2012-05-18

 

සිතේ පිරිසිදු බව ඇතිකර ගනිමු

සිතේ පිරිසිදු බව ඇතිකර ගනිමු

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, අකුසල ස්වභාවයන් බහුල වශයෙන් හිතේ තිබෙනවා නම් එයා ඉක්මණින් ඒ ලාමක වු අකුසලයන් දුරු කිරීම පිණිස බලවත් කැමැත්තක් උපදවා ගන්ට කියල. ඒ වගේ ම එයාට ඒ අකුසලයන් දුරු කිරීම පිණිස වීරිය කරන්ට කියල කියනවා, සිහි නුවණ උපදවාගෙන වාසය කරන්ට කියල කියනවා. අන්න එතකොට එයාට යම් කලකදී ඒවා දුරු කරගන්ට පුළුවන්කමක් තියෙනවා.

ඉතින් යම් කලකදී එයා ප්‍රත්‍යවේක්‍ෂා කරල බලන කොට, එයාට තේරෙනවා නම් "දැන් මගේ හිතේ මේ දැඩි ආශාව නෑ, දුරුවෙලා ගිහිල්ලා. දැන් මගේ හිතේ මේ තරහ එන ගතිය දුරුවෙලා ගිහිල්ලා. දැන් මගේ හිතේ මේ අලසකම, ථීනමිද්ධය දුරුවෙලා ගිහිල්ලා" කියලා. දැන් මගේ මේ කයේ අපහසුකම් දුරුවෙලා ගිහිල්ලා, දැන් මගේ කයට සුව පහසුව තියෙනවා කියලා තේරෙන කලක් එනව. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා, මේ උපදවාගත්තු කුසල් දහම් තුළ පිහිටලා අනාගතයේදී ආශ්‍රව ක්‍ෂය කරගැනීම පිණිස මහන්සි වෙන්න කියලා.

අපේ මේ වෑයම ආශ්‍රව ක්‍ෂය වීමෙන් අවසන් වෙනවා. එහෙනම් අපිට ආශ්‍රව ක්‍ෂය කරගැනීම පිණිස, මේ ගමන ආරම්භ වෙන්නේ කොතනින්ද? ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන්. තමන්ගෙ හිත ගැන අපි ප්‍රත්‍යවේක්‍ෂා කරන්ට පුරුදු වෙන්ට ඕනැ, දක්‍ෂ වෙන්ට ඕනැ. තමන්ගේ හිතේ අකුසල ස්වභාවයන් තියෙනවාද, ඒ අකුසල ස්වාභාවයන්ට යට වූ සිතින් ද මා බහුල වශයෙන් වාසය කරන්නේ කියලා හොයල බලන්න ඕනැ.

එහෙම හොයල බලන කෙනාට, බලවත් කැමැත්තක් උපදවා ගන්න කියල කියනව මේ අකුසලයන් දුරු කර ගෙන වාසය කරන්ට. ඉතින් අන්න ඒ විදියට කැමති වෙන කෙනාට පුළුවන්කම ලැබෙනවා, ඒ අකුසලයන් දුරු කරගෙන යම් කලක වාසය කරන්න. එතකොට ඒ විදියට අකුසල් දුරු කරගත්ත කෙනාට භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරනවා, කුසල් මුල් කරගෙන අනාගතයේදී ආශ්‍රව ක්‍ෂය කරගැනීම පිණිස කටයුතු කරන්න, මහන්සි වෙන්න කියලා.

අපි කවුරුත් මේ දෙශනාවන් ඉගෙනගෙන මේ දේශනාවල තියෙන ආකාරයට අපිට අපේ සිත සකස් කරගන්ට කැමති වුණොත් අපිට මේ ධර්මයෙන් පිහිටක් ලබාගන්ට බැරිවෙයිද? පුළුවන් වෙයිද? දැන් බලන්න මෙතන ගුප්ත දෙයක් තියෙනවද? අද්භූත දෙයක් තියෙනවද? අද්භුත දෙයක් නෑ නේද?

මෙතන තියෙන්නේ තමන්ගෙ හිතේ තියෙන අකුසල ස්වභාවය තෝරබේර ගන්න එක. ඒක තෝරබේර ගන්ට තමන්ට බැරි නිසා තමයි කළ්‍යාණ මිත්‍රයා කියල දෙන්නෙ ඔතන තියෙන්නෙ අකුසලය, කුසලයක් නෙවෙයි, ඔහොම හිතන්ට එපා මෙහෙම හිතන්න. මේ දේශනාව කියවන්න කියල. මේ ආදී වශයෙන් උපකාර කිරීම් පිණිස සිහිය උපද්දවා දීම පිණිස තමයි කළ්‍යණ මිත්‍රයින් ඉන්නෙ.

ඒ නිසා කළ්‍යාණ මිත්‍ර ඇසුරේ වාසය කළොත් අපි කාටත් අවස්ථාවක් ඉපදෙනව, තමන්ගේ සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම පුරුදු කරගන්ට. අන්න ඒසේ යම් කෙනෙක් තමාගේ සිත ගැන නුවණින් කල්පනා කරන්ට පුරුදු වුණොත් ඉගෙන ගත්තොත් ඒක භාවිත කළොත්, අන්න එයාට භාග්‍යය උදාවෙනව තමාගේ හිතේ තියෙන මේ ළාමක අකුසලයන් අඳූනගන්ට. ඒ ළාමක අකුසලයන් අඳූනගන්ට පුළුවන් කම ම තමයි සම්මා දිට්ඨිය කියන්නෙ.

අපි යම් දවසක මේ ළාමක අකුසලයන් අඳූනගන්ට කල්පනා කළොත් එයා කල්පනා කරන්නේ සම්මා දිට්ඨිය ඇතිකර ගන්ටයි. ඉතින් යම් දවසක් එයා මේ ළාමක අකුසලයන් හඳූනා ගත්තොත් එයා තේරුම් ගන්නේ එයා වටහා ගන්නේ සම්මා දිට්ඨියයි. යම් දවසක එයා මේ ළාමක අකුසලයන් තෝර බේර ගත්තොත් වටහා ගත්තොත්, අන්න එතකොට එයා සම්මා දිට්ඨියෙන් යුක්තයි. යම් දවසක මේ දේශනාවන් කෙරෙහි පැහැදුණොත් මේ තමයි සිත පිරිසිදු කරන ක්‍රමය කියල, එයා ශ්‍රද්ධාවට එනව.

පරිපූර්ණ වශයෙන් ම හිත පිරිසිදු කරගෙන පිරිසිදු භාවයට පත්වීමට වුවමනා කරන ධර්මයක් මෙතන තියෙනවාද නැද්ද? තියෙනව නේද? ඉතින් අපිට විශ්වාසයක් ඇති වුණොත් මෙතන ඒකාන්ත වශයෙන්ම සිත පිරිසිදු කරගන්න විදිහ කියා දීල තියෙනව, පරිපූර්ණ වූ ධර්මයක් මෙතන තියෙනව, ඒකානත් සැපයක් ඇතිකර ගන්ට පුළුවන් ධර්මයක් මෙතන තියෙනවා කියල යම් කෙනෙක් වටහා ගත්තොත්, පිළිගත්තොත්, අදහා ගත්තොත් එයා ශ්‍රද්ධාවට එනවද නැද්ද? ශ්‍රද්ධාවට එනව.

ශ්‍රද්ධාවට ආපු කෙනා මේක අනුගමනය කරයිද නැද්ද? අනුගමනය කරනව. මෙසේ ශ්‍රද්ධාවට ආපු කෙනා මේ ධර්මයට පහදිනව නේද? මේ ධර්මයට පහදිනව. එහෙනම් මේ ධර්මය කියා දුන්න භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරල සිත පිරිසිදු කරගත්තා කියන වැටහීම එයාට එනවද නැද්ද? එනව. එයා තේරුම් ගන්නවා භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අරහං වන සේක කියල මේ ධර්මය ඒකාන්තයෙන් ස්වාක්ඛාතයි කියල එයා පිළිගන්නව. ඊලඟට බලන්න මේ ධර්මය යම් කෙනෙක් පුරුදු කළොත් ඒ පුරුදු කරන කෙනා රාග දේවේශ මෝහ දුරුකරන ප්‍රතිපදාවෙද නැද්ද? ප්‍රතිපදාවෙ. එහෙනම් ඒකාන්ත වශයෙන් එයා පිළිගන්නවා මේ ධර්මය පුරුදු කරන්නා වූ අය සුපටිපන්නයි කියල.

බලන්න මේ ධර්මය කෙරෙහි යම් කෙනෙක් හිත පහදවා ගත්තොත් එයා තෙරුවන් ගුණ කෙරෙහි හිත පැහැදිලාද නැද්ද?

අන්න ඒකයි මම කිව්වෙ මේ දේශනාව විශ්වාස කරන කෙනා ශ්‍රද්ධාවට එනව කියල. එහෙනම් අපි වෑයම් කළ යුත්තේ මේ දේශනාවන් කෙරෙහි හිත පහදව ගන්ට නේද? මේ දේශනාවන් කෙරෙහි හිත පහදවා ගත්තොත් එයා තෙරුවන් කෙරෙහි පහදිනව නේද? තෙරුවන් කෙරෙහි පහදිනව. එයා කැමති වෙනව මේ ධර්මයන් පුරුදු කරන්න. අන්න එයා කළ්‍යාණ මිත්‍රයින් අතහැර ගන්නෙ නෑ. කළ්‍යාණ මිත්‍රයින් ඇසුරේ වාසය කරන්ට එයාගෙ හිත නැමෙනව. ඒක ධර්මතාවයක්. ඒ නිසා හොදට මේ දේශනාවන් ඉගෙන ගෙන මේ දේශානවන් කෙරෙහි හිත පහදව ගන්න, ඒකාන්ත වශයෙන් මෙතන සිත පිරිසිදු කරන ධර්මයක් තියෙනවා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!