කහටලියැද්දේ චූලාභය ද්විතීයිකයට ගියෙමු

මුහුණුපොත ( facebook ) විනෝදාස්වාදය සඳහා භාවිත කරනු ලබන මෙවලමක් යැයි 2015 ජනාධිපතිවරණයට පෙර පැවසූයේ එක් අපේක්ෂකයෙකි.එහෙත් සමාජ වෙබ් අඩවි විසින් කරනු ලැබූ බලපෑම කෙතරම් බලවත් වී ද යත් ඓතිහාසික ජනවාරි 8 ජයග්‍රහණයත් සමඟ මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්තයෙකුට පරාජිතයෙකු වී ගම්බිම් බලා යන්නට සිදු වූයේ ඔහු කිසි දින අපේක්ෂා නොකළ පරාජයක් ද සමඟය. මේ කතාව මුහුණු පොත බලපෑමෙන් සිදු වූ තවත් අපූරු සමාජ සත්කාරයක කතාවයි. ඉංජිනේරුවරයෙකු වූ පීටර් ජෙරෝම් තිසරණ පෙරේරා මුහුණුපොතේ මගේ දහසකුත් එකක් මිතුරන් අතරේ තවත් එක් මිතුරෙකු වූවද 2015 පෙබරවාරි 15 වන දා ඔහුගේ පෝස්ටුවක් දකිනා තෙක් ඔහු සමඟ කිසිදු සම්බන්ධයක් නොවිණ. මුහුණුපොත යහපත් දේ සඳහා කෙතරම් සක්‍රීය මෙවලමක් ද යන්න සනාථ කරමින් මම පීටර් ජෙරෝම් මිතුරාගේ පෝස්ටුවට ප්‍රතික්‍රියා දැක්වූවෙමි.උඩුදුම්බර,කහටලියැද්දේ චූලාභය ද්විතීයික හා ප්‍රාථමික පාසලට ඔවුන් ගිය දුෂ්කර ගමනක තතු එහි තිබිණ.

කුඩා දරුවන් පිරිසක් සමඟ පළ වූ ඡායාරූපය සමඟ විස්තරයෙහි වූයේ මෙම පාසල දිළිඳු පාසලක්, සම්පත් අඩු පාසලක් බවත් එහි ඉගෙනගන්නා දුවා දරුවන්ට විශාල වශයෙන් ආධාර අවශ්‍ය බවත්ය. 2015 අප්‍රේල් 4 වන දා පීටර් තිසරණ මිතුරාගෙන් තොරතුරු ලබාගෙන 8 වන දා මගේ ශක්ති ප්‍රමාණයෙන් මුදල් පරිත්‍යාගයක් බැංකුවක් හරහා යැවීමි.පසුව මා දෑන ගත්තේ ඔවුන් කණ්ඩායමක් මැයි මස 14 හා 15 දින අගනුවර සිට මේ දුෂ්කර පාසලට ගොස් තවත් විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවයි.විවේකයක් වේ නම්, මෙම ගමනට එක් වන්නැයි කළ ඉල්ලීම පිළිගනිමින් මා ඔවුනට පැවසූයේ, 15 සිකුරාදා පැමිණෙන බවත්, එහෙත් විනෝද ගමනකට එක් වන්නෙකු ලෙස නොව, පාසලේ උසස් පෙළ සිසු සිසුවියන් කිහිප දෙනෙකු වෙනුවෙන් හෝ සාහිත්‍යය, කවිය පිළිබඳ කතාබහකට ඉඩ ලැබෙනවා නම් වඩාත් කැමති බවයි. ඔවුන්ගේ එකඟත්වය සැණින් ලැබීම මගේ යෝජනාවට ආශීර්වාදයක් බව පවසා, 15 සිකුරාදා නොවැරදීම මා උඩුදුම්බර කහටලියැද්ද චූලාභය ද්විතීයකයට එනවා යැයි පිළිණ දුන්නෙමි.

පහළොස්වන සිකුරාදා පෙරවරු හතට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා යන නගරාන්තර දුම් රියේ මා සමඟ ගමන්ගත්, මුහුණුපොතේ මිතුරිය වූයේ හිමාෂිය. ඈ සී මැදිරියේත් මා ඩී මැදිරියේත් වූ බැවින් මහනුවර දුම්රිය ස්ථානයෙන් බසින තෙක් අප අතර කතාබහක් නොවිණි.අප දෙදෙනා කහටලියැද්දට කැඳවාගෙන යාමට එවා තිබූ වෑන් රථයට නගින කල, වේලාව දහයයි තිහ පමණ වී තිබිණ. අලුම්යමින් පිබිදුණු බැවින්, නිදිමත, හිසට ද, හිතට ද, වධ දුන්න ද නිදාගන්නට හිතක් නොවුනේ නුවර මහියංගන පාර දෙපස හිරු එළිය දැවටුණු කඳුවැටිවල මා සිත්ගත් නිල්ල නොබලා යන්නට දෑස ඉඩ නොදුන් බැවිනි.පිටුපස අසුනෙහි සිටි හිමාෂි ද , සොබා සුන්දරත්වයෙන් මත් වී සිටියාය. වංගු බහුල නුවර මහියංගන ප්‍රධාන පාරෙහි කිලෝමීටර් හතළිස්පහකට වඩා වැඩි දුරක් ගියපසු හමුවන උඩුදුම්බර කුඩා නගරය තෙක් පසු කළ දිගන, කුණ්ඩසාලේ, තෙල්දෙණිය මග දෙපස කඳුයාය, ජලාශ, නිදිමත හා වෙහෙස ඈතට ගෙන ගියාක් සේ දැනිණ. උඩුදුම්බර සිට කිලෝ මීටර් හතක් අටක් පමණ, හුන්නස්ගිරි කඳු පාමුල අවට සුන්දරත්වය නිසාම, විසාල, වල ගොඩැලි, සහිත පටු දුෂ්කර මාර්ගයෙහි ගමන ආස්වාදයක්ම වී යැයි සිතමි.චූලාභය ද්විතීයිකය පිහිටා තිබුණේ කුඩා කඳු ගැටයක් මතය.

 පෙරදා එහි ගොස් සිටි මිතුරු මිතුරියන්, පාසලට අත්‍යවශ්‍යව තිබූ නළ ලිඳ අලුත්වැඩියා කොට නව ජලනල පද්ධතියක් එළීමේ දුෂ්කර අභියෝගයට මුහුණ දී සිටි බව දැනගතිමි. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 3-4 ක මුදල මුහුණුපොත් මිතුරු මිතුරියන්ගෙන්ම සොයා ගත්මුත්, අලුත්වැඩියාවේ සේවා වියදම හා සහභාගීත්වය එහි ගොස් සිටි පිරිස හා ගම්මුන් විසින්ම දරන් ලද බවත් දැනගතිමි. දුවා දරුවන් තුන් හාරසියයක් ඉගෙනුම ලබන, ගුරු මව්වරුන් පියවරුන් පනහක් පමණ සිටිනා ස්ථානයක ජලය නොමැති නම්, එහි අත්විඳීමට සිදුවන දුක්ඛදායක තත්වය පිළිබඳ මා ඔබට විස්තර කළ යුතුද? මුහුණුපොත මෙවන් යහපත් පින්කම් සඳහා එක්කර ගෙන සිටි පිරිස් බොහෝ දෙනා එකිනෙකා නොහඳුනන, විවිධ,වයස් කාණ්ඩවල, අධ්‍යාපන හා වෘත්තීය මට්ටම්වල එහෙත් හෘද සංවේදී පිරිසක් වීම මෙවැනි කටයුත්තක ජයග්‍රහණයේ රහස ලෙස මම දකිමි.

කණ්ඩායම් නායක පීටර් ජෙරෝම් තිසරණ පෙරේර පෙරටු කොටගත් මිතුරු මිතුරියන් පිරිස හා ගුරු මව්වරු, පියවරු සමඟ උණුසුම් තේ කෝප්පයක රස බැලීමෙන් පසු ගමනෙහි විඩාවක් නොදැනිණ. අප නුවර සිට කැඳවා ගෙන පැමිණි, මාතලී සුධීර ද විඩා නිවා ගනු දුටුවෙමි. ජලය සැපයීමේ දුෂ්කර කටයුත්තට අත ගසා සිටි ප්‍රදීප් චන්දන ගුණරත්න ප්‍රමුඛ සෙසු කණ්ඩායම වූයේ, තිස්ස ගුණවර්ධන, ඉන්ද්‍රනාථ තේනුවර, නලින් දිරුක්ෂ,පවනි තරංගා, තිළිණි ෂැල්වින්,සුගත් ප්‍රේමරත්න, ලොකු පුතා,හිමාෂි කරුණාරත්න, ප්‍රියන්ත අප්පුහාමි, බණ්ඩාර විජේසුන්දර, සිතිජ කෝකිල, ඕදිත වනසිංහ, කරුණාරත්න කෞමුදිත ආදීන් ලෙස මට මතකය. විදුහල්පතී එච්.එම්.ජේ..ඒ.බී හේරත් හා සිංහල විෂය භාර මංජුල නයනජිත් ගුනරත්න ගුරුතුමා සමඟ කතාබහ කිරීමෙන් අනතුරුව, ප්‍රධාන ශාලාවේ රැස්ව සිටි දූ පුතුන් හා කවිය, පොදුවේ කලාව පිළිබඳ, කතාබහක නිරත වූවෙමි.

එක් දියනියක් ජන කවියක් ගායනා කළ අපූරුව තවමත් මට සිහි වේ. එහෙත් කනගාටුවට මුල් වූ ප්‍රධාන කාරණාව වූයේ, මේ දූ දරුවන්ගෙන් බහුතරයක් තුළ වර්තමාන කලාව සාහිත්‍යය කෙසේ වෙතත්, අපගේ කලා ක්ෂේත්‍ර තුළ ජීවත් වූ විශිෂ්ටයන් හෝ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ ඔවුන් තුළ වූ මඳ දැනුමයි. මාර්ටින් වික්‍රමසිංහ, ලෙස්ටර් ජේම්ස් පීරිස්, මහගම සේකර, නන්දා මාලිනී වැන්නන් හෝ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ නොදත් ඔවුන් ටෙලි නාට්‍ය නැරඹීමට නම් රුචියක් දක්වන සෙයක් හැඟිණ වර්තමාන ටෙලි නාට්‍ය බොහොමයක් තුලින් මේ දූ දරුවන්ගේ මනස විකෘත වන බව මතක් කළ යුතු ද? ඔවුන්ගේ රස වින්දනය පුබුදුවා ලීමට ටෙලි නාට්‍ය අසමත් බව නම් මම දනිමි. එහෙත් ප්‍රවණතාව එයයි. කෙසේ වූවත් ඉතා දුෂ්කර දිගු ගමනකින් පසුව දුෂ්කර ගම්මානයක ජන කොටස්, දූ පුතුන්, ගුරු මවුන්, පියවරුන් මෙන්ම, මුහුණු පොත සොයා දුන් අගනා, වටිනා මිතුරු සමාගමයකින් පසුව, නුවර සිට අගනගරයට නගරාන්තර බසයක පැමිණ හිමාෂීත් මමත් සමු ගත්තේ ජීවිතයේ තවත්, සුන්දර, අර්ථවත් ජීවන අත්දැකීමක් සිතට ළං කර ගනිමිනි.