හිතක මහිම

හවහට උඩතට්ටුවේ බැල්කනිය පැත්තෙන් ඉර බහින්නේ තාලෙකට කියලා මට හිතෙනවා. කහපාටයි රතුපාටයි එක්තුවෙලා තැඹිලි පාට වෙලා තිබුණ අහස හදිස්සියේ ලා කළු පාට වෙනවා. ඊටත් පස්සේ තද කළුපාට වෙලා මුකුත් ම පේන්නේ නැතුව කෑලි කපන්න පුළුවන් ඝන අන්ධකාරෙකින් වැහෙනවා. ඊට පස්සේ බැල්කනියේ ඉන්න අනවරතේ බය හිතෙනවා.

ඒ බය හිතෙන්නේ හරිහමන් හේතුවකට නෙමෙයි කියලා මම දන්නවා. ඒ අපේ හිත්වල ගාල්කරලා තියෙන බය එළියට ඒමක් විතරයි. කළුවරට තියෙන බය, සොහොන් පිට්ටනිවලට තියෙන බය, හොල්මන්වලට තියෙන බය යථාර්ථයක් නෙමෙයි. අපේ හිත්වල තියෙන මායාවක් විතරයි. පුංචි කාලේ කාමරේ ලයිට් එක නිවලා දුවගෙන ඇවිත් ඇඳට ගොඩවෙලා කකුල් දෙකේ ඉදලා ඔළුව ළඟට එනකල් ම වහගෙන සමහර වෙලාවට ඉතිපිසෝ ගාථාවත් කිය කිය අපි නිදාගන්න තැනුවේ ඔය නිස්කාරණේ හිතට දැනෙන බය හින්දයි.

බය දැනෙන්නේ හිතටයි. ශරීරයේ සෑහෙන්න වෙනසක් කරන්න හිතට පුළුවන්. හිත කියන්නේ මහා බලගතු දෙයක් කියලා පොත්වල ලියලා තිබුණට ඇත්තටම ඒක එහෙමයි කියලා අපිටම දැනෙන වෙලාවලුත් තියෙනවා. එහෙම වෙන්නේ හිත හොඳටෝ ම කඩාගෙන වැටුණ වෙලාවට, එහෙමත් නැත්නම් හිතට දෝරේ ගලන සතුටක් දැනුණ වෙලාවට. හිතේ සතුට දෝරෙ ගලන කාලවලට බැලුම් බෝල වගේ මහත් වෙන උදවිය හිතේ දුක වක්කඩෙන් එළිබහින වෙලාවට වැල්කෝටු වගේ කෙට්ටු වෙනවා. හිතට කරන්න පුළුවන් ඒ වගේ මැජික්.

එක එක මිනිස්සුන්ගේ හිත් එක එක විදිහයි. හිත් කොයිතරම් නම් එකිනෙකට වෙනස්, එකිනෙකාට ආවේනිකයි කියලා කිව්වත් මිනිස්සුන්ගේ හිත් හැදෙන්නේ, ගොඩනැ‍ඟෙන්නේ පොඩි කාලේ ඉදලා හැදෙන වැඩෙන පරිසරය අනුව කියලයි මට හිතෙන්නේ. අපේ ජීවිතවල සමහර මානයන් ගොඩනැ‍ඟෙන්නේ යාන්තම් බහතෝරන අවධියේ ඉඳලමයි.

කුඹුරේ ගොයම් පැළවල නිල්ල අතරේ තනිවෙච්ච මඩෙන් පෙඟුණ දෙපා උරුම වෙච්ච තාත්තලාගේ ළමයි, කොළඹ රටේ සුකුරුත්තන් සෙල්ලම් බඩුවලින් හුරතල් වෙච්ච ළමයින්ට වැඩිය වෙනස්. අතට අහුවෙච්ච පත්තර කෑල්ලේ ඉඳලා හැමපොතකම අකුරක් ගාණේ කියවපු මිනිස්සු හිතන විදිහ පාඩම් පොත් විතරක් කියවපු මිනිස්සුන්ට වැඩිය වෙනස්.

පොත්වලින් හිත්වලට ගන්න පුළුවන් දේ බොහොමයි. ජීවිතේ කියන්නේ සැහැල්ලුවට ගන්න පුළුවන් දෙයක් නොවෙන විත්තියත් මිනිස්සු අතරෙ ඇතිවෙන බැඳීම් කියන්නේ සෙල්ලමට ගන්න පුළුවන් දේවල් නොවෙන විත්තියත් පොත් අපිට උගන්නනවා.

මිනිස්සුන්ගේ ජීවිත මල් යහන් නොවෙන විත්තිය පාඩම් නොවෙන පොත්වල නා නා විධ මිනිස්සුන්ගේ ජීවන අත්දැකීම් විදිහට අකුරු වෙලා තියෙන හන්දා ජීවිතේ සමහර වෙලාවට හරි බරට දැනුණත් ඒක උසුලාගෙන ඉන්න හිතට හයිය ලැබෙනවා.

හිතක් කැඩෙන එක අතක් පයක් කැඩෙනවට වැඩියෙන් වේදනාකාරියි. කැඩුණු හිත්වලට දෙන්න දොස්තර මහත්තුරු ළඟ බේත් පෙති තිබුණට, හුඟවෙලාවට ඒපෙතිවලින් හිත් සනීපවෙන්නේ නෑ. සමහර වෙලාවට හිතට වදදෙන එකම කාරණයක් ගැන හිතලා හිත් ලෙඩ වෙනවා. ජීවිතේ ඒ කාරණෙන් එහාට දෙයක් නොපෙනීම යනවා. ජීවිතේ තියෙන්නේ එතනයි කියලා හිතෙනවා.

අන්න එතන දි සමහර වෙලාවට මිනිස්සු සිය දිවි නසා ගන්න පෙළඹෙනවා. ඒ දුක හිතෙන එකම කාරණෙන් එහාට ජීවිතයක් තියෙනවා කියලා මිනිස්සුන්ට පේන්නේ නැහැ. සමහර වෙලාවට ජීවිතේ සුන්දර ම කාලේ එන්න තියෙන්නේ ඒ සිදුවීමෙන් පස්සෙයි කියලා මිනිස්සුන්ට පේන්නේ නෑ. සමහර මිනිස්සු දිවි තොර කරගන්නේ ණය ගෙවා ගන්න සල්ලි නැතුව. සමහර ප්‍රේම සම්බන්ධතාවලට තියන නැවතීමේ තිතවල් නවතින්නෙත් දිවි නසා ගැනීම්වලින්.

ලෝක සිය දිවි නසා ගැනීමේ දිනය යෙදිලා තිබුණේ සැප්තැම්බර් මාසේ 10 වෙනිදට. අවුරුද්දකට ලක්ෂ අටකට වැඩිපිරිසක් ලෝකේ පුරාවට දිවි නසා ගන්නවා.වැඩිපුරම දිවි නසා ගන්නේ දියුණු වෙමින් පවතින රටවල මිනිස්සු. ශ්‍රී ලංකාවත් සිය දිවි නසා ගැනීම් වැඩිම රටවල් අතරෙ ඉන්නෙ ඉහළම තැනක.

ඒක ආඩම්බර වෙන්න ඕනේ කාරණයක් නොවුණට එහෙම වෙන්නේ ඇයි කියලා හිතන්න ඕනේ කාරණයක්. සිය දිවි නසා ගැනීම් දත්තවලින් පෙන්වන තව කාරණාවක් නම් වැඩිපුරම දිවි නසා ගන්නේ අඩු ආදායම්ලාභී මිනිස්සු කියන එකයි. සල්ලි වැඩිපුර තියෙන මිනිස්සු දිවි නසා ගන්නේ අඩුවෙන්. සල්ලිවලින් ප්‍රශ්න යටපත් වෙනවද කියලත් මට නිකමට වගේ හිතුණා.

ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්තරයක් කියන්නේ නිකමටම නෙමෙයි. ඒ ප්‍රශ්න පත්තරේ තියෙන්නේ එක විෂයකට අදාළ ප්‍රශ්නත් නෙමෙයි. සමහර ප්‍රශ්නවලට ජීවිත කාලෙටම උත්තර හම්බවෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒත් ජීවිතේ කියන්නේ ප්‍රශ්නවලට මූණදෙන්න පුළුවන් විදිහට හිත හයිය කරගන්න එකයි.

එක එක්කෙනාගේ හිත් එකිනෙකට වෙනස්. රුපියල් දහදාහක රෑට කන මිනිස්සුන්ගේ හිත් රුපියල් දහදාහකින් මාසයක් ජීවත් වෙන මිනිස්සුන්ගේ හිත්වලට වැඩිය වෙනස්. ඒත් හිත් ඇතුළට එබිලා බැලුවම සමහරවෙලාවට අර රුපියල් දහදාහක රෑට කෑම කන මිනිස්සුන්ගේ හිත්වල සරුවපිත්තල කොළ කෑලි අලවලා තියෙනවා.

කිසිම ගැඹුරක් නෑ. රුපියල් දහදාහකින් මාසයක් ජීවත් වෙන මිනිස්සුන්ගේ හිත් හරිම ගැඹුරුයි. ඒ හිත්වල මිනිස්සු වෙනුවෙන් වැඩි ඉඩක් තියෙනවා. ඒ හිත්වලට ජීවිතේ වැඩිපුර දැනෙනවා. කොහොමටත් ජීවිතේ හැමදෙයක් ම සල්ලිවලට කරන්න පුළුවන් කියලා හිතන මිනිස්සුන්ගේ හිත් හරිම පටුයි. ඒ හිත්වලට ජීවිතේ දැනෙනවා අඩුයි.