2012-11-16

 

ජීවිතයට පිළිසරණ සලසා ගනිමු

ජීවිතයට පිළිසරණ සලසා ගනිමු

යම් කෙනෙක් කාමයන් ගැන හිත හිත ඉන්නව. එහෙම නැත්නම් තරහ සිතුවිලි හිතේ පවත්ව පවත්වා ඉන්නව. එහෙම නැත්නම් හිංසා සහගත සිතුවිලි හිතේ පවත්ව පවත්වා ඉන්නව. එතකොට ඒ විදිහට කාමයන් ගැන හිත හිත හිටියොත් එයාට ඒ කාමයන්ගේ යථා ස්වභාවය තේරුම්ගන්ට බෑ. එයා ඒකට ආස්වාදයෙන් අහුවෙලා. ආස්වාදය විතරයි එයාට තේරෙන්නෙ.

ආස්වාදයට කොටුවෙලා. ඒකෙ ආදීනවය තේරෙන්නෙ නෑ. ඒකෙන් නිදහස් වෙන්ට බෑ. එතකොට එයාට අවබෝධයෙක් ඇතිවෙන්නෙ නෑ. කළකිරෙන්නෙ නෑ. ඇල්ම දුරුවෙන්නෙ නෑ.

ඒ කාමයන් කෙරෙහි ඇල්ම දුරුවෙන්නෙ නැතිකෙනා තුළ හිතේ සංසිදීමක් ඇතිවෙන්නෙ නෑ. හිත කලබල වෙනව. ඇවිස්සුනු සිතකින් තමයි වාසය කරන්ට වෙන්නේ.

ඇවිස්සුන හිතකින් වාසය කරන කෙනාට ආර්ය සත්‍යය ගැන අවබෝධයක් උපදවගන්ට බෑ. එයාට විශේෂ ඥානයන් උපදවගන්ට බෑ. නිවන අවබෝධ කරගන්ට බෑ.

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා ඒ පාපී අකුසල විතර්ක එහෙම නැත්නම් ඒ පාපී අකුසල සිතුවිලි හිත හිතා ඉන්න එපා කියල.  භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා හිතනව නම් හිතන්න මේ තමයි දුක කියල දුක ගැන හිතන්ට කියනව. මේ තමයි දුකේ හටගැනීම කියල දුක්ඛ සමුදය ගැන හිතන්ට කියල කියල දෙනව. මේ තමයි දුකේ නැතිවීම කියල දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය ගැන හිතන්ට කියනව. මේ තමයි දුක් නැතිකරන මග කියල දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා ආර්ය සත්‍යය ගැන හිතන්ට කියල දෙනව.

එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ අපිට හිතන්ට එපා කියල යම් කරුණු ටිකක් කියල දෙනව. මෙන්න මේව හිතන්ට එපා. මෙන්න මේව හිතන්ට කියල අපිට නිරවුල්ව පැහැදිලිව ධර්මයන් කොට්ඨාස දෙකක් ගැන කියා දෙනව.

එතකොට යම් කෙනෙක් මෙන්න මේ ධර්මය ගැන පැහැදුනොත් විශ්වාස කළොත් මෙයයි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය, මේ අවබෝධය ඒකාන්තයෙන් නිරවුල් ඒකාන්තයෙන් සත්‍යය වූ දෙයක්. මනා කොට කියා දෙන දෙයක් කියල.

මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධ ගැන පැහැදුනොත් අන්න ඒ පැහැදීම ඇතිකර ගත්ත කෙනා තුළ බලවත් විශ්වාසයක් උපදිනව තමාගේ ජීවිතයට පිළිසරණ ඇතිකර ගැනීම පිණිස.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!