ඩිජිටල් දරුවෝ

" අපි පොසොන් පෝයට අනුරාධපුරේ - මිහින්තලේ යනවා.... ටොම්සන් මහත්තයත් කැමති නම් අපිත් එක්ක යන්න පුළුවං... ” කියලා උන්නැහේ උදේ ම කීවේ ය.

" මොකෝ මං නොයන්නේ...? ඇම්බන් මහත්තයත් යයි... අපටත් ඉඩ තියෙයිද දන්නෙ නෑ... ” කියා ටොම්සන් මහත්තයා බොහොම සන්තෝසෙන් කීවේ ය.

" ඉඩ නැත්තං ඉඩ හදා ගන්ඩ බැරියැ.. එහෙනං යමු... ”

ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් පොසොන් පෝයට වන්දනාවේ පිටත් වුණෝ ය. අතර මඟ දී එක එක දන්සල්වලින් එක එක දේ ලැබුණු නිසා පිපාසයක් තිබුණේ නැත. බඩගින්නක් දැනුණේ ද නැති තරම් ය.

අනුරාධපුරේ වැඳ ගෙන මිහින්තලාව පැත්තට යද්දී පාර අයිනේ තැඹිලි විකුණන්න තියෙනවා දැකලා ටොම්සන් මහත්තයාට තැඹිලි ගෙඩියක් බොන්නට ආසාවක් ඇති විය. තැඹිලි දන්සල් තිබුණේ නැත. පාර අයිනේ කුඩා හෝටලයක් අසල තැඹිලි විකුණන තැනකට ආසන්න ව වාහනය නතර කරනු ලැබිණි. ටොම්සන් මහත්තයාත්, ඇම්බන් මහත්තයාත්, උන්නැහේත් වාහනයෙන් බැස්සහ.

" අපට දෙන්ඩකෝ තැඹිලි ගෙඩි තුනක්.. කන්ඩයි.. බොන්ඩයි දෙකට ම ... ” කියා උන්නැහේ විහිළුවෙන් කීවේ ය. පුංචි හෝටලේ අයිනේ දැවැන්ත කොහොඹ ගසකි. ඒ යට ලොකු ලෑල්ලක් ගසා තැඹිලි වල්ලක් තබා තිබිණි. තැඹිලි කපන්නේ මුදලාලි හාමිනේ ය. එහෙම කීවාට ඇයත් තරුණ පහේ කෙනෙකි. තැඹිලි බොන අතරේ ටොම්සන් මහත්තයාගේ ඇස ගැටුණේ තැඹිලි ලෑල්ලේ ටිකක් එහාට වන්නට, ලෑල්ලට තරම් උස ඇති දැරියක් ලෑල්ලේ මොකකට ද මුහුණ ඔබා ගෙන මොකක්දෝ කරමින් සිටින බවකි. ටොම්සන් මහත්තයා තැඹිලි ගෙඩියත් අතේ තියාගෙන ම දැරිය සිටින තැනට කිට්ටු වී එබී බැලූවේ ය. දැරිය හිස ඔසවා බැලූවේ එවිට ය.

දැරිය කුඩා පරිගණක ටැබ් එකකින් පරිගණක ක්‍රීඩාවක යෙදී සිටින අයුරු දුටු ටොම්සන් මහත්තයා ඒ බව ඇම්බන් මහත්තයාට ද, උන්නැහේට ද පෙන්නුවේ ය.

" මේ මුදලාලි හාමිනේගේ දුව වෙන්නැති... ”

" අනේ ඔව්.. මහත්තයා.. එක දුව නේ... ”

" වයස කීයක් විතර... ”

" තවම අවුරුදු තුනයි... ලබන අවුරුද්දේ තමයි පෙර පාසලකට දාන්න කියලා ඉන්නේ.. ”

ඇම්බන් මහත්තයා දැරිය ළඟට කිට්ටු වී කතා කළේ ය.

" බබා... මොකක්ද ඔය කරන්නේ... ? ”

දැරිය තමන්ගේ අතේ තිබූ කුඩා පරිගණක ටැබ් එක ඇම්බන් මහත්තයා දෙසට හරවා පෙන්නුවා ය. ඉන් පසු ඇය එහි තිබූ පරිගණක තිරය මත ඇඟිල්ල තවරා එහි වැඩ සටහන වෙනස් කළා ය. දැන් තිරයේ ඉන්නේ පරිගණක සතෙකි. ඇම්බන් මහත්තයා අසන දේ පරිගණක සතා පෙරළා අසයි.

" බබාගේ නම මොකක්ද ?” ඇම්බන් මහත්තයා ඇසුවේ ය.

" බබාගේ නම මොකක්ද?" කියා පරිගණක සතා ද ඇසුවේ ය.

" මේ ටැබ් එක අරන් දුන්නේ අම්මා වෙන්නැති... ” කියා ටොම්සන් මහත්තයා තැඹිලි කපන අම්මා දෙසට හැරුණේ ය.

" ඔව් මහත්තයා,... මේ එක දරුවනේ.. අනික් එක මේ කාලේ දරුවන්ටත් ඉගෙන ගන්න ඕනැ දෙයක් නේ... හැම වෙලාවෙ ම ඕකෙන් සෙල්ලම් කර කර ඉන්නෙ නෑ.. මෙයාගේ වයසේ ළමයි දෙතුන් දෙනෙක් මෙතෙන්ට එනවා.. එතකොට ඒ ගොල්ලෝ එකතු වෙලා වැලි සෙල්ලම් කරනවා.. ගෙවල් හදනවා. හැංගි මුත්තං සෙල්ලං කරනවා.. එක එක දේ.. දෝනිත් ටිකක් වෙලා ගියාම ඕක පැත්තකිං තියලා තනිය ම සින්දු කිය කියා තනියම සෙල්ලම් කරනවා.. ” කියා දැරියගේ අම්මා කීවා ය.

වාහනයේ නැඟ එන ගමන් ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයා සමඟ කතා කළේ ය.

" මේක තමයි ඇත්ත තත්ත්වය ඇම්බන් මහත්තයා..... ඊ ළඟ පරම්පරාවේ ඉන්නේ ඩිජිටල් දරුවෝ.. ඒක අපිට වළක්වන්න බෑ... ඊ ළඟ පරම්පරාවේ ලෝකය ගොඩ නැ‍ඟෙන්න, මේ දරුවන්ට ඩිජිටල් සාක්ෂරතාව ඕනැ නේ... දැන් බලන්ඩ මං කල්පනා කළේ අර පුංචි දරුවා... තවම පෙර පාසල් යන්නෙත් නෑ..ඒ වුණාට තිරය ඇඟිල්ලෙන් ස්පර්ශ කරලා ටැබ් එක පාවිච්චි කරන්න දන්නවා.. එතකොට ඒ දරුවා පෙර පාසලට යන්නේ ඒ හැකියාවත් එක්ක.. ඉස්කෝලේ පළමු වසරට යන්නෙත් ඒ

හැකියාවත් එක්ක. ඒ වුණාට මට තියෙන ප්‍රශ්නේ තමයි පෙර පාසල් විෂය නිර්දේශයේවත්, ප්‍රාථමික විෂය නිර්දේශයේවත් පරිගණක සාක්ෂරතාව ලබා දෙන්න හිතලාවත් නෑ නේ... ”

" ඒ විතරක් නෙවෙයි නේ ටොම්සන් මහත්තයා.. දැන් මේ දරුවට කියලා දෙන්න ඕනැ නේ.. මේ පරිගණක ටැබ් එක පාවිච්චි කිරීමට අදාළ සිරිත් විරිත්, චර්යා ධර්ම....ඒ කියන්නේ පරිගණක සාක්ෂරතාව නෙවෙයි ... මාධ්‍ය සාක්ෂරතාව නේ.. එතකොට අලූත් පරම්පරාවට මේවා උගන්නන්න අපේ රටේ තවම හිතලාවත් නෑ නේ..”

ටොම්සන් මහත්තයා තනිවම වාගේ සිනහසුණේ ය.

" මට මතක් වෙනවා ඇම්බන් මහත්තයා,.. ඔය ප්‍රාථමික අධ්‍යාපනයේ ලොක්කෙක් එක දවසක් පුහුණු වැඩ සටහනකට ඇවිත් කියනවා.. මට පරිගණකය හසුරුවන්න ඒ තරම් හැකියාවක් නෑ.. ඒ හින්දා මං මේ ඉදිරිපත් කිරීම ඉංග්‍රීසියෙන් කරන්නේ... ඒක සිංහලෙන් හදා ගන්න මට තේරෙන්නේ නෑ කියලා....”

" නෑ.... ? ”

" නෑ නෙවෙයි... ඔව්... ඒක තමයි ප්‍රාථමික අධ්‍යාපනයේ ඇත්ත කතාව.. ඉතින් ඩිජිටල් දරුවෝ කවදාහරි ප්‍රාථමික අධ්‍යාපනයේ වැඩ කරන්න ගියා ම ඔය පෙර පාසල් විෂය මාලාවට, ප්‍රාථමික අධ්‍යාපන විෂය මාලාවට පරිගණක සාක්ෂරතාව ඇතුළත් කරයි.. අපි මේ හදන්නේ ඩිජිටල් දරුවන්ගේ පරම්පරාවක් බව තේරුම් ගන්න ප්‍රාථමික අධ්‍යාපන ලොක්කන්ට තේරුම් යන්න තව හුඟක් කල් යයි... ” කියා ටොම්සන් මහත්තයා සුසුමක් හෙළුවේ ය.