2012-05-11

 

සිත දැකීමට දක්ෂ වෙමු

සිත දැකීමට දක්ෂ වෙමු

අපි පසුගිය සති කිහිපයේ කතා කළේ බණ භාවනා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න කැමති කෙනෙක් විසින් අරම්භයේ සිට ම පුරුදු කලයුතු ඉතාමත් ම වැදගත් කරණාවක් පිළිබඳව. ඒ තමයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්න පුරුදුවීම. යම් කෙනෙක් ප්‍රත්‍යවේක්‍ෂා කරන්න දන්නේ නැත්තම්, ඒ වගේම බණ භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත්කරගන්න ලැබෙන්නේ නෑ. එයාට භාවනාව දියුණු කරගන්න ලැබෙන්නේ නෑ. ඊළඟට ධර්මය වැඩි දියුණු කරගන්න එයාට අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ. ඒ ගැන තවදුරටත් අපට තේරුම් ගන්න පුළුවන් දේශනාවක් තමයි අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ.

ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ නැත්තම්, එයාට අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ තියෙනවා "සචිත්ත සූත්‍රය" කියල සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ විදියට, "පින්වත් මහණෙනි, ඔබට අනුන්ගේ සිත දැකිමේ හැකියාව නැත්තම්, ඔබ තමන්ගේ සිත දැකිමේ කුසලතාවය උපදවා ගන්න" කියල.

යම් කෙනෙකුට අනුන්ගේ හිත දැකීමේ කුසලතාවය තියෙනව නම්, එයාට තමන්ගේ සිත දැකීම අපහසු වෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, තමන්ගේ සිත දැකීමේ කුසලතාවය දියුණු කරගන්න කියල. ඒක මේ වගෙයි කියල උදාහරණයක් පෙන්වා දෙනවා, "තරුණ වයසේ ඉන්න පිරිමියෙක් එහෙම නැත්නම් කාන්තාවක් කණ්නාඩියකින් මුහුණ බලනවා. මුහුණ බලනකොට එයාට පේනවා මුහුණේ දුවිලි එහෙම නැත්තම්, කැළලක්. ඒ වෙලාවෙදී එයා කල්පනා කරනවා, මේ කැළල නැත්තම්, දුවිලි නැත්තම් ඒක මට බොහෝ ලාභයක්, එතකොට මගේ මුණ පරිපුර්ණයි" කියලා.

භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා, ඒ වගේ යම් කෙනෙක් තමන්ගේ සිත හොඳින් තේරුම් අරගෙන, මේ හිතේ යම් කිලුටක් තියෙනවා නම් ඒක නැතිකර ගැනීම පිණිස, කුසල් දහම් දියුණු කරගැනීම පිණිස, මේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම බොහෝ සෙයින් උපකාර වෙනවා කියලා. කණ්නාඩියකින් මුහුණ බලපුවහ ම එයාගේ මුණේ කැළලක් තිබුණොත්, නැත්තම් කිළිටි තිබුණොත්, ඒක එයා පස්සෙ පිරිසිදු කරගන්නම් කියන්නෙ නෑනෙ. එයා ඉක්මණින් ම ඒක පිරිසිඳූ කර ගන්න වැයම් කරනවා.

අන්න ඒ වගේ කුසල් දහම් දියුණු කරගන්න වුවමනාව ඇති කෙනාට, මේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීම බොහෝ උපකාර වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එයා තමන්ගෙ දියුණුව ඇතිකරගන්නව. ඒක කොහොමද කරන්නේ කියල මේ විදිහට අපිට කියා දෙනවා.

තම තමා, තම තමා ගැන කල්පනා කළ යුතුයි. දැන් තමන්ගේ සිත දකින්නට තමයි මේ මහන්සි වෙන්න කියන්නේ, අනුන්ගේ සිත දකින්න නෙවෙයි. තමන් ම තමා ගැන කල්පනා කරලා හොඳට සෝදිසියෙන් බලන්න කියලා කියනවා. "මගේ හිතේ දැඩි ආශාව තියෙනවාද?, එහෙම නැත්තම් දැඩි ආශාව නැද්ද?" කියල සෝදිසි කරල බලන්න කියල කියනවා.

ඒ වගේම "මගේ හිතේ දැඩි තරහ තියෙනවාද? දැඩි තරහ නැද්ද?, මම දැඩි තරහෙන්ද වාසය කරන්නේ? එහෙම නැත්තම් දැඩි තරහ නැතුවද මම වාසය කරන්නේ" කියල බලන්න කියනවා.

ඊලඟට "මම ථීනමිද්ධයෙන් යටවෙලාද වාසය කරන්නේ?, එහෙම නැත්තම් ථීනමිද්ධය නැතුවද වාසය කරන්නේ", කියල සෝදිසි කරල බලන්න කියනවා.

ඊලඟට "මේ හිතේ විසිරුණු ගතිය තියෙනවාද?, ඒ විසිරුණු ගතියට යටවෙලාද මං වාසය කරන්නේ?, එහෙම නැත්තම් මගේ හිතේ ඒ විසිරුණු ගතිය නැද්ද?" කියල සෝදිසි කරල බලන්න කියනවා.

ඊළඟට "මගේ හිතේ සැකය තියෙනවාද?, සැකය නැද්ද?, සැකය පහවෙලාද?" කියල සෝදිසි කරල බලන්න කියල කියනවා.

"මට කේන්ති යන ගතිය තියෙනවාද?, කේන්ති යන ගතිය නැද්ද?" ඒ විදියට බලන්න කියල කියනවා.

ඊළඟට "මගේ හිත කිලිටි වෙන ස්වභාවයෙන් යුක්තයිද?, එහෙම නැත්තම් මගේ හිත කිළිටි නැද්ද?, පිරිසිදුයිද" කියල සෝදිසි කරල බලන්න" කියල කියනවා.

ඊළඟට අපිට කියා දෙනවා හොඳට බලන්න කියල, "මගේ ශරීරය ගිලන් ස්වභාවයෙන්ද තියෙන්නේ, මගේ ශරීරයට මහන්සියිද" මෙතන ගිලන් කියල කියන්නේ ලෙඩ වෙලා කියන එක නෙවෙයි. දැන් ඔන්න සෙම්ප්‍රතිෂ්‍යාව හැදෙනවා, එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. බණ භාවනා කරගන්න බැරි විදියට කායික අපහසුකම් ඇතිවෙලා තියෙනවද? වෙහෙස, මහන්සිය, ඇඟ රිදෙන ගතිය, මේ වගේ බණ භාවනා කරන කෙනෙකුට ශරීරයේ අපහසුකම් එන්න පුළුවන්. අන්න ඒ වගේ, "ශරීරයේ ගිලන් ස්වාභාවයෙන් යුක්තව ද මං වාසය කරන්නේ, දැන් මම ශරිරයේ ගිලන් ස්වාභාවය දුරු කරගෙන වාසය කරනවාද?" කියල සෝදිසි කරල බලන්න කියල කියනවා.

ඊළඟට බලන්න කියනවා, මගේ හිතේ කම්මැලිකම බහුල වශයෙන් තියෙනවද?, කම්මැලිකම දුරු කරගෙන මං වාසය කරනවාද? මේ විදිහට සෝදිසිකරල බලන්න කියනවා. ඊළඟට කියා දෙනවා,

"මම සමාහිත සිතකින් වාසය කරනවාද, එහෙම නැත්තම් මම ආසමාහිත හිතින්ද වාසය කරන්නේ", මේ විදිහට තමා ගේ සිත ගැන තමාම සෝදිසි කරල බලන්න කියල භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා.

එතකොට බලන්න, මේ විදියට බලන කෙනාගේ හිතේ ඒ අකුසල ස්වාභාවයන් තියෙනවාද? නැද්ද? තියෙනවා. මේ හිතේ අකුසල ස්වාභාවයන් තියෙන කෙනා ඒවට යටවෙලා, බයවෙලා නේද ගොඩක් වෙලාවට වාසය කරන්නේ? අපි මේ විදියට සෝදිසි කරල බලනවා නම්, අකුසලය තිබුණා කියල එයා ධර්මය තුළද? ධර්මයෙන් බැහැරද? ධර්මය තුළ, එනිසා "මං ලඟ රාගය තියෙනවා, තරහ එන ගතිය තියෙනවා" කියලා අනවශ්‍ය බයක් ඇති කර ගන්න එපා. එයාට කරන්ට තියෙන්නෙ තමන් තුළ අකුසලය තියෙනවා කියල දැන ගැනීම.

ඒ අකුසලය තියෙනවා කියලා දැනගැනීම පිණිස මොකක්ද එයාට කරන්න තියෙන්නේ? එයා හොඳට නුවණින් කල්පනා කරල බලන්ට ඕන,

"මා තුළ මේ තරහ එන ගතිය තියෙනවද, නැද්ද? මම තරහ එන ගතියෙන් යුතුව බොහෝ සෙයින් වාසය කරනවාද? එහෙම නැත්නම්

"මං බොහෝ වාසය කරන්නේ තරහ යන ගතිය නැතුවද?, මම කාමච්ඡන්දයෙන් බොහෝ වාසය කරනවාද? කාමච්ඡන්දය නැතුව බොහෝ වාසය කරනවාද?" කියල තමා ගැන තමාම සෝදිසි කරල බලන්ට ඕන.

"මම බොහෝ සෙයින් ථිනමිද්ධයෙන් යුතුව වාසය කරනවාද?, එහෙම නැත්තම් මම බොහෝ ථිනමිද්ධය නැතුව වාසය කරනවාද?", කියල තමා ගැන තමා ම සොදිසි කරල බලන්න ඕන.

ඊළගට මම කම්මැලිකමින් යුක්තව බොහෝ වාසය කරනවාද? කම්මැලිකම නැතුව බොහෝ වාසය කරනවාද? කියල තමා ගැන තමා ම හොයල බලන්නට ඕන.

ඊළඟට මම මගේ ශාරීරික අපහසුකම් තුළ ද බොහෝ සෙයින් වාසය කරන්නේ?, ශාරීරික අපහසුකම් දුරු කරගෙන ද මං වාසය කරන්නේ?, කියල තමා ම තමා ගැන සෝදිසි කරල බලන්න ඕන.

එතකොට ප්‍රත්‍යවේක්ෂා කරන්නෙ නැත්නම් අදුරගන්ට බෑ තමා තුළ අකුසලයක් තියෙනවා කියල. එයා අකුසලයට යටවුනු සිතින් වාසය කරනවා. එතකොට අපිට අකුසලය දුරුකරගන්ට බැරි නිසාම කුසල් දහම් දියුණුකරගන්ට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව අකුසල් ස්වභාවයන් බොහෝ සෙයින් හිතේ තියෙනවා නම් එයා ඉක්මනින් ඒ ලාමක අකුසල් ස්වභාවයන් දුරුකරගැනීම පිණිස බලවත් කැමැත්තක් උපදව ගන්න කියල කියනව.

ඒ වගේම එයාට වීරිය කරන්ට කියල කියනව සිහිනුවණ උපද්දවගෙන වාසය කරන්ට කියල කියනව ඒ අකුසලයන් දුරුකරගැනීම පිණිස. අන්න එතකොට එයාට යම් කලකදී ඒව දුරුකරගන්ට පුළුවන්කමක් තියෙනව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව ඒ විදිහට එයාට අකුසලයන් දුරුවෙලා සුවපහසුවක් ඇතිවෙන කලක් එනව අන්න ඒ කුසල් දහම් තුළ පිහිටලා අනාගතයේදී අශ්‍රව ශ්‍රයකරගැනීම පිණිස මහන්සිවෙන්න කියල පෙන්වා දෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!