වම සහ දකුණ

වම දකුණ කියල මුලින්ම කියන්න පුරුදු වුණේ ඉස්කොලෙදි .සරඹ කරන කොට අත්දෙක පද්ද පද්ද වම් කකුලයි දකුණු කකුලයි ඉස්සුවට ඒක ඒ තරම් ලොකු වචන දෙකක් කියල එදා දැනුණේ නෑ. ඔහේ කරන්නන් වාලේ කෙරුවා.

ඒත් ඉස්කෝලෙ දහය එකොළහ පන්තිවලට එනකොට මේ වම දකුණ කියන වචන දෙකේ බැරෑරුම්කම වැටහෙන්න පටන් ගත්තා. ඊටත් පස්සෙ තවත් ටික ටික වයස යනකොට තමයි වම දකුණ කියන වචන දෙකට මොන තරම් වෙනසක් තියනවද මොනතරම් බැරෑරුම් වචන ද කියල තේරුම් ගියේ. වම ගැනම කතා කරන උදවියට වාමාංශික‍ෙයා කියලත් දකුණ ගැනම කතා කරන උදවියට දක්ෂිණාංශිකයො කියලත් කියන බව දැනගත්තා.

එතකොට හිතු‍ණා එහෙමනං උතුර ගැනම කතා කරන උදවියට ද කොටි කියන්නෙ කියලත්. ඒක විතරක්ද කවුරු හරි කෙනෙක් වයඹ, ගිනිකොණ, ඊසාන, බස්නාහිර ගැන කතා කරනවා නම් ඒ උදවියට මොක්කු කියලද කියන්නෙ කියන එකත් ප්‍රශ්නයක් වුණා.

වම ගැන කතා කරන උදවියට නිල ඇඳුමකුත් තියනව කියල අහල තිබුණා. ඒක රතු පාටයි. ඒ වගේම ඒ උදවිය අනිත් මිනිස්සුන්ට වඩා වෙනස්ලු. කොණ්ඩෙ වවාගෙන, රැවුල වවාගෙන සිටින ඔවුන්ට හයියෙන් වගේම වේගෙන් කතා කරන්නත් පුළුවන්ලු. බොහෝම බහුශ්‍රැත විදියට අනුන් විවේචනය කරන්නත් පුළුවන්ලු. කියන දේ කාටවත් නොතේරුණත් මිනිස්සු ඉස්සරහ අතපය විසිකරල කතා කරන්න පුළුවන්කම තියෙන්නත් ඕනැලු.

දකුණ ගැනම කතා කරන උදවිය අර කට්ටියගෙ විරුද්ධ පැත්තෙලු. වමේ විරුද්ධ දිශාව දකුණ නිසා කියලයි ඒ කාලෙ හිතුණේ.

ඉස්කෝලෙ දහය එකොළහ පන්තිවලට එද්දි වයසෙ වැරැද්දද මන්දා මේ දෙගොල්ලන්ගෙන් ආසම කරපු කට්ටිය තමයි වම ගැන කතා කරපු කට්ටිය. මොකද ඒගොල්ල කියන ‍ගොඩාක් දේවල් නොතේරුණත් හින්දි චිත්‍රපටියක් බලද්දි වාගෙ මුළු ඇ‍ඟේම හිරිගඩු පිපෙනවා.

ඒ කාලෙ හිතිච්ච දෙයක් තමයි ඒ කට්ටිය එහෙම වේගෙන් කතා කරන්න ඉගෙන ගත්තෙ කොහොමද කියන එක. එහෙම හොයල බලද්දි තමයි දැනගත්තෙ මේ අය වැඩිපුර කියවන්නෙ කාල්මාක්ස්ගෙ, ලෙනින්ගෙ, එංගල්ස්ගෙ පොත් කියල. ඒ පොත් කියෙව්වොත් අපටත් එහෙම හැකියාවක් ලැබෙයි කියල හිතල ඔය කියන ජාතියෙ පොත් දෙකක් හොයාගත්තා. හොයාගත්තා කීවට සල්ලි දීල ගත්තා. සෝවියට් සංගමයේ පොත් ප්‍රදර්ශනයකින් කාල් මාක්ස්ගෙ පොතකුයි ලෙනින්ගෙ පොතකුයි දෙකම රුපියල් හතළිහයි; එකක් විස්සයි.

පොත් දෙක ළඟ තියාන ටික දවසක් කියවනකොට ඔන්න වටින් පිටින් එක එක විදියෙ ආරංචි එන්න පටන් ගත්තා. චේ ගුවේරකාරයො අහුවුණොත් අතුරුදන් කරනව කියල චේ ගුවේරා කියන නම අහල තිබුණට මේ චේගුවේරාකාරයො කියන්නෙ මොකුන්ද කියල අහල තිබුණේ නැහැ.

ඒ ගැනත් හොයල බැලුවා. එතකොට තමයි දැනගත්තෙ එහෙම කොටසක් ඉඳල හැත්තෑ එකේ වඳ කෙරුවලු කියලා. ඒත් මේ කියන කාලෙ, ඒ කියන්නෙ අසූ අට, අසූ නවය කාලෙ උන් ආයෙත් බෝවෙලාලු. රතු පාටටලු වැඩිය ආස. කාල්මාක්ස්ගෙ ලෙනින්ගෙ පොත් කියවලලු එහෙම උන් හැදෙන්නෙ.

මදෑ සල්ලි දීල ගත්තු පොත් දෙක. ඉක්මනට හැංඟුව. තැන් තැන්වල ටයර් උඩ බාගෙට රෝස් කරපු කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ මළ මිනී එහෙමත් දැකල තිබුණු හින්ද හොඳටම බය හිතුණා.

ඊට පස්සෙ කළේ මේ වාමාංශික කියන කට්ටියගෙ තිබිය යුතු වෙනත් ලක්ෂණ මොනවද කියල හොයල බලපු එක. ඒගොල්ලන්ගෙ දෑත්වල කරගැට තියනවලු. දුක් විඳපු ලක්ෂණ මුළු ඇ‍ඟේම තියෙන්න ඕනලු. දෑකැත්තයි මිටියයි එයාලගෙ ලකුණලු.

ඇත්ත වෙන්න ඇති කියල හිතුණා. මොකද දෑකැත්ත මිටිය අරන් වැඩ කරනකොට අත්වල කරගැට එනවනෙ. හොඳට දාදිය දාන්නත් ඕනලු. ඉහින් කනින් දාදිය දානකොටලු නියම වාමාංශික පෙනුම එන්නෙ. ඔය විදියට දාහක් මනෝ විකාර එදා ඔළුවට ආවා. ඒත් විසිඑක්වෙනි ශත වර්ෂෙ දහය එකොළහ දොළහ වගේ අවුරුදු වෙනකොට තමයි කල්පනා වුණේ අපිත් මොන තරම් මෝඩ වැඩ කෙරුවද කියලා. එතකොට තමයි වැටහුණේ අපට නිවන් යන්ඩ පාර පෙන්නන්න හදපු කට්ටිය කරල තියෙන්නෙ ඒගොල්ල බුදු වෙලා අපට බණ ටිකක් කියන්න හදල විතරයි කියල.

ඒවා මතක් වෙද්දිත් වෙවුලනවා. බැරි වෙලාවත් ඒ කාලෙ ගෝනි බිල්ලකුට හරි කහ බළලකුට හරි කළු බළලකුට හරි කොළ කොටියකුට හරි නයකුට හරි අහුවුණා නම් මේ කතාව කියන්නවත් ඉතුරු වෙන් නෑනෙ කියල.

ඒ වගේම අද දෑකැත්ත ඕනැන්නෑ, මිටිය ඕනැන්නෑ. මොකද දැන් ගොයම් කපන්නෙ භූතයගෙන්. තණකොළ කපන්න ග්‍රාස් කටර් තියනවා. ඇණ ගහන්න මිටි ඕනන්නෑ. ඒ ඇණ ගහන විදියෙ වැඩ අඩු නිසා වහල කොන්ක්‍රීට්. ගෙදර බඩු මූට්ටු ඔක්කොම ප්ලාස්ටික්.

ඒගොල්ල කියපු සමානාත්මතාවය ගැන විතරක් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු වෙලා තිබුණා. හැබැයි ඔය කියන සමානාත්මතාවය ඔයිට වඩා වටිනා ආකාරයට කියල විතරක් නොවෙයි ඇතිකරලම පෙන්නුවා මීට අවුරුදු 2600 කටත් උඩදි අපේ සම්මා සම්බුදු රජාණන් වහ්නසේ. ඒ කියල දීපු දහම දිහා බලනකොට මේ උදවිය මොනවද මේ කරන විහිළු කියලත් හිතෙනවා.

එදා ඒගොල්ල මහ හයියෙන් කෑගහල කරපු විප්ලවයට පීඩිතයන් ගලවා ගැනීමේ මෙහෙයුමට උරෙන් උර ගැටිල වැඩ කරපු ප්‍රේමවතී මනම්පේරි වෙනුවෙන්වත් ඒ වාගෙ කාන්තාවො දාස්ගාණක් වෙනුවෙන් වත් මොනම දෙයක්වත් කරන්න කාටවත් බැරි වුණා. ඒත් ඊට බොහෝ කාලයකට උඩදි අපේ බුදු හාමුදුරුවො නම් පටාචාරාට විතරක් නෙවෙයි තව ඒවාගෙ කාන්තාවො දාස්ගණනකට හැකි උපරිමයෙන් පිහිට වුණා.