සෝවියට් දේශයේ නැඟීම සහ සෝවියට් දේශයේ බිඳවැටීම

සෝවියට් සංචාරවල අත්දැකීම් අළලා අපේ ලේඛකයන් දෙදෙනකු ලියු පුරෝගාමි පොත් දෙකක් සිංහල සාහිත්‍යයේ දක්නට ලැබෙනවා. එකක් මාර්ටින් වික්‍රමසිංහගේ ‘සෝවියට් දේශයේ නැඟීම'. අනික කේ.එම්. සිරිසේනගේ ‘විප්ලවයෙන් බිහි වූ ලෝකය'.

මෙයින් මුලින් ම පළ වුණේ කේ.එම්. සිරිසේනගේ පොත යැයි මා සිතනවා. මේ පොත කලකට ඉහත දී මා කියවා තිබෙනවා. මෙය මට සාමාන්‍යයෙන් අමතක නොවන්නේ එහි එන එක්තරා සිද්ධියක් හේතුවෙන්. එනම්, රුසියාවේ තමන්ට හොරුන් ගැන හෝ හොරකම් ගැන හෝ අසන්ට නොලැබූ යන කාරණයයි. එහෙත් පොත පළ වූ දවස්වල ම වගේ මෙරට පුවත්පතක සඳහන් වූයේ එකල රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිව සිටි මහාචාර්ය ගුණපාල මලලසේකරයන්ගේ ‘පවුන්ටන් පෑන’ මොස්කව් නුවර සුප්‍රකට බෝල්ෂෝයි නෘත්‍යාගාරයේ දී කිසිවකු විසින් සොරා ගන්නා ලද බවයි. ඒත් මහාචාර්ය මලලසේකර කියා තිබුණේ ඒ දිනවල මොස්කව් හි පැවති ලෝක තරුණ උළෙලට නොයෙක් රටවලින් විසිපන්දහසක් පමණ දෙනා සහභාගි ව සිටි හෙයින් මෙය රුසියන්කාරයකු නොව ඔවුන්ගෙන් කෙනකු ගන්න ඇතැයි සැක කළ හැකි බවයි. මෙම උළෙලට ශ්‍රී ලංකාව ද නියෝජනය කළා. ඒ නිසා පවුන්ටන් ‍පෑනේ සොරා ඇතැම්විට ශ්‍රී ලාංකිකයකු වන්ට වුවත් බැරිකමක් නැහැ.

‘විප්ලවයෙන් බිහි වූ ලෝකයේ’ කතුවර කේ.එම්. සිරිසේන වෘත්තියෙන් පුවත්පත් කලාවේදියෙක්. ඔහු එකල සේවය කළේ ‘ලංකාදීප’ පත්තරේ. අවංක සමාජවාදියකු වූ ඔහු ‘ගෝර්කි චරිතය’ සිංහලෙන් ලියා පළ කළා. ‘සෝවියට් දේශයේ නැඟීම’ ලියන මහගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ කියා ඇත්තේ තමා මෙය ලිව්වේ කිසිම දේශපාලන මතාන්තරයක් නඟනු පිණිස මෙන් හෙළනු පිණිස ද නොව මානව භක්තිය විසින් මෙහෙයවනු ලැබූවකු ලෙසින් යැයි සඳහන් කරනවා.

ඊට අවුරුදු ගණනාවකට පසු ‘සෝවියට් දේශය’ දේශපාලනමය වශයෙන් දැවැන්ත කඩාවැටීමකට ලක්වුණා. පෙරෙස්ත්‍රොයිකා, ග්ලාස් නස්ට් හා දෙමොකතිසාත්සියා යන සංකල් වලින් හැඳින්වුණු ප්‍රතිසංස්කරණවලින් ඉනික්බිතිව සෝවියට් දේශය ස්වකීය සමාජවාදී අර්ථක්‍රමය හමාර කළා. ඉන්පසු අනුක්‍රමයෙන් වෙනත් යුරෝපීය රටවල් ද කැඩී බිඳී සුන්බුන්ව ගියා.

මේ දැවැන්ත පෙරළියට, පරිවර්තනයට හේතුභූත වූ කාරණා බොහෝමයි. ඒවායින් සමහරක් බාහිරයි. සමහරක් අභ්‍යන්තරයි. අභ්‍යන්තර කාරණය වන්නේ ක්‍රමක්‍රමයෙන් ගොඩනැංවුණු නිලධරවාදයේ පිපිරීම.

සෝවියට් දේශයෙන් බිඳ වැඩීම වඩාත් ගැඹුරින් විග්‍රහ කෙරෙන පොතක් අපේ වාමවාදි බුද්ධිමතකු හා කලා විචාරකයකු වූ රෙජී සිරිවර්ධන විසින් ලියනු ලැබ තිබෙනවා. ඒ පොතේ නමත් ‘සෝවියට් දේශයේ බිඳ වැටීම’ යන්නයි. ජනවාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය පළකළ මේ පොත එළිදුටුවේ 1993 දී. නාට්‍ය පිටපතක් හැරුණු කොට මේ පොතට පරිච්ඡේද අටක් ඇතුළත්.

ඒ මෙපරිද්දෙන්. ගොර්බචොෆ් යුගය සහ සෝවියට් ඉතිහාසය, නිකොලායි බුඛාරින්: සියවසක් සපිරීමේ දී කැරෙන ආපසු හැරී බැලීමක්, අයිසැක් ඩොයිට්ෂර් පිළිබඳ ප්‍රතිසමාලෝචනයක්, ට්‍රොට්ස්කිගේ සදාචාරය: හිංසනයේ දේශපාලනය, නැඟෙනහිර යුරෝපයේ සිදුවීම් හා සෝවියට් සමාජයේ ප්‍රතික්‍රියාව, ජාතිකවාදය සහ සෝවියට් සංගමයේ බිඳවැටීම, ගොර්බචොෆ් ජයග්‍රහණය සහ ඛේදාන්තය. මේ හැරුණු කොට සෝවියට් දේශය බිඳවැටීමෙන් පසු ලෝකය යනුවෙන් පසු සටහනක් ද මෙයට අන්තර්ගත වෙනවා.

මෙයින් මගේ වැඩි අවධානයක් යොමු වුණේ නිකොලායි ඉවනොවිච් බුඛාරින් ගැනයි. ඔහුගේ ජන්ම ශත සංවත්සරයත් ඔහු ඝාතනය කර පනස් වසරක් සපිරීමත් පොත පළ වූ වකවානුවට ම යෙදී තිබුණා. 1989 දී ‘මාවත’ සඟරාවේ 49 කලාපය බුඛාරින් වෙනුවෙන් කවරයේ කතාවක් පළ කළා. ඒ ‘බුඛාරින්ගේ පුනරාගමනය’ යනුවෙන්. එයට රෙජී සිරිවර්ධන දුක් එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ලුනාචාර්ස්කි වගේම බුඛාරින්, ලෝක විප්ලවීය ක්‍රියාදාමයේ ප්‍රවේග ගැන ට්‍රොට්ස්කිට ව‍ඩා යථාර්ථවාදී දැක්මක සිටි බව පැහැදිලි යැයි කියා තිබුණා මට මතකයි‍. කෙසේ වෙතත් ස්ටාලින්ගේ කුරිරු ආඥාදායක්තවය බුඛාරින් ඝාතනය කළා.

මේ පොතට එන ‘දිගු දිනෙක මෙහෙවර’ නම් වූ නාට්‍ය පෙළ බුඛාරින්ගේ ජීවිතය පාදක ගෙන රෙජිම ලියූ නාට්‍ය කෘතියක්. නාට්‍යය නිෂ්පාදනය කළේ අභාවප්‍රාප්ත මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා. රවීන්ද්‍ර රණසිංහ මෙය සිංහලට නඟා තිබෙනවා. මේ නාට්‍ය පෙළ කියවූ බුඛාරින්ගේ බිරිඳ ලාරිනා අන්නාම්ඛායිලොව්නා මහත්මිය ඊට ප්‍රතිචාර දක්වා රෙජීට එවූ ලිපියක් ද මේ පොතට බහා තිබෙනවා.

සාර් රජ පවුලේ ඝාතන හෝ මොස්කව් අවනඩු ඔස්සේ හෝ අපට සෝවිට් දේශය පිළිබඳ වෙනමම චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන්. එය කිසිසේත්ම විචිත්‍රවත් සිතුවමක් නොවේ. අඳුරු අවපැහැ ගැන්වුණු චිත්‍රයක්.

කෙසේ වෙතත් බිහිසුණු ගොරබිරම් ධනවාදයට වඩා කවර අඩුපාඩුකම්වලින් ගහණ වුවද සමාජවාදය හොඳ යැයි සෑම අවස්ථාවකම වගේ ම අපට සිතෙනවා. සෝවියට් දේශය බිඳවැටීම යනු හුදෙක් සමාජවාදයේ බිඳවැටිීම නොවන බව මතවාදීමය ව‍ශයෙන් පිළිගන්නා බුද්ධිමතෙක් තමයි අපේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා. තම ඥාති පුත් විජය කුමාරතුංග ඝාතනය වූ භීෂණ සමයේ පණ කෙන්ද රැක ගන්නා අටියෙන් ෆින්ලන්තයට පලා යන අතරවාරයේ ඔහු ලියූ පොතක අපූරු සටහනක් දක්නට ලැබෙනවා. ඔහු කියා ඇත්තේ සමාජවාදී ලෝකයෙන් විශාල කොටසක් අහෝසි වී තිබෙන නිසාම ‘සමාජවාදය’ නමින් හඳුන්වන සමාජාර්ථික පරමාදර්ශය නිෂ්ප්‍රභ වී ඇතැයි නිගමනය කිරීම මුළාවක් බවත් එය හරියට ඉන්දියාවෙන් බුදු දහම අතුරුදන්ව ගියත් බුදුදහම නිෂ්ප්‍රභ වූයේ නැති ආකාරයට සමාන බවයි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙන්ම කොමියුනිස් පක්ෂයෙන් හිටපු නායක කේ. පී. සිල්වා, සිරිලාල් කොඩිකාර, ගුණසේන විතාන යන අය අදටත් සමාජවාදය පිළිබඳ ස්වකීය විශ්වාසය අත්නොහැර සිටින දෙතුන් දෙනෙකුට දිය හැකි හොඳ උදාහරණ.