අමෙරිකාවට නටන්න උගන්වන පරපුරක කතාව

නැටුම අත් පා සහිත කවි යැයි ප්‍රංශ කවි චාර්ල්(ස්) බුඩෙල්යා කියා ඇත. නර්තනය විශ්වය තරම් ඉපැරැණි ය. විශ්වය සේම විකසනය වන නැටුමට මිනිසා මහත් ඇල්මක් දක්වන්නේ ය. පරපුරෙන් පරපුරට උගන්වා නර්තනය කලාවක් ලෙස රකින්නට කැපවුණ පණිවිඩකරුවන් ලෝකයේ සියලුම ජන කොට්ඨාසවල සොඳුරුම මිනිසුන් ය. දිල්හාන් පින්නගොඩ එවැනි සොඳුරු මිනිසෙකි. වසර දහස් ගණනක පමණ කලක සිට පැවැතෙන බව කියැවෙන උඩරට නැටුම් කලාව අමෙරිකාවේ දරුවන්ට උගන්වන ඔහු නර්තනය යනු ලෝකය විඳින්නට පහසුකරවන මඟක් බව කියයි. සිංහල වචනවත් සපුරා නොතේරෙන පිරිසකට ඉමහත් කැපවීමකින් උඩර නැටුම් ඉගැන්වීමට එකඟවන්නට සිතක් ඇති වීම ගැන දිල්හාන් පින්නගොඩගෙන් විමසුවෙමි.

ඔහු ගැන, නර්තනය ඉගෙනීම ගැන අමෙරිකාවේ නර්තන ආයතනය ගැන ඇසූ විට ඔහු පැවසුවේ තමන් ප්‍රවීණ ශිල්පියක් නොව නමුත් නර්තනයට ආදරේ කරන මිනිහෙක් කියා ය. “හය වසරේදි නටුම් විෂයයක් විදියට හදාරන්න වැරදීමකින් තෝරගත්ත මම නර්තනයට ආකර්ෂණ වුණේ මගේ මුල් ගුරුතුමාගේ මඟ පෙන්වීමෙන්. ඒ කොළඹ කේරි විද්‍යාලයේදී. ප්‍රියංග රංජිත් කියන ගුරුතුමා අදටත් මගේ ගුරුවරයා. කලාවකට ආදරේ කෙනකුට පුළුවන් කලාවකට තව කෙනෙක් පොළඹවන්න. ඒක හරියටම කියාදෙන්න. අවුරුදු විස්සක් විතර මම නර්තනයේ යෙදෙනවා. වෙස් බැන්දට, සංදර්ශන තිබ්බට, නැටුම් ඉගැන්නුවට මම හිතන්නේ මම තාමත් ප්‍රවීණයෙක්, ප්‍රසිද්ධ ශිල්පියෙක් කියලා නෙමෙයි.

මම ඇමරිකාවේ නැටුම් උගන්වන්න පටන් ගත්තේ නලින්ද පීරිස් සොයුරා මාර්ගයෙන්. කලකට පෙර සිටම ටානියා ඩි සිල්වා මහත්මිය විසින් ඇරඹි තවත් ගුරුවරුන්ගේ උපකාරවලින් පවත්වාගෙන ගිය නර්තන ආයතනයකට සම්බන්ධවීමට මා යොමු කළේ ඔහු විසින්. ඒ වෙනකොට බොහෝ දුරකට උඩරට නැටුම් පිළිබඳ අවබෝධයක් ලද සිසුන් පිරිසක් සූදානම් කිරීමට ඒ ගුරුවරුන් වෙහෙසක් අරන් තිබුණා. මම ඒ සම්ප්‍රදාය ඉදිරියට ගෙනයාමට ඔවුන්ට එකතු වුණා. ඒ ගැන මා තුළ ඇත්තේ නිරහංකාර ප්‍රීතියක්. ඉතාම කෙටිකාලයක් තුළ නලින්ද පීරිස් සොයුරා, ඉන්දික කුමාර සොයුරා සහ තවත් බොහෝ අයගේ වෙහෙස මතින් අප ඒ සිසුවියන්ගේ පහිණිපත් මංගල්‍ය ඉදිරිපත් කෙරුවා. චන්න විජේවර්ධන ප්‍රවීණ නර්තන ශිල්පීයා අමෙරිකාවේ සංචාරයකදී අප හමුවී අපට ප්‍රශංසා කළා. උඩරට නැටුම් කලාවේ පිවිතුරුබව සුරකිමින් ඒ ඉගැන්වීම ගැන ඔහු අපට සතුට පළ කළා.”

උඩරට නැටුමේ ඔහු දකින සොඳුරු බව, දියුණු ගතිය විශාල ය. උඩර නැටුමේ ඇති අනන්‍ය ගතියට ඔහු කැමති ය. එහි අලංකාරය ඔහුව මුසපත් කරන නිසා වැඩිපුර උඩරට ශෛලියට නැඹුරුවී ඇත. නර්තනය ‘කලාවක්’ ලෙස හැදෑරිය යුතුද යන්න අප විමසන කාරණාවකි. නර්තනය කලාවකි. එය විෂයක් ලෙස හදැරීමට ඉඩ දෙන විසල් වස්තුවකි. ඕනැම දෙයක් හදාරන්න ඕනේ භක්තියෙන්, විනයානුකූලව ය. ඒක කලාවකට, විද්‍යාවකට, ක්‍රීඩාවකට ඕනෑම දේකට වලංගුයි. නිසි ලෙස ඉගෙන ගැනීම කළ යුතු ය. සිදුවිය යුත්තේ තමන් හදාරන කලාවට අවංකවීම බව ඔහුගේ අදහස ය.

වර්තමානයේ බොහෝ ආයතන උගන්වන්නේ සාම්ප්‍රදායික නර්තනයේ සැබෑම දේවල් ද යන ප්‍රශ්නයෙදි ඔහු මෙසේ පවසන්නේ ය. “ ශ්‍රී ලංකාවේ පාසල්වල වගේම පුද්ගලික ආයතන කිහිපයක සාම්ප්‍රදායික නැටුම් නොනසා ඉගැන්වීම සිදුකරනවා. ඒක සතුටක්. එහෙම නිවැරදි ඉගැන්වීමක් කරන අය අතර රවි බන්ධු සහ සමන්ති දෙපළ මගේ මතකයට නිතැතින්ම එනවා. මගේ නිවැරදි විධිමත් නර්තන අධ්‍යාපනයේ වැදගත්ම තැන ඒ ආයතනයයි.”

තවද දේශීය නර්තනය හුදෙක් සැරසිල්ලක් බවට පත්වීම පිළිබඳ ඔහුට ඇත්තේ මැදහත් අදහසකි. දේශීය නර්තනය හුදෙක් සැරසිල්ලක් වෙන අවස්ථා ඇති නමුත් එවැනි තත්ත්වයක හොඳ සහ නරක දෙකම සැලකිල්ලට ගත යුතු බව ඔහු පවසන්නේ ය. දේශීය නර්තනය නූතන කලාවන් පොහොසත් කරන්න උපයෝගී කරගැනීමේ වරදක් ඔහු නොදකින බවත් නමුත් දේශීය නර්තනය ඒ සැරසිල්ලේදි විකෘති කිරීම සිදු නොවිය යුතු බවත් ඔහුගේ අදහසයි. කලාකරුවාගේ ආර්ථික දියුණුවට ස්ථාවර බාවයට කලාව උපකාරවීමක් ලංකාව තුළද සිද්ධවිය යුතු බවත් කලාකරුවන් ශිල්පීන් සදාකාලිකවම දුකට පත්වීම නොවිය යුතු බවත් පින්නගොඩ පෙන්වාදේ. “මා කියන්නේ නර්තන කලාව තනිකරම වනිජ්‍යකරණය කිරීම නොවේ. ඒ සැරසිල්ලක් ලෙස භාවිතා කිරීම යහපත් ලෙස වන්නේ නම් එහි වරදක් නෑ. සරල උදාහරණයකට, සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට දේශීය නැටුම් භාවිත කරන්නේ නම් එහි වැරද්දක් නෑ.නමුත් දේශීය නැටුම කියා බොරුවක් ලෝකයට ඉදිරිපත් කරන්නේ නම් ඒ ගැන මම විරුද්ධයි.”

බටහිර රටක ජීවත් වෙමින් දේශීය නර්තන ක්‍රම ඉගැන්වීම අත්දැකීම පැහැදිලි කරන්න තමන්ට වචන මදි බව දිල්හාන් පින්නගොඩගේ අදහසයි.” විදේශයක සිසුන්ට සිංහල උගන්වන්න තිබුණා නම් මීට වඩා පහසු වෙන්න තිබ්බා. නමුත් උඩරට නැටුමේ රසය ඔවුන්ගේ සිතට ඇතුල් කිරීම, ඒය නැවත ඔවුන් විසින් නිවැරදිව නර්තනය කරවා ගැනීම අභියෝගයක්. නමුත් මා ආදරය කරන කලාව විදේශයකදී පවා රකින්නට ඒ දරන වෙහෙසට දායක වීමෙන් මට ලැබෙන සතුට අප්‍රමාණයි.”

එවැනි ඉගැන්වීමක් කිරීමෙන් ඔහු විසින් ඒ දරුවන්ට කලාවක් ඉගැනීමේ අවස්ථාවට වඩා වැඩි යමක් ලබා දීමට කැමැති වීමට හේතුව නර්තන කලාව වනිජ්‍යකරණයට ලක්වී විනාස නොවෙනු පිණිස ඒ හරියට උගන්වන්න ඔහුට හැකි තාක් කල් ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට ඇති කැමැත්තය. ඔහු නර්තනය ප්‍රියකරන, විශේශයෙන් උඩරට නැටුමට පෙම් බඳින කෙනෙකි. “නැටුම මට මාව තේරුම් ගැනීමට, මට මා වෙමින් අලංකාර හැඟීමක් විඳින්න පුළුවන් තැනකට මා රැගෙන යනවා. නැටුම මාව සතුටු කරනවා.” ඒ සතුට ලෝකයට ආපසු දෙන්න ඇති කැමැත්ත නිසා නැටුම් උගැන්වීමෙන් තවත් කෙනෙකුට ඒ අවස්ථාව ලබා දීමට ඔහු නොපැකිළෙයි.

ගැහැනු දරුවන් වාගේම පිරිමි දරුවන්ගේ ආත්මශක්තිය වැඩි දියුණු කිරීමට දේශීය නැටුම් කලාවේ යෙදවීම පිළිබඳ දිල්හාන් පින්නගොඩ දරන අදහස මෙවැනියි. “දරුවන්ට බලෙන් දේ පැටවීමෙන් කිසිම යහපතක් වන්නේ නෑ. කලාකරුවන් සංවේදී මිනිසුන්. මම කැමති සෙමින්, ක්‍රමයෙන් දරුවන් නැටුමට කැමැතිවීමෙන්ම එහි යෙදීමයි. ඒ තේරුම්ගෙන නර්තනයට ආකර්ෂණය වන කෙනෙකුට එයින් ලද හැකි සතුට අපමණයි.”

දිල්හාන් පින්නගොඩ පරපුරින් පරපුර උඩරට නැටුම් රැකගනීමේ ගමන යාමට කැමැත්තෙන් කැපවූ එක සොඳුරු මිනිසෙකි. ඔහුගෙ සුමිතුරෝ ඔහු සමග අත්වැල බැඳගෙන ඒ ගමන යති.