2012-05-04

 

විමුක්ති සිත ප්‍රත්‍යවේක්‍ෂා කරමු.

විමුක්ති සිත ප්‍රත්‍යවේක්‍ෂා කරමු.

භාවනා කරන්න පුරුදුවෙන කෙනෙක් විසින් ඒ භාවනාව සාර්ථක කර ගැනීම පිණිස ආරම්භයේදී පටන් අවසානය දක්වා ම කළ යුතු, අතිශයින්ම වැදගත් අනිවාර්යෙන්ම පුරුදු විය යුතු මූලික අංගයක් පිළිබඳව කියා දෙන්ට කල්පනා කළා. දැන් මේ විස්තර කරන කාරණාව යමෙක් පුරුදු කළේ නැත්නම්, එයා කොයි තරම් භාවනා කළා කිව්වත්, භාවනා කරන්න උත්සාහ කළත්, ධර්මය පුරුදු කරන්න උත්සාහ කළත්, එයාට ඒ ධර්මයෙන් සාර්ථක ප්‍රතිඵලයක් නෙලා ගන්ට බැරිව යනවා. ඒ තමයි "ප්‍රත්‍යවේක්ෂා කිරීම.""

කුසල් දහම්වල ප්‍රත්‍යවේක්ෂා කිරීම මහත් වූ ප්‍රතිඵල සහිත දෙයක්. අපි තුළ දියුණුවන කුසල් දහම් නුවණින් විමසල බලන්න පුළුවන් නම් අන්න ඒ හැකියාව තමයි අපිට බොහෝ සේ උපකාරී වන්නේ, කුසලය තුළ හිත පිහිටවා ගන්නත්, එහෙම නැත්නම් ඒ ධර්මයෙන් පිහිට පිළිසරණ ලබා ගැනීමටත් අපට උපකාර වන්නේ ඒ කරන ක්‍රියාව පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්කම තියෙනවා නම්. අන්න ඒ හැකියාව තමයි බහුල වශයෙන් උපකාර වන්නේ බොහෝ උපකාර වන්නේ ඒ හැකියාව ම යි.

ඒ නිසා අපි ඒ හැකියාව දියුණු කරගන්න ඕන. "ප්‍රත්‍යවේක්ෂා කිරීම" කියන දේ අපට කරන්න තේරෙන්නෙ නැත්නම්, කරගන්න බැරිනම්, දන්නෙ නැත්නම්, අපිට භාවනාවකින් ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. ධර්මය ඉගෙනගෙන ඒකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්නත් බෑ. පිනක් දහමක් කරල ඒකෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්නත් බෑ. සාමාන්‍ය එදිනෙදා කටයුක්තකින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නත් බෑ. එතරම් ම අපිට උපකාර වන දෙයක් තමයි ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන්නෙ.

අංගුත්තර නිකාය දෙවන පොත්වහන්සේගේ පංචක නිපාතයේ තියෙනවා පඨම සමයවිමුත්ත සූත්‍රය කියලා දේශනයක්. මේ දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අපිට කියා දෙනවා. 'පින්වත් මහණෙනි, බණ භාවනා කරමින් ධර්මයේ හැසිරෙන්නා වූ භික්ෂුවකගේ පිරිහීම පිණිස පවතින්නා වූ කාරණා පහක් තියෙනවා. ඒ තමයි 'කම්මාරාමතා, භස්සාරාමතා, නිද්දාරාමතා, සංඝනිකාරාමතා, යථා විමුත්තං චිත්තං න පච්චවෙක්ඛති".

එතකොට අපි මේ කාරණා පහ ගැන තෝරා බේරා ගන්න දක්ෂ වුනොත්, අපිට පුළුවන් කම තිබෙනවා මේ කාරණා පහ හේතුකොටගෙන ඒ ධර්මයේ හැසිරෙන්ට උත්සාහ කරන යම් කෙනෙක් තුළ පිරිහීමක් ඇතිවෙනවා නම්, ඒ පිරිහීම වළක්වා ගන්න.

කම්මාරාමතා කියන්නෙ වැඩ කටයුතුවලට ඇලී යාම යි, නමුත් වැඩකටයුතු කිරීම දෝෂයක් නොවෙයි. වැඩ කටයුතුවලට ඇලීම තමයි පිරිහීමට බලපාන කාරණය.

ඊළඟට භස්සාරාමතා. ඒ කියන්නෙ කතා කිරීම නොවෙයි, කතාවට ඇලීයාමයි.

ඊළඟට නිද්දාරාමතා. ඒ කියන්නේ නිදාගැනීම නෙවෙයි, නින්දට ඇලී යාමයි.

ඊළඟට සංඝනිකාරාමතා. ඒ කියන්නේ පිරිසත් සමඟ ඉඳීම නෙවෙයි, පිරිසත් සමඟ ඇලී ගැලී වාසය කිරීමයි.

මේව තමයි ගොඩක් අය වරද්දා ගන්න කාරණා. පිරිසත් සමඟ ඉඳල බෑ කියල කල්පනා කරනව. ඒක වැරදියි. පිරිස සමඟ ඉඳීම නොවෙයි දෝෂය වෙන්නෙ. පිරිසට ඇලිල වාසය කිරීමයි. අන්න ඒ දේ හඳූනාගෙන බැහැර කරන්න ඕන.

ඊළඟ කරුණ "යථා විමුත්තං චිත්තං න පච්චවෙක්ඛති" එකෙන් අදහස් වෙන්නෙ 'නියම ආකාරයෙන් නිදහස් වෙන සිත නුවණින් තෝර බේර ගන්න දන්නෙ නෑ" තමයි ඒකෙන් අදහස් වෙන්නෙ.

නියම ආකාරයෙන් නිදහස් වෙන සිත නුවණින් තෝරා බේරා ගන්න තේරෙන්නෙ නැතිකම පිරිහීමට හේතුවන කාරණයක් කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. අපේ සිතේ ඇතිවෙන පිරිසිදු බව නිදහස් බව, පහන් බව යම් විදිහකින් ධර්මයේ හැසිරීමත් එක්ක ඇතිවෙන දෙයක්. සිතේ ඇති වෙන "පහන් බව" අපිට තෝරා බේරා ගන්න බැරිවුනොත් එහෙම, අපිට ධර්මයෙන් දියුණුවක් කරා යන්න බැරිව යනවා.

ඒක තෝරා බේරා ගන්න බැරි වෙන්ට හේතුවන කාරණාව තමයි සිහි නුවණ නැතුව යාම. එහෙම සිහි නුවණ නැතුව යන්නෙ, එක්කො එයා පිරිස සමඟ ඇලී ගැලී වාසය කිරීමෙන් සිහිය පිට යනව. එහෙම නැත්නම් එයා නින්දට ඇලිල වාසය කරනවා. සිහිය උපදින්නෙ නෑ. එහෙම නැත්නම් එයා කතාවට ඇලිල ගිහිල්ල. කතා කර කර ඉඳල, ඒකට ඇලිල ගිහිල්ල සිහිය උපදවා ගන්න බෑ. එහෙම නැත්නම් එයා වැඩ කටයුතුවලට ඇලිල ගිහිල්ල. සිහිය උපදවා ගන්න බෑ. සිහිය උපදවා ගන්න බැරි නිසා මේ ධර්මයෙන් අපිට යම් පිහිටක් පිළිසරණක් තියෙනව නම්, අන්න ඒක එයාට තෝරා බේරා ගන්න බැරිව යනවා.

අන්න ඒක එයාට තෝර බේරගන්න බැරි වුනොත් එහෙම එයාට ධර්මයෙන් දියුණුවක් කරා යන්ට බැරිව යනව.

ඒ කාරණා පහ ගැන තෝරා බේරා ගන්ට දක්ෂ වුනොත් අපිට පුලුවන් කම තියෙනව මේ කාරණා පහ හේතුකරගෙන අපි තුළ යම් පිරිහීමක් තියෙනව නම් ඒ පිරිහීම වලක්වගන්ට අපිට අවස්ථාවක් තියෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!