දෙයියන්ගේ හාල් මදිවට කැඳ...?

කවුරු හරි සිහිකල්පනාවක් නැතුව පිස්සු නටන කොට තාමත් අපේ ගම් පළාත්වල උදවිය කියන කතාවක් තමා ‘මුන්දැට දෙයියන්ගෙ හාල් කැවිලය' කියන එක. දෙවි දේවතාවුන් සතු දේවල් පරිහරණය කරන්න යාමෙන් නර පනුවන්ගේ සිහිය විකල් වන බව විය යුතුයි මේ කියමනින් ගැමියන් අදහස් කරන්න ඇත්තේ.

මට මේ පරණ කතාව මතක් වුණේ මේ දවස්වල ජනමාධ්‍යවලින් අහන්න ලැබෙන ‘දෙයියන්ගෙ කැඳ' පිළිබඳ පුවතක් දැකලයි. මේ ප්‍රවෘත්තිය නම් දෙයියන්ගේ හාල් කතාවටත් වඩා බරපතළය කියලයි මට හිතෙන්නේ. මොකද හීනෙන් පෙනී සිටි නාථ දෙවියන් විසින් පවසන ලද රහස් වට්ටෝරුවකට අනුව මේ අති විශේෂ ‘දෙයියන්ගෙ කැඳ' පිසින බව දේව වරම් ලද පින්වතිය ප්‍රකාශ කර තිබෙන නිසයි.

මේ අස්සෙ මට ඉතිහාස කතාවකුත් මතක් වුණා. ඒක තමා අපි කවුරුත් දන්න රාජසිංහ-අරිට්ටකීවෙන්ඩු කතාව. රාසිං දෙයියෝ නමින් දනන් අතර මහත් කීර්තියක් දිනා හිටපු සීතාවක රාජසිංහ මහරජ්ජුරුවොත් අරිට්ටකීවෙන්ඩු කේවට්ටයගේ මායම්වලට අහු වෙලා බුදුදහම වනසා දමන්න වලි කෑවා. මහරජවරුන් පවා නොමඟ යැවීමට සමත් සටකපට දෛවඥයන් ඒ කාලෙත් අපේ රටේ හිටිය බවයි මෙයින් පෙනෙන්නේ.

දැන් ආයෙමත් අපේ ප්‍රධාන කතාවට බහිමුකෝ. දෙයියන්ගෙ කැඳ ව්‍යාපෘතිය පිටුපසත් දේශපාලනයක් හා මිථ්‍යා විශ්වාසයක් තිබෙන බව පැහැදිලිවම දකින්න පුළුවන්. මේ දෙයියන්ගේ කැඳ පාසල් දරුවන්ට පොවන්න දේශපාලන අනුමැතිය ලැබුණේ පහුගිය ආණ්ඩු සමයේයි. කොළඹ රාජකීය විදුහලට හා උතුරු මැද පළාතේ පාසල් රැසකට දෙයියන්ගේ කැඳ පොවන්න දේව වරමට අමතරව දේශපාලන වරමකුත් ලබා ගැනීමේ හැකියාව කැඳ ව්‍යාපෘතියේ නිර්මාතෘවරුන්ට ලැබුණා.

මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට වත්මන් රජය යටතේත් කැඳ වැඩ සටහන අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මෙතනදී මතුවන ප්‍රශ්නය තමා වත්මන් රජයේ වගකිව යුත්තන් ඊට අනුමැතිය දුන්නේ මේ කැඳ පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුවද කියන එක. රාජපක්ෂ පාලන කාලයේ මුල්ගල් තැබීමේ සිට ඡන්දයට දින නියම කිරීම දක්වා වූ හැම කාර්යක්ම දෛවඥයන්ට පවරා තිබුණු පසුබිමක් තුළ හීනෙන් දීපු වට්ටෝරුවකට අනුව දරුවන්ට දෙයියන්ගේ කැඳ පෙවීම ගැන පුදුම වෙන්න ඕනා නැති වුණත් දෙවියන් භූතයන් ඇතුළු අද්භූත බලවේග පරදවා පිහිටවපු අලූත් රජයක් යටතේත් පරණ තැටියම වාදනය වෙනවා නම් ඒක ලජ්ජාවට කාරණයක්.

මිථ්‍යා විශ්වාස මත පදනම් වී රටේ දරුවන්ගේ ජීවිතත් සමඟ සෙල්ලම් කිරීම ඉතා භයානක බව අපි අමතක කරන්න නරකයි. මාධ්‍ය මගින් පෙන්වා දෙන මෙම කරුණු පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් නොපමාව පවත්වා මෙහි යථා තතු රටවැසියාට හෙළි කිරීම රජයේ වගකීමක්. ඒ විතරක් නෙවේ. දෙයියන්ගෙ කැඳ ව්‍යාපෘතිය සෘජුවම පහුගිය රජයේ මැතිවරණ ව්‍යාපාරය සමගත් ගැටගැසී තිබුණු බව කියවෙනවා. එසේ නම් මේ හා බැඳුණු දේශපාලන හා මූල්‍ය ගනුදෙනුත් බොහොමයක් තිබිය හැකියි. මීට අනුමැතිය දුන් දේශපාලනඥයන් කවුරුන්ද කොපමණ මුදලක් මේ සඳහා වැය කර තිබේද වැනි කරුණු පිළිබඳවත් අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්වීම අදාළ බලධාරීන්ගේ වගකීමක්.

ලොවෙහි පවතින සියලූම දේවල් විද්‍යාත්මකව පැහැදිලි කරන්න අමාරු බව අප පිළිගත යුතුයි. සාමාන්‍ය මිනිස් ඇසට අසු නොවන ප්‍රහෙළිකාරි ගුප්ත දේ අදටත් ලොවෙහි පවතින බව සත්‍යයයි. නමුත් එහෙම දේවල් තිබූ පමණින් ඒවා දඩමීමා කරගෙන දියත් කෙරෙන දේශපාලන ව්‍යාපෘතිවලට ඉඩ දිය හැකිද? එසේම දෙවි දේවතාවුන්ගේ ලේබල් යටතේ එක එක මිනිසුන්ගේ ඔළුගෙඩිවල පහළ වන ඕනෑම මනස්ගාතයක් පිළිගැනීමට සමාජයක් බැඳී සිටිය යුතුද? දෙවියන්ගේ කැඳ පිළිබඳ පුවතත් අප සලකා බැලිය යුත්තේ ඒ පදනමෙහි පිහිටාය කියා මට සිතෙනවා.