2012-06-15

 

බලවතුන් බවට පත්වෙමු

බලවතුන් බවට පත්වෙමු

භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව ඇසිල්ලක් අනිත්‍ය්‍ය වැඩුවොත් මහත්පළයි කියල. ඒ දේශනා පිළිගන්න කෙනා "කෝ මට වැඩෙන්නෙ නෑ නේ" කියල හොයන්නෙ නෑ. එයාට හොයන්න දෙයක් නෑ. ඇයි එයා පිළිගන්නේ, " භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා" මම ඒක කරනවා, කරල හිතනවා "භාග්‍යවතුන් වහන්සේ මේ විදියට කියා දුන්නා, මම ඒ විදිහට කළා". ප්‍රතිඵලය තියෙයි.

දැන් බලන්න අපි මෙතන ඉදල අතෙන්ට යනකොට ඇසිපිය කී සැරයක් ගහනවද? අපිට ඇස අනිත්‍යයි කියල කී සැරයක් හිතන්ට පැළුවන්ද? එතකොට මේ දේශනාව මතක් වුනොත් අපිට භාග්‍යවතුන් වහන්සේ මෙහෙමයි කියල දීල තියෙන්නේ කියල, එයා ශ්‍රද්ධාවට ඇවිල්ල. දැන් ඒ ශ්‍රද්ධාවට ආපු කෙනා මොකද කරන්නෙ? භාග්‍යවතුන් වහන්සෙ යමක්ද කියන්නෙ ඒක කරනව.

දැන් එයා සිහිකරනව මෙතන ඉදන් අතෙන්ට යනකල් ඇස අනිත්‍යයි කණ අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, ශරීරය අනිත්‍යයි, සිත අනිත්‍යයි කියල. ඒ විදිහට අපිට කී සැරයක් හිත හිතා යන්ට පුළුවන්ද? දැන් මෙතන ඉදන් අතෙන්ට යනකල් අනිත්‍යය සිහි කර කර යන කෙනා එතෙන්ට ගියාම එයාට කල්පනා කරන්ට පුළුවන් වුනොත් මේ ආපු වෙලාව භාග්‍යවතුන් වහන්සේ වදාල දේ නේද කළේ කියල එයාට සතුට උපදීද නැද්ද? උපදිනව. ඒක ධර්මතාවයක්. ශ්‍රද්ධාවට ආපු කෙනාට ප්‍රමුදිත භාවය උපදිනවා කියන එක ධර්මතාවයක්.

ඒක කාටවත් ප්‍රාර්ථනා කරන්ට දෙයක් නෑ. ශ්‍රද්ධාව ඉපදුනා නම් ප්‍රමුදිත භාවය උපදිනවා කියන එක ධර්මතාවයක්. ඒ නිසා අපි දියුණු කරගත යුතු බලවත්ම දෙයක් තමයි ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව දියුණුකරගැනීම සදහා උපකාර වන්නේ මේ ධර්මය.

වෙන දෙයක් නෙවෙයි. අපේ ජීවිතයේ ඇසිලි කීයක් ගියාද? ඒ ඇසිල්ල ගානෙ අපි අනිත්‍යය සිහිකලා නම් අපි ලොකු දෙයක් කරගෙන නේද? නමුත් අපි පුංචිවට කරන්ට කැමති නැති නිසයි මේක වෙලා තියෙන්නෙ. පුංචි දෙයක් කරන්ට අපේ හිත නැවෙන්නෙ නෑ.

අනේ පොඩියි කියල හිතනව. අපි කැමතියි පැයක් ඉදගෙන ඉන්න. ඒ නිසා අපි ඒ භාග්‍යවතුන් වහන්සේ කියා දී තිබෙන ධර්මය සරළ විදිහට කියා දී තිබෙන තැන් වලින් පුරුදුකර ගන්ට ඕනැ. එතකොට අපි දන්නෙම නැතිව බලවත් අය බවට කලකදී පත්වෙයි.

ඒ නිසා ඒ අනිත්‍යය ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන ධර්මය මෛති‍්‍රය ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන ධර්මය කෙරෙහි බලවත් විශ්වාසය ඇතිකර ගන්න එතකොට අපිට ඒ භාග්‍යවතුන් වහන්සේ වදාල විදිහට බලවත් අය බවට පත්වෙන්ට පුළුවන් කලක් එයි.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!