කුරුලු හදවතට අලුත් මුහුණු

මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් ද, ස්වර්ණ පුස්තක සම්මානයෙන් ද පිදුම් ලද්දේ ලියනගේ අමරකීර්ති විරචිත කුරුලු හදවත නවකතාවයි. ස්වර්ණ පුස්තකය සඳහා කුරුලු හදවත තෝරා ගැනීමට පෙර, මහ කලබැගෑනි සිදු වූ බව ඒ දිනවල සාහිත්‍ය කේෂ්ත්‍රයේ ඕපාදූප පතුරවන්නන් තුළ, පුවත් මවන්නන්, දඩයම්කරුවන් අතර සාහිත්‍ය අතිරේක සංස්කාරකවරුන් තුළ වූ බව නොරහසකි.

ඇතැම් පුවත්පත් ශාස්ත්‍රීය අතිරේක ඉහත කී නෙක චරිත සඳහා සංවාද මණ්ඩප තනා දී තිබිණ. අවසාන ප්‍රථිඵලය වූයේ හෝ වී ඇත්තේ ස්වර්ණ පුස්තක සම්මානය සඳහා දින කීපයකට පෙර තීරණය වී තිබුණා යැයි පැවරෙන නවකතාව ඉවතට ගොස් කුරුලු හදවතට සම්මානය ලැබීමයි. කුරලු හදවත නවකතාව විශිෂ්ටතම ස්වර්ණ පුස්තකය සේ නම්කොට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පසු සටහනක් ලෙස සභාපතිවරයා විසින් තවත් නවකතා දෙකක් නම් කිරීම මේ අභ්‍යන්තර කලබැගෑනියේ බළලා මල්ලෙන් එළියට පැනීමක් බඳු වීය.

එය මහට සිහිගැන්වූයේ මන‍මෙ නාටකයේ කූටප්‍රාප්ත ජවනිකාව වූ මනමෙ කුමරිය අතින් වැදි රජු කඩුව උදුරා කුමරු මරණයට පත් කිරීමෙන් අනතුරුව කුමරිය පොතේ ගුරු වෙතට ගොස් හරි වැරැද්දක්නේ මට වුණේ, මට කඩුව දෙන්න ඕන වුණේ කුමාරයාට කියා මැරී වැටුණු කුමාරයා අතට යළි කඩුව දී අවසාන ජවනිකාව යළි වෙනස් කොට රංග ගත කරවීමක් ලෙසය. කුරුලු හදවත ජය ගත්ත ද, යක්ෂණී ජයගත්ත ද, කාලනදී ජයගත්ත ද අප සතුටු වන්නේ විනිශ්චයකරුවන් විසින් සම්මානයට සුදුසු කෘතියක් තෝරා දුන්නේය යන හැඟීමෙනි.

සම්මාන ලේබලයක් යනු විශාල වශයෙන් එම පොතට අලෙවියක් ලැබෙන්නක් බව, නිමා වූ පොත් ප්‍රදර්ශනය තුළ දී මම දුටුවෙමි. එහෙත් මා නම් දැඩි ලෙස විශ්වාස කරන්නේ, හොඳ නිර්මාණයක් සඳහා අවසාන විනිශ්චය දෙනු ලබන්නේ, සම්මානයක් හෝ විචාරකයන් නොව, පාඨක ජනතාව ම බවයි.

කුරුලු හදවත නවකතාවේ කථිකයා තැපැල්පත් යවමින්, ගුවන්විදුලියෙන් ගීත ඉල්ලීම් අරඹා පසුව ගුවන් විදුලියට නිර්මාණ ද යැවූ තරුණ‍ෙයකි. ‍නවකතාව තුළ ඔහු සමඟ ගීත ඉල්ලූවන්ගේ නම් ගම් ද ඇතැම් නිවේදක නිවේදිකාවන්ගේ නම් ද සඳහන් මුත් අත්‍යාවශ්‍යයෙන්ම සිහිපත් කළ යුතු වූ පිරිසක් පිළිබඳ කුරුලු හදවත නිහඬව ඇත්තේ, කතාවේ මූලික තෝමාවට එම චරිත අදාළ නො‍වේ යැයි කර්තෘ සිතූ නිසා විය හැකිය.

කුරුලු හදවත නවකතාව තුළ, හමුවන අසන්නන් රැසකි. කන්දහංදි‍ෙය් නන්දා විජේතුංග, උල‍්ලේපොළ දිස්නා රංජනී රංචාපොළ, හබරාදූවේ ගාමා ගාමිණී සුබසිංහ ඉන් කිහිපදෙනෙකි.

ප්‍රේමකීර්ති ද අල්විස් හෝ ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, ආරියදාස පීරිස් වැන්නෙක් පිළිබඳව ද සඳහන් මුත්, හැත්තෑව දශකයේ දී ‍අවසන් ජෙනරාල් ලෙස පත්ව ආ රිජ්වේ තිලකරත්නගේ පාලන සමයේ දී ගුවන්විදුලියේ වූ පිබිදීම මෙන්ම ඒ යුග‍ෙය් නිවේදක නිවේදිකා භූමිකාව මැනැවින් රඟපෑ චරිත රැසක් පිළිබඳ මෙන්ම ඔවුන් හා සම්බන්ධ ඇතැම් රසවත් හාස්‍ය ජනක සිදුවීම් ද මගේ මතකයට එන්නේ කුරුලු හදවත අසන්නන් හා වැඩසටහන් පිළිබඳ මතක් වීමෙනි.

1973 අග භාගයේ දී පමණ රිජ්වේ තිලකරත්න නව සභාපතිවරයාගේ ආගමනයත් සමඟ, රජය විසින් දින පහ හමාරක සතිය, සෙනසුරාදා නිවාඩු දිනයක් බවට පත්කිරී‍ෙමන් දින පහක සතියක් වූ පසු ශනිදා පෙරවරුව සඳහා ජනතාවගේ, අධ්‍යාපනය රසවින්ඳනය ,දැනුම, අවබෝධය, නිර්මාණ හැකියාවන් දියුණු කර ගැනීම වැනි අරමුණු මුල්කොට‍ගෙන හඳුන්වා දුන් ශනිදා සාදය වැඩසටහන ශ්‍රාවක ආකර්ෂණය දිනූ අපූරු ගුවන්විදුලි කාලයක් වීය.

පෙරවරු අටේ සිට දහවල් දොළහයි තිහ වන තෙක් අඩහෝරාවක් බැගින් නිවේදක නිවේදකයන් කැලක් විසින් සජීවීව ඉදිරිපත් කළ හෝරා කිහිපය වටා ශ්‍රාවකයෝ රිසි පරිදි තම අඩහෝරාව තෝරා බේරාගෙන සවන් දුන්හ.

ප්‍රේමකීර්ති ද අලවිස් සමඟ දයා ද අල්විස් , බර්ටි ගලහිටියාව, නිව්ටන් ගුණරත්න, ඩී. එස් දයාරත්න, අසෝක තිලකරත්න, ශ්‍රීමා අදිකාරි, ආරියසිරි විතානගේ, සුජාතා ගුණවර්ධන, රත්නා ලංකා අබේවික්‍රම, ලලිත් එස්. මෛත්‍රීපාල ආදීන් ශනිදා සාදයෙන් එවකට අපට ළං වූ නිවේදක නිවේදිකාවෝ වුහ.

ප්‍රේමකීර්ති තම අඩහෝරාවේ දී දයා ද අලවිස් නිවේදිකාව ද හවුල් කරගෙන ශනිදා සාදය ඇරැඹූ අන්දම ද එම අඩහෝරාව අත් නොහැර කෙසේ හෝ සවන් දෙන්නට පුරුදු වී සිටි අයුරුද සිහිපත් කළ හැකියි. එක් ශනිදා උදෑසනක, ප්‍රේමකීර්ති සුපුරුදු සැහැල්ලුවෙන්, වැඩසටහන අරඹමින් දයා ද අල්විස් නිවේදිකාව පිළිබඳ අද ඔහුව හමුවීම පිළිබඳ මෙසේ පැවසූ බව මතකය.

‘මට දයා මුලින්ම මුණ ගැහුණෙ මේ ගුවන් විදුලිය කොරිඩෝ‍ෙව්දී. ඉතින් ඒ මුල්ම හමුවීමේ ඉඳලා මම එයා ගැන හෙව්වා බැලුවා එහෙම නේද දයා යැයි පවසමින් එහෙම නම් අපි දැන් මේ ගීතය රසවිඳිමු යැයි පැවසීය.

ඔහු ශ්‍රාවක අපට රස විඳින්නට තෝරාගෙන තිබූ ගීතය කුමක්ද? දන්නවාද “හෝ ඕ ඕම් දුටු දා ඉඳලා ලුහුබැන්දා දන්නවාද මම පෙම් බැන්දා” නම් චිත්‍රපට ගීතයයි. ‘ශනිදා සාදයේ නිවේදක නිවේදිකාවන්ට, ශ්‍රාවක රුචියට සිරිලන ගීත තෝරා ඉදිරිපත් කිරීමටත්, ඇතැම් අවස්ථාවක එම ගීත සඳහා අර්ථකථන සැපයීමටත්, ගීත රචකයන්ට හා මැදිරියේ දී සජීව සංවාදයටත්, නිදහස දී තිබෙනු අපි දුටුවෙමු. 1976 අගෝස්තු මස ශ්‍රී ලංකාවේ දී නොබැඳි ජාතීන්ගේ සමුළුව පැවැත් වූ සමයේ ශනිදාවක පෙරවරු ශනිදා සාදයක දී එක්තරා නිවේදිකාවක් විසින් මෙම ලෝක සමුළුව වෙනුවෙන් අප රට සැරසී සිටි අන්දම විස්තර කළ අකාරයයි මේ. “අද මම කටුනායක ඉඳල ගුවන්විදුලි සංස්ථා කාර්යාලයට එනකොට මඟ දෙපස උත්සවශ්‍රීයෙන් ඇළලිලා තිබුණා.

කටුනායක කොළඹ කැනඩා‍ චිත්‍රපට මාවත දෙපස නොබැඳි ජාතීන්ගේ රටවලට අයිති ධජ සුළ‍ඟේ ලෙළදෙනවා. අපේ මව්බිමට මොන තරම් ආඩම්බරයක් ද කීර්තියක් ද මේ වගේ ‍ලෝක සමුළුවක් පවත්වන්න ලැබීම... “ඈ කියාගෙන ගියාය.

ඒ සතුට සැමරීමට දෝ ඈ විසින් අපූරු ගීතයක් තෝරා අප වෙත පිරිනැමුවාය. ගීතය කුමක්ද කියා දැන ගැනීමට ඔබ පුල පුලා බලා සිටින බව මම දනිමි. ගායිකාව ඉන්ද්‍රාණි පෙරේරායි. ගීතය? ‘එදා තරම් මගේ හිතේ රැඳුනේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුලු දස දහසක් සැණකෙළියේ කිසිම දේක දැනුණේ නෑ මට වෙනසක්..” නිවේදිකාවගේ තේරීම කෙතරම් අපූරුදැයි නොබැඳී සමු‍ළුවට ගැළපෙන්නේ දැයි දැන් ඔබට කල්පනා වනු නොඅනුමානයි.

ශනිදා සාදය ශ්‍රාවක හදවතට ළං වූ අර්ථවත් අඩහෝරාවක් සේ පවත්වා ගැනීමට බෝහෝ නිවේදක නිවේදිකාවන් සමත් වූ බව කිවමනාය. විශේෂයෙන්, අසෝක තිලකරත්න, ඩී. එස්. දයාරත්න වැන්නෙකු‍ගේ අඩහෝරාවක, සංයුතියට හාත්පසින්ම වෙනස් අයුරකින් තම අඩහෝරාවට සංගීතාංග සංවාද, නිර්මාණ, කාලීන සිදුවීම් එක් කරන්නට නිව්ටන් ගුණරත්න , සුජාතා ගුණවර්ධන, ආරියසිරි විතානගේ වැන්නන් සමත් වූ අතර සමාප්ති අඩහෝරාව සතුවූයේ ප්‍රේමකීර්තිටයි.

අසෝක තිලකරත්නගේ අඩහෝරාවේ කැපී පෙනුණු වි‍ශේෂත්වය වූයේ, තරුණ නිර්මාණකරුවන්ගේ විශේෂාංග ලිපි, පද්‍ය රචනා සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමය. ඇතැම් අස්ථාවක, ඔහුට ලැබන පද්‍ය කාව්‍ය පිළිබඳ කෙටි විවරණයක් සඳහා සම්පත්දායකයන් ද සොයා ගැනීමට අසෝක තිලකරත්න සමත් වූ බව එවැනි විවරණ සඳහා සහභාගී වූවෙකු ලෙස මට සිහිපත් කළ හැකියි.

තැපැල්පත් මගින් ගීත ඉල්ලන, ජනප්‍රිය වූ තරුණයෙකු තමාගේ ගමට කුරුලුගම්ගොඩ යනුවෙන් නමක් ලබාදීමට ද, එය ගුවන්විදුලි ශ්‍රාවකයන් අතර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවාසීන් තුළ ද ප්‍රචලිත කිරීමට සමත් වීම එදවස ගුවන් විදුලිය ජන සමාජය කෙරෙහි කුමන බලපෑමක් ක‍ළේ ද යන්නට අපූරු සාක්ෂියකි. තැපැල්පත් මඟින් ගීත ඉල්ලූ දිනසිරිගේ ජීවිතයේ වැදගත්ම හා නව දිශානතියක් කරා ගමන් කිරීම ඇරැඹෙන්නේ ගුවන් විදුලි සංස්ථාව සමඟ බව කුරුලු හදවත නවකතාව අපට පවසයි. එම කාල පරාසයේ ඊට සම්බන්ධව සිටි පෙරකී චරිත ද අපට සිහිපත් වීම වැළැක්විය නොහේ.

බුද්ධදාස ගලප්පත්ති
[email protected]