත්වය සපයා තිබිණි. ‘පිළිම නෙළා නැති විරුවන් පිරිසක්’ ගීය සමෝධානයට අනුව රූ පෙළ ගන්වමින් රූප රචනය කර තිබූ ආකාරය ද අපූරු ය.

“තවමත් පාසල් යන අපට මෙවැනි හැකියා තියෙන බව අපි දැනගෙන හිටියෙ නෑ. චන්දන සර් තමයි අපේ හැකියා මතු කර ගන්නට අවස්ථාව දුන්නෙ.” ශිෂ්‍ය උමේෂ් ප්‍රියශාන්ත එසේ මා හා අගය කළේ සිය ගුරුවරයා ය. සම්මත පාසල් පරිසරයක් තුළ ඉගෙනුම් ක්‍රියාවලියේ යෙදෙන අතර සිනමාවට ආධුනික පාසල් සිසු සිසුවියන් යොදා ගෙන කෙටි චිත්‍රපට නිපදවීම අතිශය දුෂ්කර ව්‍යායාමයකි.

එම නිර්මාණ සඳහා සරල, ඕලාරික, හරසුන් තේමා යොදා නො ගෙන එතුළින් කාලීන සමාජ යථාර්ථය පිළිබිඹු කරන්නට වෙහෙසීම හෙට දවස උදෙසා පැණසර සිනමා පරපුරක් බිහිකරන්නට යත්න දැරීමකි. ඉතින් එවන් වෑයමක් අගය කළ යුතුම ය.