මොළය පස්සට බැසීමේ රෝගය

මේ දවස්වල අඹ ගහ යට පුංචලාට පැංචිලාට හරිහැටි නින්දක් නෑ. එක එක විදිහේ කුමන්ත්‍රණ කතා, විහිළු කතා, වීර කතා වැහි වැහැලා. ලොකු පුංචා කතිර තරගෙට එන්න වලිකද්දී නිල් කණ්ඩායමෙන් ඒ අයදුම්පත බාරගන්නේ නැති බව සිරිපුංචා ප්‍රසිද්ධියේම කියලා තිබුණා. මේ කතාවට බන්දු පුංචා, වංශ පුංචා, ගප්පි පුංචා ඇතුළු ‘නන්නත්තාර සංගමය' තමන්ගේ කෝපය මුදාහැර තිබුණා.

“එහෙම කොහොමද මේක රටේ අවශ්‍යතාවය?" ගප්පි පුංචා හැමතැනම බෝක්කු කට ඇර ඇර කිය කිය ගියා.

“රටේ කෙසේ වෙතත් ඉතිං ඕක අපේම අවශ්‍යතාවයනේ. එහෙම නොවුණොත් අපිට හබක්" ගප්පි පුංචා අඬන්න ගත්තා. ගප්පි පුංචා හොටු පෙරාගෙන අඬද්දී වංශ පුංචා එතෙන්ට සෙට්වුණා.

“ඔහෙල වැඩිම වුණොත් ගෙදර යයි. මං එහෙමද? මේ පාත්වෙන මරාලවල විදිහට මගෙයි පැංචිගෙයි ගමන හිරෙන්වත් කෙලවර වෙයිද කියලා හිතාගන්න අමාරුයි” වංශ පුංචා මතක් කළා.

“මටත් ලොකුම කරදරයක් වෙන්න විදිහක් නෑ. දෙදාස් පන්සීයකින් මාසෙ ජීවත්වෙන්න පුළුවන් කියලා ඔප්පු කරන්න අවස්ථාවක් ඇවිල්ලා කියලා හිත හදාගත්තා" බන්දු පුංචා පැහැදිලි කළා. ඒ කතාව ඇහුවම ගප්පි පුංචා තමන්ගේ ඇඬිල්ල තවත් වැඩි කළා.

“කතිර තරගෙ කාලෙක අඹ ගහ යට පුංචලාගෙන් පැංචිලාගෙන් රුපියල් සීය ගාණේ එකතු කරපු දාස් ගණන් සල්ලිවලට මොකද වුණේ කියලා අර අලුතෙන් පිහිටවපු ‘සල්ලි අපරාධ කොට්ඨාසයට' කැඳෙව්වොත් එහෙම මොන දෙයියන්ට කියන්නද? ගප්පි පුංචා එහෙම කියමින් බෙරිහන් දුන්නා.

“මේ වගේ දේවල්වලට අඬලා හැපිලා වැඩක් නෑ. කරන්න පුළුවන් මොකක්ද කියලා ටිකක් කල්පනා කරලා බලන්න ඕනෑ.." බන්දු පුංචා තමන්ගේ ඔළු ගෙඩියට තට්ටු කරමින් කීවා. ඒ වෙලාවෙ ගප්පි පුංචා ඇඬිල්ල නවත්වලා තමන්ගෙ ඔළුව ට තට්ටු කරලා බලන්න හැදුවා. ඒ වෙලාවෙ තමන්ට දැනුණු දෙයින් ගප්පි පුංචා එක පාරටම ගල්ගැහුණා. ඒත් වෙනසක් පෙන්වන්න හදන්නේ නැතිව කරබාගත්තා. ඒත් මොකක්ද මේ සිදුවෙමින් තියෙනා මහා විපර්යාසය කියලා ගප්පි පුංචා අන්දුන් කුන්දුන් වෙලා හිටියා. තමන්ගේ වෙනස අනිත් පුංචලාට තේරේවි කියලා බයෙන් ගප්පි පුංචා ගැහෙන්න ගත්තා. මේ ගැහිල්ල ඉවෙන් වගේ දැනුණු වංශ පුංචා ඒ පැත්තට හැරුණා.

“අනේ අහක බලන්න අනේ. මට නිකන් මොකද වගේ” ගප්පි පුංචා කීවා.

“ඔය ප්‍රශ්නෙ ගැන ඔච්චර කලබල වෙන්න එපා. මට ඕක වෙලා ගොඩක් කල්. මේ බලන්න” වංශ පුංචා තමන්ගෙ ඔළුව ගප්පි පුංචා දිහාට පාත් කරා.

ඒ දැක්ක දෙයින් ගප්පි පුංචා එකපාරටම ගැස්සුණත්, තමන්ට සිද්ධවේගෙන යන අලකලංචියත් මේ වගේම හින්දා යම්තම් හිත හෑල්ලු කරගත්තා. වංශ පුංචගෙ ඔළුව පේන්න තිබුණට ඒ ඔළුව මැදින් යටට කිඳා බැහැලා තිබුණා. ඒ කියන්නේ මොළය තිබුණේ ඔළුවේ නෙවෙයි. නුගේ ගහ යට සැලුන් එකකින් දමාගත්තු බොරු කොණ්ඩයකින් ඔළුව වහගෙන හිටපු හින්දා හොඳටම ඔළුව පාත්කරොත් ළඟම ඉන්න කෙනෙකුට ඒක පෙනෙන එක වළක්වන්න බෑ. වෙන විදිහකට කියනවානම් වංශපුංචාගේ මොළය පස්ස පැත්ත දක්වාම පහලට බැහැලා තිබුණා. ගප්පි පුංචාටත් මේ රෝගය මේ විදිහට හැදීගෙන එන විත්තිය දැනගන්න ලැබුණේ දැන්. ඒ මීට ටික වෙලාවකට ඉස්සර තමන්ගේ ඔළුවට තට්ටු කරගන්නට උත්සාහ කරපු නිසයි.

“මොළය කියන්නේ මහා අරුම පුදුම භාණ්ඩයක්. ඒක කවදාවත් එක විදිහකට තියෙන්නේ නෑ. ඒ වෙනුවෙන් ආවස්ථික පිරිවැයක් දරන්න ඕන. ඊට පස්සේ දළ දේශීය ආදායමෙන් මොළ සඳහා කෙතරම් මුදලක් වෙන් කරනවාද? ඒක දීර්ඝ කාලීන ආයෝජන හැටියට බලපාන්නේ කොහොමද? ගෙවුම් ශේෂ සම නොවෙන විට ණයකර මගින් අයකරගන්නා මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලුම හා සැපයුම අතරේ කළමනාකරණය කරගන්න වෙනවා” බන්දු පුංචා තමන්ගේ ආර්ථික විද්‍යා ටියුෂන් මතකය අවදිකරගෙන රට පටලවන කතා ගොඩක් කියන්න ගත්තා. වංශ පුංචයි, ගප්පි පුංචයි මේ කයිවාරුව තේරෙන්නෙ නැති හින්දා කන් දෙකේ ඇඟිලි ගහගත්තා.

“දැන් මොකද අපි කරන්නේ?” අන්තිමට ගප්පි පුංචා ඇහුවා.

“මේකට ප්‍රතිකාර කරන්න පුළුවන්. නියමිත බෙහෙත් හේත් ගන්නා ගමන් ව්‍යායාම හැටියට දවසේ උදේටයි හවසටයි ඔළුවෙන් හිටගත්තාම මොළේ ආයෙම ටික ටික නියමිත තැනට එන්න ගන්නවා” වංශ පුංචා පැහැදිලි කළා.

“ඉතිං ඔයා එහෙම කරනවද? ගප්පි පුංචා ආයෙම ඇහුවා.

“අපෝ නෑ. මේ දවස්වල මොළේ තිබුණොත් හරිම කරදරයි. ඒ හින්දා මේ දවස්වල ප්‍රතිකාර කරන්නේ නෑ." වංශ පුංචා පැහැදිලි කළා.

“එහෙනම් මාත් ප්‍රතිකාර ගන්න එපාද? ගප්පි පුංචා උපදෙස් පැතුවා.

“අපෝ දැන්ම ඕන නෑ. අපේ මොළේ පස්සට බැහැලා විත්තිය අපි අපි මිසක් මේ අඹ ගහ යට පුංචලා පැංචිලා කවුරුත් දන්නේ නෑ. අනික අපි වාඩිවෙන කොට ටිකක් පරිස්සමට වාඩිවුණාම ඉවරයි. ලොකු පුංච පෙනී ඉන්න කතිර තරගෙ තිබ්බට පස්සේ නිවී සැනසිල්ලේ බෙහෙතක් කරගන්නවා” වංශ පුංචා පෙන්වා දුන්නා.

ඔය සංවාදය ටික දුරක් යන කොට ඈතින් ලොකු පුංචා මතුවුණා. ගප්පි පුංචා දුවගෙන ගිහින් වැඳවැටුණා.

“අනේ අපි මේ වින්නැහියෙන් බේරාගන්න බුදු සෑර්" ගප්පි පුංචා කන්නලව් කළා.

“අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හැමතැනම” වංශ පුංචත් කීවා. ඒ කතාව ඇහුණාම ලොකු පුංචා ඉණේ පටිය ලිහිල් කරලා ඇඳගෙන හිටිය සරම ගසා බසා දැම්මා. ඊට පස්සේ හොඳ හෝදිසියෙන් බැලුවා.

“මොකද සර්" බන්දු පුංචා ඇහුවා.

“මං බැලුවෙ උඹල කියන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණේ මගේ සරම ඇතුළටත් රිංගලාද කියලා" ලොකු පුංචා උත්තර දුන්නා.