ගොවි ගින්දර ළය ගින්දර සහ රිදී ගින්දරී...

අකල් වැස්ස ගොවි සිත් විකල් නොකරයිද? සෝයා බෝංචි වගා කළ උදවිය අමාරුවේ වැටී අවසන් ය‍. තොරතෝංචියක් නැතිව වහින වැස්ස නිසා සෝයා පැළ කුණුවෙමින් යන බව කියමින් සෝ සුසුම් හෙළන ගොවියන්ට පිහිට වන්නට කිසිවකුත් නැති පාට ය. වගා හානි සඳහා වන්දි ගෙවීමෙන් පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තවට අත පිසදා ගත හැකිද... ස්වාභාවික විපත් පාලනය කිරීම අපහසු බව ඇත්තකි. එහෙත් වගා හානි අවම කර ගන්නටත් වළක්වා ගන්නටත් සුදුසු ක්‍රමවේදයක් කෘෂිකර්මාන්තය ද ගොවියා ද වෙනුවෙන් ඇත්තා වූ අමාත්‍යංශ දෙපාර්තමේන්තු විසින් සකස් කරගත යුතු යි නේද? කාලගුණ දෙපාර්තමේන්තුව සමඟ සහජීවනයෙන් කටයුතු කළ යුතු ය. මන්ද යත් ගොවිතැන් සහ කාලගුණය එකට බැඳී තිබෙන බැවිනි. අයහපත් කාලගුණය තවදුරටත් පවතින නිසා එයින් වගා බැට කන භෝගයක් වෙනුවට ඊට ඔරොත්තු දෙන භෝග වගාවට ගොවියන් හට උපදෙස් දිය යුතු ව තිබිණි. ඒ කිසිවක් නොකොට විනාශ වූ වගාවන් වෙනුවෙන් ඇතැම් ගොවියන්හට පමණක් වන්දි හෝ බීජ ලබාදීමෙන් රටක කෘෂිකර්මාන්තය දියුණු කළ හැකි යැයි සිතීම මහා මිත්‍යාවකි.

ගංවතුර, නියං සහ වගා හානි වන්දි හෝ ආධාර සම සේ බෙදී යන වාතාවරණයක් ද දැකිය නොහැක. එහිදී ඉස්මතු වන්නේ පක්ෂ දේශපාලනයයි. ආණ්ඩු පාක්ෂිකයා හට ආධාරයත්, විරුද්ධ පාක්ෂිකයා හට අනාදරයත් ලැබුණු කළ සාධාරණය සහ යුක්තිය ඉෂ්ට සිද්ධ වේද?

“අනේ අක්කෙ ගින්දරී බලන්ඩ යන්කෝ"

ගොවි ගින්දර අමතක කර දමන්නට උපකාර වන්නී අල්ලපු ගෙදර නදීකා නංගියි.

“යමු. ගෙවල්වලින් අවසර ගන්නෙ කොහොමද?”

“ගෙයි ගින්දරෙන් පිච්චෙන අපට ආයෙ අමුතුවෙන් අනුරාධපුරේ යන්න ඕනි නම් නෑ තමා ගින්දර බලන්න...” යි කී ඇය හිනාහුණා ය.

“අපේ පොඩි දෙන්නගෙනුත් බේරෙන්න බෑ. දවසක් හොයාගන්න එක නෙ වැඩේ. එක්කො ඉස්කෝලෙ එක්කො පංති..."

ගෙයින් පිට ව යාම පහසු කාරියක් නොවේ.

“අම්මා ආයෙත් යනවද චිත්‍රපටයක් බලන්න?”

මද්දු ඇසුවේ ඇස් ගෙඩි උළුප්පාගෙන ය.

“මතක නැද්ද තාත්තා කොච්චර බැන්නද කියල ගිය සැරේ?”

පොඩි පුතා තරවටු බැල්මක් හෙළුවේ ය.

“නරක දේ ඉතිරි කර ගන්න නෑඹිලියක් නොවී හොඳ දේ ඉතිරි කරගෙන නරක දේ අහක දාන කුල්ලක් වෙන්න ළමයිනේ” යි මා කියන්නේ සැහැල්ලුවෙනි.

“හරි හරි අපි නෑඹිලි අම්මා කුල්ල... තාත්තා බැණපුවත් අම්මා දැං අමතක කරල ඉවරයි ඔය ඉක්මනට...?”

පොඩි පුතා විමතියෙන් අසයි. මම හිස සැලුවෙමි.

“එපා එපා ඕන් නෑ යන්න ඉලංදාරි ගෙදර . අම්ම යනව ඉලංදාරියා වගේ චිත්‍රපටි බලන්න.

“ඉතිං ඔයාලත් එන්න”

“ඔච්චර කරදර වෙන්න ඕනි යැ චිත්‍රපටි බලන්න. පහුවෙලා සීඩී එකක් බලනවනෙ ගෙදරට වෙලා...”

“අයියෝ පොඩි පුතා හෝල් එකක කළුවරේ ගොඩක් කට්ටිය එක්ක ලොකු තිරයක චිත්‍රපටියක් බලන එක වෙනම අත්දැකීමක්. වෙනස්. ඒ වගේම රසවත්...”

“පිස්සුද අම්මෙ... ඔය බස්වල යන්නෙ ළමයිනුත් එල්ලගෙන...”

මද්දු අසන්නේ ද ළමා විය සඳහටම අමතක කර දැමුවාක් මෙනි.

“දහස් ගණන් මිනිස්සු බස්වල යද්දි ඇයි අපට බැරි...?”

“අම්ම ඉතිං කියන දේ අහන කෙනෙක් නෙවීනෙ‍. යන්න යන්න. ගිහිං ආවට පස්සෙ මෙතන තාත්ත බනිනකොට බයේ ගුලිවෙලා ඉන්න...”

අපි සියලු දෙනා හිනැහුණෙමු.

“ඔව් ඉතිං පිරිමි කැමතිත් එහෙමනෙ. ගෑනු බයවෙලා ඉන්නවටනෙ. අවුරුදු සීයක් හිටියත් ඔයාලගේ තාත්තා අපි අහවල් ගමන යමු කියලා මාව එක්කරගෙන යන්නෙ නෑ කොහේවත් ම. ඉතිං මම දැං යනවා මගේ ළමයිනුත් එක්ක මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද?

කොල්ලන් හතර පස් දෙනෙකු සමඟ වාද කිරීම පහසු නැතත් මම අභියෝගාත්මක බැල්මක් සමඟ නැඟී සිටියෙමි.

“ඉතිං අම්මට තිබ්බෙ අම්මව ගමන් බිමන් එක්කගෙන යන කෙනෙක්ව කසාද බඳින්න නේ...”

ඒ පහරින් මා ඇදවැටුණේ නැවත නැඟිටගන්නට බැරි තරමටම ය. සුපුරුදු ලෙස මට පිහිට වූයේ නිවුන් පුතුන් ය.

“ඔයා හරි මෝඩයිනෙ පොඩ්ඩො... තාත්තට පුළුවන්ද අම්ම ව විතරක් එක්කරගෙන යන්න‍? අපි ඔක්කෝටම යන්න වෑන් එකක් ම ඕනි නේ. වාහනයක් තිබ්බනං තාත්තා අපිව එක්කගෙන යනවා තමා. මෝටර් සයික‍ලේ යන්න පුළුවන්ද අපි සේරටම?

වාද විවාද ඇනුම්, බැණුම් මධ්‍යයෙහි මම අ‍පේ සොඳුරු චාරිකාවට දිල්හාරාට සහ කුෂානිට ද ඇරයුම් කළෙමි. ඒ අක්කා නගෝත් නදීකා සහ හසරැල් පුතුත් නිවුන්නුත් එක් වූ කළ අපූරු නඩයක් බිහි විය. එහෙත් චිත්‍රපටයේ නම් කිව යුතු තරමේ අපූර්වත්වයක් නොවිණ‍ “බහු බූතයෝ දෙවැන්නක් කරන්නට උදයකකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂවරයා හට උවමනා වූයේ මන්දැයි මට කීප විටක් සිතිණි. මනුස්ස වේශයක් ගත් යස්සනියකගේ කතාව තුළ අපූර්වත්වයක් සහ චමත්කාරයක් නැතුවා නොවේ. එහෙත් හාස්‍යය මතු කරන්නට අධ්‍යක්ෂවරයා දරන ඇතැම් ප්‍රයත්න ජුගුප්සාජනක බව කනගාටුවෙන් වුව කිව යුතු ය. යට ඇඳුම් ගෙන හැර පෑමෙන් මවාලිය හැකි හාස්‍යයක් වේද?

හාස්‍යය සමඟ මනුෂ්‍යත්වය ද නොමඳව මතු කළ චාලි චැප්ලින් චිත්‍රපට පෙළ යළි නරඹන්නැයි මම ඔහුගෙන් ඉල්ලා සිටින්නට කැමැත්තෙමි. ඇසට කඳුලක් ද මුවගට සිනහවක් ද එකවර ගෙන එන ඒ ප්‍රේමය විකට නළුවා ද ඔහු ගේ නිමවුම් ද නැවත නැවත අධ්‍යයනය කිරීම අතිශයින් වැඩදායකවනු නිසැකය.

උදයකාන්ත වර්ණසූරිය සැබැවින්ම වෙනස් වූත් නැවුම් වූත් තේමාවන් සහිත චිත්‍රපට නිර්මාණය කළ විශිෂ්ට සිනමාවේදියෙකි. ඉතින් මඳක් නැවතී ආපසු හැරෙන්නට කාලය එළැඹ තිබේ. සරල රස වින්දනයක් සහිත චිත්‍රපට තැනීම වරදක් නොවේ. චිත්‍රපට කර්මාන්තයේ අභිවෘද්ධියට එය ඉමහත් ලෙස ඉවහල් වෙයි.

චිත්‍රපටයක දෙවැනි කොටසක් තැනීම ද වරදක් නොව අරුමයක් නොවේ‍. එහෙත් ‘ගින්දරී” ට “බහු බූතයෝ” ඉක්මවා යා හැකිද? සම්ප්‍රදායික ජන විශ්වාසයත් ඇසුරු කර ගනිමින් අපූරු තේමාවන් යොදා ගැනීම පිළිබඳව උදයකාන්ත වර්ණසූරියට අපේ ප්‍රශංසාව හා ගෞරවය හිමි වෙයි. මනුෂ්‍ය සන්තානයේ සංකීර්ණත්වය විදහා පාන උසස් සිනමා කෘතියක් මෙන් ම හද පුබුදු කරවන සරල රස වින්දනයක් සහිත වාණිජ සිනමාවක් ද දෑතින් ගෙන පෙනී සිටින්නට සමත්කම් දක්වන අධ්‍යක්ෂවරයෙකු ලෙස අපට ඔහු දැකගන්නට ඉඩ ප්‍රස්ථා සැලසෙනු ඇතැයි විශ්වාස කරමි.