2013-09-20

 

ප්‍රඥාවන්තයෝ වෙමු..

සිත පිරිසිදු කරගනිමු..

බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය ඉගෙනගෙන ඒ ධර්මයෙන් ලබන්ට පුළුවන් ඒ උතුම් පිළිසරණ ලබන්නට අපි කොයි කවුරුත් උත්සාහ කළ යුතු යි. බුදු රජාණන් වහන්සේගේ ධර්මය මුළුමනින් ම සිත පිරිසිදු කර ගැනීම පිණිස පවතින ධර්මයක්. සිත පිරිසිදු කරගැනීමෙන් මෙලොව යහපත සලසාගන්ට පුළුවන්.

අපිරිසිදු සිතින් මෙලොව යහපත සලසා ගන්ට බෑ. සිත පිරිසිදු කරගැනීමෙන් පරලොව යහපත සලසා ගන්ට පුළුවන්. අපිරිසිදු සිතින් පරලොව යහපත සැලසෙන්නේත් නෑ. සිත පරිපූර්ණ වශයෙන් පිරිසිදු කරගැනීමෙන් සියලු දුකෙන් නිදහස් වී ලබන අමාමහ නිවන අවබෝධ කරගන්ට පුළුවන්. අපිරිසිදු සිතින් නිවන අවබෝධ කරගැනීමක් කිසි කලකත් සිදු වෙන්නෙ නෑ.

ඒ නිසා සද්ධර්මය ඇසෙන කලක, සද්ධර්මය ඉගෙනගන්ට පුළුවන් කලක, ඒ ධර්මයෙන් ලබන පිළිසරණ විදිහට සිත පිරිසිදු කරගන්ට අප උත්සාහ කළ යුතු යි. සිත පිරිසිදු කරගන්ට උත්සාහ කරන කෙනා තමාගේ සිත ගැන නිතර සෝදිසියෙන් සිටිය යුතු යි. තමාගේ සිත ගැන සෝදිසියෙන් නො සිට තමාගේ සිත ගැන හොයා බලන්නෙ නැතිව සිත පිරිසිදු කරගන්ට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ.

තමාගේ සිතගැන සොයා බලමින් සිතේ තිබෙන අපිරිසිදු බව බැහැර කරගෙන පිරිසිදු සිතක් උපදවා ගන්ට අපට උපකාර වන්නෙ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය යි.

භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය තුළ ඉතා ම සරල විදිහට අපට විස්තර කරමින් මේ සිත පිරිසිදු කරගන්න ආකාරය ගැන කියල දෙනව. ඉතින් ඒ ධර්මය ඉගෙනගෙන ඒ ධර්මයට අනුව අපි අපේ සිත ගැන හොඳින් විමස විමසා බැලුවොත් අපිට අපේ සිත පිරිසිදු කරගැනීමට හොඳට ම අවස්ථාවක් තියෙනව.

ඒ නිසා අපි අප්‍රමාදී ව, සිත පිරිසිදු කරගන්නා ආකාරය ගැන ධර්මයේ විස්තර කර තිබෙන කාරණා ඉතා ශ්‍රද්ධාවෙන් ඉගෙන ගෙන, ඒ ගැන ශ්‍රද්ධාව උපදවාගෙන තම තමාගේ සිත ගැන හොඳට සෝදිසියෙන් සිටියොත් අපට අපේ සිත පිරිසිදු දෙයක් බවට පත් කරගන්ට පුළුවන්. එතකොට මෙලොව සැපත, පරලොව සැපත, නිවන් සැපත අත්කරගැනීම ඒකාන්තයෙන් සිදු වන දෙයක්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!