හෙළ නර්තනයේ නොනිමෙන ගිනි සිළුව

දේශීය නර්තන කලා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා අනුපමේය සේවාවක් ඉටුකළ ආචාර්ය ඇස්. පණීභාරත මහතාගේ ජන්ම දිනය යෙදෙනුයේ පෙබරවාරි 24 දිනට ය.

අතීතයේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අයත් නින්දගමක් ලෙස සැලකෙන “අල්ගම” නාමය දේශීය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබූ පරපුරක් බිහි කළ ග්‍රාමයකි. අතිශයින් දේශීය සංස්කෘතියට නැඹුරු වූ මෙම ග්‍රාමයෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ පබංචි අල්ගම නොහොත් පබා ගුරුතුමාට සහ ඩිංගිරි උක්කු මාතාවට දාව දූ පුතුන් සයදෙනෙක් වූහ. ඒ අතුරින් දෙවෙනියා හැඳින්වූයේ “පාණිස්” හෙවත් “පණී” යනුවෙනි. වර්ෂ 1920 පෙබරවාරි 24 දින ජන්ම ලාභය ලැබූ තම දෙවෙනි පුතු අනාගතයේ දී දේශීය වෛද්‍යවරයෙක් කිරීමට දෙමව්පියන්ගේ එකම අභිලාෂය විය. එම අදහස පෙරදැරි කරගෙන වෛද්‍ය ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම සඳහා රත්නපුරයේ වැඩ විසූ තිබ්බොටුවාවේ ගුණානන්ද වෙද හාමුදුරුවන් වෙත යොමු කර විය.

බහ තෝරන අවදියේ සිට බාප්පා වූ කිරිගණිත ගුරුතුමා වෙතින් නැටුම් ශාස්ත්‍රය මෙන්ම බෙර වාදනය ද කුඩා පණී ඉගෙන ගත්තේ තම සහජ කුසලතාවය මොනවට ප්‍රදර්ශනය කරමිනි. දෙමව්පියන්ට අවනත වෙමින් වෙද පොත හැදෑරුව ද සිත වැඩිපුරම යොමු වී තිබු‍ුණේ නැටුම් කලාව වෙත ය. දිනක් රත්නපුරේ සමන් දේවාලයේ දී සිය බාප්පා වු කිරි ගණිත ගුරු විසින් ඉදිරිපත් කරන්නට යෙදුන චිත්තාකර්ෂණීය නැටුම් විලාසයෙන් වශිකෘත වූ කුඩා පණී වෙදකමට ආයුබෝවන් කීමට සිතා ගත්තේ ය. තම බාප්පා වෙතින් නැටුම් පමණක් නොව බෙර වාදනය ද මනා ලෙස උගත් පණී වෙල්ගම ගිනිනේරිස් ගුරුතුමා වෙතින් පහත රට නැටුම් කලාවද උගත්තේ ය. වාදන ශිල්පය ප්‍රගුණ කළ කුඩා පණීට ජේ. ඩී. ඒ. පෙරේරා ‍ෙග් බිරිඳ වූ චන්ද්‍රලේඛාවන්ගේ බෙරවාදක ශිල්පියා ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබුණු අතර මෙතෙක් ගැමි පරිසරය තුළ අත්දැකීම් ලබා සිටි පණීට අගනුවරට පැමිණීමට ලැබුණු ප්‍රථම අවස්ථාව බවට මෙය පත්විය.

පණීගේ නර්තනය වාදනය සහ ගායන යන ක්ෂේත්‍රයන්හි තිබූ සුවිශේෂ දක්ෂතාවය කෙරෙහි ජේ. ඩී. ඒ. පෙරේරා ද බෙහෙවින් පැහැදුෙණ් ය. කොළඹ ලෝරන්ස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ හෙතෙම පණීට එහි ශිෂ්‍යයකු ලෙස කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දුන්නේය. එපමණක් ද නොව ඉගෙනුම ලබන අවධියේදීම එහි නර්තන ආචාර්යවරයා ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාවක් ලබා දුනි. පසු කාලයේ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූ පණීට සංස්කෘත භාෂාව හා සාහිත්‍ය යන විෂයයන් පිළිබඳවද පුළුල් දැනීමක් රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් වෙතින් ලබා ගැනීමට අවස්ථාව උදාවිය. ඔහුට වයස 18 සපිරෙන මොහොතේ එනම් වර්ෂ 1938 දී කොළඹ නාලන්ද විද්‍යා‍ල‍ෙය් නැටුම් ආචාර්යවරයා වශයෙන් කටයුතු කිරීමට පත්වීමක් ලැබිණි. වසර කීපයක් එසේ ගුරුවරයකු ලෙස කටයුතු කළ පණීට වර්ෂ 1944 දී ශිෂ්‍යත්වයක් ලැබ බටහිර බෙංගාලයේ පිහිටි ශාන්ති නිකේතනයට ඇතුළත් වීමට වාසනාව උදාවිය. එහිදී භාරතීය සම්භාව්‍ය නර්තන සම්ප්‍රදාය වූ කතකලි, මණිපූරි යන නැටුම් ශෛලීන් ද තබ්ලා, මෘදංග හා පබාවාජ් යන අවනද්‍ය භාණ්ඩද ඉගෙනුමට අවකාශ ලැබිණ. එපමණක් ද නොව රබින්ද්‍රනාත් තා‍ගෝර්තුමාගේ නෘත්‍ය නාට්‍යය කිහිපයක රඟපෑමට ද ඔහුට අවස්ථාව උදාවී ඇත.

වසර හතරක කාලයක් තිස්සේ භාරතයේ විවිධ නර්තන කලාවන් පිළිබඳ අධ්‍යයනයේ යෙදුණු පණී පෙරළා ‍දිවයිනට පැමිණි අතර, එහි දී ජේ. ඩී. ඒ. පෙරේරා මහතා ප්‍රමුඛ විද්වත් මඩුල්ලක් විසින් ඔහුට උපහාරයක් වශයෙන් “පණීභාරත” යන නාමය පුදනු ලැබිණි.

එතෙක් රජයේ කලායතනයේ පාඨමාලාව චිත්‍ර විෂයයට පමණක් සීමා වී පැවැති අතර, ජේ. ඩී. ඒ. පෙරේරා මහතා විසින් 50 දශකයේ මුල් භාගයේ දී සංගීත සහ නැටුම් යන විෂයයන් ද ඉගැන්වීම ආරම්භ කරන ලදී, නර්තන අංශය සඳහා ප්‍රධානියකු පත් කර ගැනීමට පවත්වන ලද ප්‍රායෝගික මෙන්ම සම්මුඛ පරීක්ෂණයේ දී විශිෂ්ට ලෙස සමත් වූ පණීභාරත නැටුම් විද්‍යාලයේ ප්‍රථම අංශ ප්‍රධාන ලෙස පත්විය. 1974 මැයි මස 1 වෙනි දින ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යටතේ සෞන්දර්ය ආයතනය නමින් විශ්වවිද්‍යාලයීය ආයතනයක් බවට පත් වූ අතර, එහි ද නැටුම් අධ්‍යයනාංශයේ ප්‍රධානියා පණීභාරත මහතා වීම විශේෂත්වයක් විය. 1979 වර්ෂයේ ජනවාරි 1 වෙනි දින සිට සෞන්දර්ය අධ්‍යයන ආයතනය කැලණිය විශ්වවිද්‍යාලයේ අනුබද්ධිත ආයතනයක් බවට පත් වූ අතර එහි ප්‍රථම අංශාධිපති ලෙස පත් වූයේ ද පණීභාරතයන්ය.

නැටුම් අධ්‍යයනාංශයේ ප්‍රධාන පරිපාලක ලෙස කටයුතු කරමින් ආයතනික දියුණුව උදෙසා කටයුතු කළ හෙතෙම මීට අමතරව නර්තන නිර්මාණ කටයුතුවලද නියැළි සිටිමින් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා කැප වී කටයුතු කළේය. ඔහු විසින් ග්‍රහ අපලය, බතේ උපත, කෝච්චිය, පොර පොල්පිටිය, හත් පත්තිනි, දිට්ඨ මංගලිකා යන මුද්‍රා නාට්‍ය නිර්මාණය කරන ලදී. ඔහුගේ සුවිශේෂ නිර්මාණයක් වශයෙන් සැලකෙනුයේ “නාරිලතා” නැමති නර්තනාංගයයි. එහි අන්තර්ගත “සිරිදැරු මල් උයනේ” නැමති ගීතය ගැඹුරු හඬින් යුතුව කර්ණරසායන ස්වරයෙන් ගායනා කරන ලද ආකාරය තවමත් අප මතකයේ රැඳී ඇත. එවන් ගැමි මිහිරි හඬක් කිසිදු අයුරින් අප සවනතට ගෙන ඒමට මේ දක්වා වෙනත් කිසිවකු සමත්වී නැති බව අවිවාදයෙන් පිළිගැනෙන කරුණකි. චිත්‍රපට සඳහා නර්තන අධ්‍යක්ෂණයෙන් ද දායක වූ පණීභාරත එවකට තිරගත වූ සිකුරු තරුව, කුරුළු බැද්ද හා “අශෝකා” යන චිත්‍රපටවල නැටුම් අධ්‍යක්ෂණය කරනු ලැබුවේ දේශීය මෙන්ම භාරතීය තමා ලත් අත්දැකීම් උපයෝගි කර ගනිමිනි.

පනහ දශකය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදෙස් ගත වූ සියලුම සංස්කෘතික ප්‍රසංගවල නායකත්වය පණීභාරතයන් විසින් ගනු ලැබීම තවත් විශේෂත්වයකි. වර්ෂ 1953 දී ජර්මනියට යවන ලද නැටුම් කණ්ඩායම. 1958 රුසියාවේ පැවති ලෝක තරුණ සම්මේලනයට යවන ලද “සාම විජය” මුද්‍රා නාට්‍යයේ අධ්‍යක්ෂණයෙන් සහ රංගන දායකත්වය, 1965 දී පොදු රාජ්‍ය මණ්ඩල කලා උළෙල, 1966 පාකිස්තානය, 1967 කැනඩාවේ පවත්වන ලද “එක්ස්පෝ” ප්‍රදර්ශනය, 1974 රුසියාව, 1975 ජපානය යනාදී රටවල්වල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කළ ප්‍රසංගවල ප්‍රධානියා ලෙස කටයුතු කළේ පණීභාරත ය. හෙතෙම චිත්‍ර කලාව හා නැටුම් කලාප පිළිබඳ පාරම්පරික පවුලකට උරුමකම් ලත් පියුමචාරි ප්‍රේමලතා නම් නැටුම් ගුරුවරිය සමඟ 1954දී විවාහයට පත්විය.

පණීභාරතයන් නර්තන කලා ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවය ඇගයීම වස් කලාසූරි ජනාධිපති සම්මානය ද, 1996 කැලණිය විශ්වවිද්‍යාලය පිරිනමන ලද දර්ශනසූරී සම්මාන ඇතුළු දෙස් විදෙස් සම්මාන රැසකින් පුද ලබා ඇත. 2006 වර්ෂයේ එවකට ජාතික නර්තන හා මුද්‍රා නාට්‍ය අනුමණ්ඩලය මඟින් එතුමාගේ ජන්මෝත්සවය යෙදෙන පෙබරවාරි 24 දින ජාතික නර්තන දිනය වශයෙන් නම් කරන ලද අතර එදා මෙදාතුර එම දිනය සැමරීම රාජ්‍ය මට්ටමෙන් සිදුකරනු ලබයි.