2012-07-27

 

ඉන්ද්‍රිය සංවරය පුරුදුකරමු

ඉන්ද්‍රිය සංවරය පුරුදුකරමු

නීවර්ණ වලින් පීඩා විඳිමින් නීවර්ණ පෝෂනය වන වැඩපිළිවෙලක් තුලම අපි හිටියොත් අපිට වෙන්නෙ දුකසේ වාසය කරනට සිදුවෙන එක. නමුත් නීවර්ණ බැහැරකර ගන්ට වැඩපිළිවෙලට අපි ආවොත් සැපසේ වාසය කරමින් අප්‍රමාදීව නිවන් මගේ හැසිරෙන්ට අපිට පුළුවන්කම තිබෙනව. එතකොට අපි ප්‍රමාදයට වැටුනොත් වැටෙන්නේ ම ඉන්ද්‍රිය අසංවර කරගෙන සිටීමෙන්.

කාමයන් නිසයි අපිට මේක වෙන්නෙ. ප්‍රිය මානාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේවාට අපේ ගිජුකම නිසා තමයි සිත කෙලෙසෙන වැටෙන්නෙ. එතකොට අපි කාමයන් ගැන තිබෙන තද කැමැත්ත බැහැර කරගන්ට අපිට පුළුවන් වුනොත්, අපිට ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්ට ඒක පහසුයි.

ඉන්ද්‍රිය සංවරකර ගැනීමෙන් අපිට ලැබෙන මේ මහා ලාභය, අතිශය සුවපහසු ජීවිතය ගැන අපි කැමති වුනොත් සතුටු වුනොත්, එබඳූ සුවපහසු ජීවිතයට අපි කැමති වුනොත් ඉන්ද්‍රිය සංවරයට අපි සිත කැමතියි. ඉන්ද්‍රිය සංවරයට කැමති නැත්නම් කෙනෙක් ඉන්ද්‍රිය සංවර කරන්නෙ නෑ. ඉන්ද්‍රිය සංවරය කියන ඒ උතුම් ධර්මය පුරුදුකරගන්ට අපි කැමති වෙන්ට ඕනැ. කැමති වෙන්නේ එයින් ලැබෙන මහා ප්‍රතිලාභය අපිට තේරෙනව නම්, ඒ ප්‍රතිලාභය විඳින්ට අපි කැමතිනම්.

ඒ නිසා ඉන්ද්‍රිය සංවර කරන කෙනාට ලැබෙන මහා ප්‍රථිලාභය අතිශය සුවපහසුව ගැන හිතන්න. ඉතාම සුවපහසු ජීවිතයක් උපදවගන්ට පුලුවන් ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත කෙනා තුළ.

ඉන්ද්‍රිය අසංවර වුනානම් අතිශය දුක්පීඩා සහිතයි. ඒ දුක් පීඩා සහිත බව උපදින්නෙ කාමයන් ගැන අපේ සිතේ තිබෙන කැමැත්ත, ඇල්ම නිසා. ඉතින් කාමයන්ගේ තිබෙන කැමැත්ත ඇල්ම බැහැරකරගන්න අපි උත්සාහ කළොත් ඉන්ද්‍රිය සංවරය අපිට පහසු වෙනව. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ කියා දෙන විදිහට කාමයන්ගේ ආදීනව හොඳට තේරුම් අරගෙන සිහිකරන්න. ඒ කාමයන්ගෙන් බේරිලා ඉන්ද්‍රිය හොඳට සංවර කරගත්තොත් අපට ලබන්ට පුළුවන් මහා සැප ගැන කල්පනා කරන්න, තේරුම් ගන්න. ඒ සැපවත් ජීවිතයට කැමතිවෙලා ඒ සැපවත් ජීවිතය උපදවගන්ට අපි වෑයම් කළොත් අපිට ඉන්ද්‍රිය සංවරය ඇතිකරගන්ට පුළුවන්.

ඉතින් ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගත්ත කියල මේ අයට ගිහි ජීවිතයට භාධාවක් වෙන්නෙ නෑ. බය වෙන්න එපා. තමන්ගෙ ජීවිතය ගතකරමින්ම මේ ඉන්ද්‍රිය සංවර බව ඇතිකරන්න පුළුවන්.

මේකට කාලයක් ගතවෙයි. එකපාරට කරන්ට බැරිවෙයි. මේක උත්සාහ කරන්න. අපට වෙන ක්‍රමයක් නෑ දුකෙන් නිදහස්වෙන්ට. දුකෙන් නිදහස්වෙන්ට කැමති කෙනා මේක කළ යුතුමයි.

අපි හීන වූ ආසාවන්, හීන සැපක් ඇතිකරගන්ට ඉන්ද්‍රිය අසංවර කරගත්තොත් අපිට විඳින්ට තියෙන මහා දුක අපි තේරුම්ගන්ට ඕනැ. ඉතින් භාග්‍යවත-=න් වහන්සේ අපිට කියා දෙන්නෙ කාමයන් ගැන තියෙන කැමැත්ත අඩුකරගන්ට ඒවයේ ආදීනව ගැන හිතන්න කියල. භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව කාමයන් කියන්නෙ ගිනි අඟූරු වලක් වගේ කියල ඒ ගැන බය උපදව ගන්ට කියල.

භාග්‍යවතුන් වහන්සේ කියල දෙනව මනුෂ්‍යයෙකුගේ උසට වඩා උස වලක් තියෙනව. ඒ වල ගිනි අඟුරු වලින් පුරවල තියෙන්නෙ. යම් බලවත් මනුෂ්‍යයො දෙන්නෙක් ජීවත්වෙන්ට ආස සැපට ආස දුකට අකමැති මනුෂයෙක්ව අත් වලින් අල්ලගෙන බලෙන් ඒ ගිනි අඟුරු වල ලඟට අරගෙන එනව. එතකොට අර සැපට කැමති කෙනා ජීවත් වෙන්ට කැමති කෙනා විවිධ විදිහට උත්සාහ කරනව අර ගිනි අඟුරු වලෙන් බේරෙන්න.

මේ ගිනි අඟුරුවලට මම වැටුනොත් මම විනාස වෙනව. මට මහත් දුකකට පත්වෙන්ට වෙයි කියල දඟලනව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව ඒ වගේ කාමයන් ගැන බය උපදවගන්න කියල. කාමයන් කියන්නෙ ගිනි අඟුරු වලක් වගේ. විශාල දුක් පීඩා සහිත දෙයක් කියල කාමයන් ගැන බය ඇතිකරගන්ට කියනව.

ඊලඟට භාග්‍යවතුන් වහන්සේ කියා දෙනව හාත්පස කටු තියෙන කැලෑවකට යම් කෙනෙක් ගියොත් එහෙම එතකොට එයා හැරුනත් කටු ඇනෙනව. අන්න එයාට කරන්ට තියෙන්නෙ ඉතාම සිහි කල්පනාවෙන් ඉස්සරහට ගියත් සිහියෙන් පිටිපස්සට ගියත් සිහි නුවණ පවත්වගන්ට ඕනැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව මේ කාමයන් කියන්නෙ කටු වගේ එකක් කියල. හැරුනත් දුක පීඩාව. ඇහෙනුත් පීඩාව, කණෙනුත් පීඩාව, නාසෙනුත් පීඩාව, දිවෙනුත් පීඩාව, ශරීරය මේ හැම තැනින්ම මේ කාමයන් නිසා ඇතිවෙන පීඩාව තියෙනව.

ඒ විදිහට කාමයන් ගැන තේරුම් අරගෙන කාමයන්ගෙන් නිදහස්වෙන්ට අපි කල්පනා කරන්ට ඕනැ. එතකොට ඉන්ද්‍රිය සංවරයට අපි කැමතියි. ඒ විදිහට අපි ඉන්ද්‍රිය සංවරයට කැමති වුනොත් අපි ක්‍රම ක්‍රමයෙන් ඉන්ද්‍රිය සංවරය ඇතිකරගෙන අතිශය සුවපහසු ජීවිතයක් ඇතිකර ගන්නව. එයා නිවන් මගේ අප්‍රමාදීව යන කෙනා. ඉතින් අපි කාටත් සෙත් පතනව අතිශය සැපවත් ජීවිතයක් ඇතිකර ගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් අපිට කියා දෙන නිවන් මගේ අප්‍රමාදී බව ඇතිකරගන්ට සියලු දෙනාටම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!