2013-01-18

 

අකුසල විතර්ක බැහැර කරමු

අකුසල විතර්ක බැහැර කරමු

භාග්‍යවතුන් වහන්සේ මේ දේ කරන්ට එපා කියල කියද්දීත් අපි ඒ දේ කරනව නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිගෙන නෑ. මේ දේ කරන්ට කියල කියද්දීත් අපිට ඒ දේ නොකරනවා නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව පිළිඅරගෙන නෑ.

අපි භාග්‍යවතුන් වහන්සේ එපා කිවූ දේ කරමින් කරන්ට කිවූ දේ නොකර අනේ මට මේ ධර්මය අවබෝධ කරගන්ට බෑ කිය කියා හිටියොත් අපි භාග්‍යවතුන් වහනසේට ප්‍රශංසා කරන්නෙ නෑ. අපි කොයි තරම් වන්දනා කළත් ඒ වන්දනාව සැබෑ වන්දනාවක් බවට පත්වෙන්නෙ නෑ.

සැබෑ වන්දනාව තමයි භාග්‍යවතුන් වහන්සේ කරන්ට එපා කිවූ දේ නොකර සිටීම. භාග්‍යවතුන් වහන්සේ කරන්ට කියා කිවූ දේ කිරීම. අන්න ඒ දේ කරන්ට අද ඉදන් පුරුදුවෙන්ට.

එතකොට ඔබ අද ඉඳන් භාග්‍යවතුන් වහන්සේට ආදර ගෞරවයෙන් වන්දනා කරන කෙනෙක් බවට පත්වෙනව. ඔබ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෛතී‍්‍ර සහගත ප්‍රතිපත්තියට පැමිණුන කෙනා බවට පත්වෙනව. ඔබට භාග්‍යවතුන් වහනසේගේ ලයේ උපන් දරුවන් බවට පත්වෙන්ට පුළුවන් වෙනව.

අපිට සැබෑම ගෞරවයක් භාග්‍යවතුන් වහන්සේ ගැන උපදවගන්ට පුළුවන් නම් අපි ඒ මොහොතේ පටන් භාග්‍යවතුන් වහන්සේ කරන්ට එපා කිවූ දේ දිවි හිමියෙන් නොකර ඉන්ට පෙළඹෙනව. භාග්‍යවතුන් වහන්සේ අපිට කරන්ට කිවූ දේ නිරතුරු කරන්ට අපි පෙළඹෙනව. අන්න එයා ඒ මොහොතේ පටන් නිවන් මගට පැමිණුන කෙනා බවට පත්වෙනව.

ඒ නිසා හොදට තේරුම් අරගෙන ඉස්ථිර අදහසකට පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ කරන්ට එපා කිවූ දේ නොකර ඉන්ට මේ මොහොතේ පටන් පුරුදුවෙන්න.

එතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට කරන්ට එපා කියල කිව්වෙ කුමක්ද? අපිට හිතන්ට එපා කියල කිව්වෙ කුමක්ද?

පාපී අකුසල විතර්ක හිත හිත ඉන්ට එපා කියල භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දුන්න.

භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනව, "පින්වත් මහණෙනි, කෙනෙකු අන්ධ කරන නුවණැස නැතිකරන ප්‍රඥාව නැති කරන යම් කෙනෙක් දුකට පත්කරන දුකටම ඇදල දාන නිවන් මගෙන් ඈතට ඇදල දාන කරුණු තුනක් තියෙනවා කියල. සිතුවිලි විතර්ක තුනක් තියෙනවා කියල.

එකක් තමයි කාම විතර්ක, අනිත් එක ව්‍යාපාද විතර්ක, අනික විහින්සා විතර්ක.

එතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නේ මේ විතර්ක ගැන කොයි විදිහටද? කෙනෙකු අන්ධ කරනව. අන්ධ කරනවා කියල කියන්නෙ? යමක ඇත්ත ඇතිසැටියෙන් දකින්ට තියෙන හැකියාව නැතිකරල දානව. අන්ධ කෙනා යමක් අඳුර ගන්නව. නමුත් එයාට අඳූරගන්ට බැරි මොකක්ද? ඒ දේ ඇත්ත ඇතිසැටියෙන් අඳූරන්ට බෑ. අඳූරගන්නෙ වැරදි විදිහටයි. ඒකටයි අන්ධ කියලකියන්නෙ. එතකොට මේ අකුසල විතර්ක වල ස්වභාවය තමයි මනුෂ්‍යා අන්ධ කරනව. එතකොට එයා යහපත කියල අයහපත තොරගන්නව.

කාමයන් ගැන හිත හිත ඉන්න කෙනා හොඳ කියල නරක කරන්නෙ. ඇයි එයාට ඇත්ත ඇතිසැටියෙන් පේන්නෙ නෑ. අන්ධයි කියන්නෙ අන්න ඒකයි.

ඊලඟට එයාගෙ නුවණැස නැති කරනව. නුවණින් හිතන්ට පුළුවන් ස්වභාවය නැති කරල දානව. දැන් මේ තමයි දුක කියල හිතන්ට පුළුවන් ස්වභාවයක් තියෙනව නම් ඒක නැති කරල දානව. නුවණ කියල කියන්නෙ දුක ගැන තේරුම්ගන්ට තියෙන හැකියාව. නුවණින් කල්පනා කරන්ට පුළුවන් හැකියාව. ඒක නැති කරනවා කාමයන් ගැන හිත හිතා ඉන්න කොට. අතිශය භයානක ස්වභාවයක් මේක.

ඊලගට මේ අකුසල විතර්ක හිත හිතා ඉඳීමෙන් ප්‍රඥාව නැති කරල දානව. ප්‍රඥාව කියල කියන්නෙ ආර්ය සත්‍යය පිළිබඳ තිබෙන අවබෝධය. දුක ගැන තියෙන වැටහීම. දුක්ඛ සමුදය ගැන තියෙන වැටහීම. දුක්ඛ නිරෝධය ගැන තියෙන වැටහීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන තියෙන වැටහීම.

ඉතින් යම් කෙනෙකුට ආර්ය සත්‍යය ගැන සුලු හෝ වැටහීමක් තියෙනවා නම් ඒ වැටහීම පවා නැතිකරල දානව මේ අකුසල විතර්ක හිත හිත ඉන්නව නම්. එයා අඥාන කෙනෙක් බවට පත්කරනව. ඊලගට එයා දුකටම ඇදල දානව.

ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙන්නේ ඒ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහින්සා විතර්ක හිත හිත ඉන්ට එපා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!