පනස් වසරක තබ්ලා හඬ

විසි හැවිරිදි ප්‍රේමනාත් කොඩිතුවක්කු චිත්‍රපට අධ්‍යක්ෂ විමලනාත් දිසානායකගේ නිවසේ නතර වී ප්‍රවීණ වාදක මණ්ඩලයක් සමඟ චිත්‍රපටියක ගීත පටිගත කිරීම් සඳහා පුහුණුවීම්වලට සහභාගී වෙමින් සිටියේ ය. ඔහුට සියල්ල සිහිනයක් සේ ය. චිත්‍රපටවලටත්, චිත්‍රපටි ගීතවලටත් දැක් වූ දැඩි ආශාව නිසා චිත්‍රපටි ගීයකට තබ්ලාව වාදනය කරන්නට ඇත්නම් යයි හීන මැවූයේ වරක් දෙවරක් නො වේ. පුවත්පතක චිත්‍රපටයකට සංගීතය සපයන්නට වාදන ශිල්පීන් ඉල්ලා පළ කොට තිබුණු දැන්වීමකට ඉල්ලුම්පත් දැමූවේ ද ඒ නිසාම ය. සම්මුඛ පරීක්ෂණය තිබුණේ 1965 මැයි මස 21 වනදා ය.

එදා ම ප්‍රේමනාත්ගේ පියාගේ වැඩිමහලු සොහොයුරාගේ මරණයේ අවසන් කටයුතු යෙදී තිබිණි. සම්මුඛ පරීක්ෂණයට යා නො හැකි විය. ඉතින් හීනයට ද නැවතීමේ ලකුණු තියන්නට සිදුවිය. එහෙත් හදිසියේ ම බලාපොරොත්තු නො වුණු විදුලි පුවතක් කෑගල්ලේ නාගොල්ලේ නිවසට ලැබිණි. ‘වහාම එන්න‘ විදුලි පුවත එවා තිබුණේ විමලනාත් දිසානායක ය. විමලනාත් දිසානායක ද කෑගල්ලේ උපන් අයෙකි. ඔහු පාසල් ගොස් තිබුණේ ද ප්‍රේමනාත් පාසල් ගිය කෑගලු විද්‍යාලයට ම ය. ඔහු ප්‍රේමනාත්ගේ වැඩිමහලු සොහොයුරියන් හැඳින සිටියේ ය. ඉතින් කොඩිතුවක්කු නම හැඳිනගත් විමලනාත් නැවත විදුලි පුවතක් එවා ඇත. සිහිනය සැබෑ වූයේ ඒ ආකාරයට ය.

විමලනාත් දිසානායක අධ්‍යක්ෂණය කරමින් සිටියේ ‘මාතෘභූමි‘ නම් චිත්‍රපටියකි. ප්‍රේමනාත් සහභාගී වූයේ ගීත සඳහා වාදනයෙන් සහාය වන්නට ය. සංගීත අධ්‍යක්ෂවරයා වූයේ තිලක් කරුණාතිලක ය. සංගීතය මෙහෙයවූයේ සරත් දසනායක ය. ප්‍රවීණ වාදක මණ්ඩලයට අමතරව නවකයන් සේ ප්‍රේමනාත් සමඟ ටී. එම්. ජයරත්න, රංජිත් බෝගොඩ. දයා බ්‍රහ්මනායක යන තිදෙනා ද සහභාගි වූහ. අවුරුදු පනහකට පමණ පෙර 1965 මාර්තු 25 වනදා මුල් ම ගීතය පටිගත කෙරිණි. ඒ ජේ. ඒ. මිල්ටන් පෙරේරා හා ජී. එස්. බී. රාණි ගැයූ ‘තුරු මත ළපලු කැකුළු පිපෙයි‘ ගීයයි. සෙසු ගී හතර ගයන්නට සරත් සන්දනායක, දයා හේමන්තා අබේසේකර, මොරිස් දහනායක හා වර්ධරාජා යන ගායක ගායිකාවන් එක් වී සිටියහ.

“මේ පටිගත කිරීමට මට රුපියල් හැත්තෑපහක් ලැබුණා. මට හරියට රජකම ලැබුණා වගෙයි.“ ප්‍රේමනාත් කොඩිතුවක්කු කියන්නේ අවුරුදු පනහකට එපිට අතීතය සිහිපත් කරමිනි.

මාතෘභූමි පටිගත කිරීම්වලින් පසුව රජයේ චිත්‍රපට අංශයේ රන්වන් කරල් අර්ධ වෘත්තාන්ත චිත්‍රපටියේ සංගීතය පටිගත කිරීම්වලට සහභාගී වීමේ අවස්ථාව ද ප්‍රේමනාත්ට ලැබිණි. රන්වන් කරල් චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ අමරදේවයන් ය. රන්වන් කරල් චිත්‍රපටයට අමරදේවයන් ගැයූ ‘ආලෙ බැන්ද මාගේ පනේ සෝමාවතී‘ ගීතය කොඩිතුවක්කු ඇතුළු පිරිස වාදනය කළේ ප්‍රසංගයකට වාදනය කරන්නා සේ ප්‍රාසාංගික ගති ලක්ෂණ එක් කරමිනි. මේ දුටු අධ්‍යක්ෂ සිරි ගුණසිංහ ගීතය රූප ගත කරද්දී ද පසුබිම් වාදකයන් සේ මේ පිරිස ම යොදා ගත්තේ ය.

ප්‍රේමනාත් කොඩිතුවක්කු තබ්ලා වාදනය උගත්තේ සිය පියාගෙනි. පියා ඩී. සී. කොඩිතුවක්කු රජයේ සංගීත විද්‍යාලයේ මුල් ම තාල ශාස්ත්‍ර කථිකාචාර්යවරයා ය. පසු කාලීන බොහෝ තබ්ලා වාදකයෝ, සංගීතඥයෝ, ගායකයෝ කොඩිතුවක්කු මාස්ටර්ගේ ගෝලයෝ වූහ. ඩී. සී. කොඩිතුවක්කු මරණයට පත්වන්නේ ද 1968 දී ගුවන් විදුලියේ පස්වන මැදිරියේ තබ්ලා වාදනයක යෙදෙන අතරතුර ය. ඔහුගේ ශෝකජනක මරණය සටහන් වූ හඬ පටය තවමත් ගුවන් විදුලිය සතුව ඇත.

“ මම පුංචි කාලෙ අවබෝධයක් නැතිව තබ්ලාව ගහනවා දැකපු තාත්තා මට මුලින් ම උගන්වන පදය නැතිව ටිකක් ඉහළ පදයක් කියා දුන්නා. මම ඉක්මනින් ම ඒ පදය වාදනය කළා. එයාට හරි සතුටුයි. ඉන් පසුව මම තාත්තාගෙන් තබ්ලා වාදනය ඉගෙන ගත්තා. නිතර ම පුහුණු වුණා."

ප්‍රේමනාත් කොඩිතුවක්කු මුලින් ම පාසල් ගියේ කෑගලු බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට ය. එහි එවකට විදුහල්පති ධුරය දැරුවේ පසුව මහජන මන්ත්‍රීවරයකු වූ පී. බී. බාලසූරිය මහතා ය. (ජගත් බාලසූරිය මහතාගේ පියා) 1956 දී ඔහු කෑගලු විද්‍යාලයට ඇතුළත් විය.

“කෑගලු විද්‍යාලයේ විදුහල්පති ධුරය දැරුවේ මහාචාර්ය ජිනදාස පෙරේරා. දයානන්ද ගුණවර්ධන, බොනී ජයසූරිය, පියසිරි ලියනගේ වගේ ගුරුවරු අපට ඉගැන්වූවා. දයානන්ද ගුණවර්ධන සර්ගෙ මුල් ම නාට්‍ය ‘ස්වර්ණතිලකා'. මම ඒ නාට්‍යයට තබ්ලාව වාදනය කළා. අපේ ලොකු අයියා ස්වර්ණතිලකාවේ උද්දාල බමුණාට රඟපෑවා. සාලමන් ෆොන්සේකා, විමලසුරේන්ද්‍ර වගේ අපේ සමකාලීන පාසලේ ළමයින් වෙනත් චරිත කළා."

පටිගත කිරීමකට මුලින් ම වාදනය කළේ අවුරුදු පනහකට පෙර වුවත් ප්‍රේමනාත්ගේ තබ්ලා වාදනය ඊට වඩා වයස්ගත ය. ඔහු මුලින් ම තබ්ලා වාදනයක් ඉදිරිපත් කළේ හත් හැවිරිදිව සිටියදී 1952 දී බ්‍රසල්ස් කෝපි අනුග්‍රහයෙන් කළ ගුවන් විදුලි වැඩ සටහනකට ය. ප්‍රේමනාත්ගේ සහාය වාදකයා වූයේ ප්‍රවීණ ගායක තිලකසිරි ප්‍රනාන්දු ය. 1953 දී ජයග්‍රාහක පෙළපාලිය නම් ගුවන්විදුලි වැඩ සටහනකට තබ්ලා වාදනයක් ඉදිරිපත් කළ අපේ කථා නායකයා වැඩිහිටියන් හය දෙනකු පරදා ජය ගත්තේ ය. ඔහුට ෆාකර් 51 පෑනක් තෑගි ලැබිණි. එච්. එම්. ගුණසේකර මෙහෙයවූ ගුවන් විදුලි ළමා පිටියේ ද ප්‍රේමනාත්ගේ තබ්ලාවට ඉඩ කඩ තිබිණි. කොළඹ ක්‍රමය ප්‍රදර්ශනයට ළමා ප්‍රේමනාත් ඉදිරිපත් කළ තබ්ලා වාදනයක් දුටු අගමැති සර් ජෝන් කොතලාවල ඔහුට ඉන්දියාවේ සංගීතය හදාරන්නට ශිෂ්‍යත්වයක් ලබා දුන්නේ ය. 1956 දී සර් ජෝන්ගේ රජය පැරදිණි. ඊළඟ ආණ්ඩුවෙන් ශිෂ්‍යත්වය අවලංගු කෙරිණි. දේශපාලනය එදා ද අද තරම් ම නො වුණත් ජන ජීවිතයට අහිතකර අන්දමින් බලපෑ බවට කදිම සාක්ෂියකි ඒ.

පියාගේ හදිසි මරණයෙන් පසු වාදනය ප්‍රගුණ කරන්නට ඉන්දියාවට යා යුතු වුව ද මුදල්හදල් නොතිබිණි.

“ මගේ යාළුවො මට ඉන්දියා යන්න රුපියල් පනහ බැගින් මුදල් දුන්නා. මගේ හොඳම මිතුරෙකු වූ සේන සමරසිංහ මට රුපියල් පන්සියයක් දුන්නා. ඉන්දියාවේ ගිහින් ඉගෙනගන්න මට වියදම ගියේ රුපියල් අටසිය අසූවක් පමණයි."

ප්‍රේමනාත් කොඩිතුවක්කු ගුවන් විදුලි වාදක මණ්ඩලයට එක් වූයේ 1971 දී ය. අවුරුදු දහයක් පමණ වන විට බාහිර පටිගත කිරීම් අධික වූයෙන් ඔහුට ගුවන් විදුලි වාදක මණ්ඩලයෙන් ඉවත් වන්නට සිදු විය. සදහටම ඔබ මගේ චිත්‍රපටයේ සිට සංගීතඥ සරත් දසනායකගේ සෑම පටිගත කිරීමකට ම ප්‍රේමනාත් සහභාගී විය. එදා මෙදා තුර තිලක් කරුණාතිලකගෙන් පටන් ගෙන සරත් දසනායක, අමරදේව, සෝමදාස ඇල්විටිගල, මුත්තුසාමි, රොක්සාමි, පැට්‍රික් දෙනිපිටිය, පී. එල්. ඒ. සෝමපාල, ටී. එෆ්. ලතීෆ්, ස්ටැන්ලි පීරිස්, ඔස්ටින් මුණසිංහ, රෝහණ වීරසිංහ, එච්. එම්. ජයවර්ධන, මහින්ද බණ්ඩාර, ක්ලැරන්ස් විජේවර්ධන, ෂෙල්ටන් ප්‍රේමරත්න හා තවත් බොහෝ සංගීතඥයන් යටතේ ඔහු තබ්ලාව වාදනය කළේ ය.

“මම 1982 වන විට පටිගත කිරීම් 10 000 කට පමණ සහභාගී වී තිබුණා. ඉන් පසු කළ පටිගත කිරීම් ගණනය කළේ නැහැ.“ ප්‍රේමනාත් කියයි.

1984 දී ජෝතිපාල හා ලතා සමඟ එංගලන්තයේ සංචාරය කළ ප්‍රේමනාත් කොඩිතුවක්කු 1986 දී මොහිදින් බෙග් සමඟ එංගලන්තයේ හා ප්‍රංශයේ සංචාරය කළේ ය. මෙම සංචාරයේ දී මොහිදින් බෙග් සමඟ B. B. C. රූපවාහිනියේ විනාඩි 7 ක වැඩ සටහනකට සහභාගී වීමේ අවස්ථාව ද ඔහුට ලැබිණි.

1976 දී නිනට් සමඟ විවාහ වූ ප්‍රේමනාත් සිය බිරිඳ, දියණිය චතුර්නිකා ඉමාලි, පුතු ගයාන් නදීක සමඟ ජීවිතයේ සැදෑ සමය ගෙවන්නේ ද විවේක සුවයෙන් ම නො‍ වේ. ඔහු අදටත් තෝරාගත් ප්‍රසංග සහ වැඩ සටහන්වල සංගීතය මෙහෙයවයි. වාදනයෙන් සහාය වෙයි.

ජීවිතයේ හැත්තෑවන සැතපුම් කණුව පසුකර සිටින ප්‍රේමනාත් කොඩිතුවක්කු ඉන් වසර පනහක් ම ශබ්දාගාරවල හා ප්‍රසංග සමඟ කල් ගෙවී ය. එහෙත් තබ්ලාව හා බොන්ගෝ, කොන්ගෝ වැනි තාල භාණ්ඩ හා ගෙවූ ජීවිතය ඊට වඩා දිගු ය. මේ අසිරිමත් වාදකයාට සංගීතඥයාට අපි දීඝායු පතමු.