2013-11-19

 

නිවැරදි වැටහීමකින් පින් රැස් කරගනිමු

නිවැරදි වැටහීමකින් පින් රැස් කරගනිමු

අපිට ලැබිච්ච මේ දුර්ලභ ජීවිතයේදී අපි ගොඩාක් දක්ෂ වෙන්ට ඕනෙ හැකිතාක් පින් කරගන්ට. එහෙම වුණොත් තමයි ඇත්තෙන් ම එයා ප්‍ර×වන්තයෙක් වෙන්නෙ. ඒ පින් රැස්කිරීම අර්ථය දැනගෙන වැටහීමෙන් කළොත් ඒකෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබාගන්ට පුළුවන් කමක් තියෙනව. බුදු රජාණන් වහන්සේගේ ධර්මය නොදන්නා කාලෙක, පින් කරන කෙනාට ඒ පිනෙන් උපරිම ප්‍රයෝජන ගන්ට බැරුව යනව. නමුත් මේ ලෝකයේ ධර්මය පවතින කාලෙක, ඒ ධර්මය දැනගෙන පින් කරන කෙනාට අවබෝධයෙන් ම පින් කරන්ට පුළුවන් වන නිසා ඒ පිනේ උපරිම ප්‍රයෝජනය ගන්ට පුළුවන් කම තියෙනව.

බලන්න, පුන්‍ය නිධානය ගැන වදාළ දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අපට කියා දෙනවා. " මේ පුන්‍ය නිධානය හැම දෙනාටම බෙදාගන්නට බෑ. හොරුන්ට පැහැර ගන්නට බෑ. තමා පස්සෙන් එන අන්න ඒ පුන්‍ය නිධානයයි නුවණැත්තා පින් වශයෙන් කළ යුත්තේ."" එතකොට අපි පිනක් කළොත් ඒක වෙන කෙනෙකුට ගන්ට බෑ. ඒක හොරුන්ට ගන්ට බෑ. ඒක තමාට ම සැප ලබාදීම පිණිස ම උපකාර වෙනව. ඒක නැති වෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා."දෙව් මිනිසුන්ට තමන් කැමති හැම සැප සම්පතක් ම උදාකරල දෙන්නේ මේ පුන්‍ය නිධානයෙන් තමයි. යමෙක් යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම්, ඒ සියල්ල මේ පුන්‍ය නිධානයෙන් ලබාගන්නට පුළුවනී."

එතකොට අපි යම් පිනක් කරල ප්‍රාර්ථනාවක් කරනවා නම්, ඒ පින මඟින් ඒ ප්‍රාර්ථනාව ඉටුකරගන්ට පුළුවන් වෙනවා.

"ලස්සන රූපයක් ලැබෙන්ටත්, මිහිරි ස්වරයක් ලැබෙන්ටත්, මනා අඟ පසඟින් යුත් සුන්දර සිරුරක් ලැබෙන්ටත්, ඉහල සමාජ තත්වයක් ඇතිව පිරිවර සම්පත් ලැබෙන්ටත් මේ පුන්‍ය නිධානය හේතු වෙනවා. ප්‍රාදේශීය රජකම් ලැබෙන්ටත්, සැප සම්පත් ලැබෙන්ටත්, ප්‍රිය මනාප වූ සක්විති සැප ලැබෙන්ටත්, දෙව් ලොව දිව්‍ය සම්පත් ලැබෙන්ටත්, මේ හැම දේකටම පුන්‍ය නිධානය හේතු වෙනවා." කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා.

පින ගැන අපේ හිතේ සැබෑ කැමැත්තක් ඉපදුනා නම්, අපට කම්මැලිකම නැතුව යනව. ඒකෙන් තමා අපි මැනගන්නෙ අපට හරි වැටහීමක් ආවද කියල. ඊට පස්සෙ අප තුළ ප්‍රබෝධයක් තියෙනව "අපට පින් කරන්ට අවස්ථාව ලැබුණා" කියල.

අන්න ඒ විදිහට තමන් ගැන තමන් ම මැනගන්ට ඕනෙ. අපි කම්මැලියි නම් අලසයි නම්, ප්‍රබෝධයෙන් වාසය කරන්නෙ නැත්නම්, අපි ධර්මය ගැන වැටහීමක් නැති අය බව තමයි තේරුම් ගත යුත්තේ. එහෙනම් අපි නැවත නැවතත් ධර්ම දේශනා කියවල ඉගෙන ගත්තොත්, ධර්මය ගැන යම් වැටහීමක් ඇතිකරගත්තොත් අපි තුළ තියෙන කම්මැලිකම අලසකම නැති වෙලා අපි ප්‍රබෝධයෙන් වාසය කරන අය බවට පත් වෙනවා. එතකොට අපට අප ගැන ම මැනගන්ට ඒක මිම්මක්. එහෙම නැත්තං අපිට අපේ ජිවිතයේ වටිනාකම තේරෙන්නෙ නෑ. ජීවිතයේ වටිනාකම නොතේරෙන නිසා තමයි අපි ඇල්මැරුණ වගේ වාසය කරන්නෙ.

කම්මැලිව අලසව අපි ජීවිතය ගත කරනවා නම්, එහෙම වෙන්නේ ම අපට අපේ ජීවිතයේ වටිනාකමක් නැති නිසයි. ජීවිතය ඇත්තෙන් ම වටින්නේ වටිනා දේ ජීවිතයට එකතු වුණොත් විතරයි. එතකොට වටිනා දේ කියල සාමාන්‍යයෙන් අපි කල්පනා කරන්නෙ අපි ඉගෙන ගන්නා දේවල් ගැනයි. නමුත් ධර්මය අපේ ජිවිතයට ලැබුණොත් අන්න ඒක තමයි ජීවිතයේ උපරිම වශයෙන් වටිනා දෙයක් බවට පත් කරන්ට උපකාර වෙන්නෙ. ඒ නිසා තමයි අපි මේ ධර්මය ඉගෙනගෙන එය අපේ ජීවිතයට හුරු කරගන්ට කල්පනා කරන්ට ඕනෙ.

අපට ඇත්තෙන් ම ධර්මය ගැන හොඳ වැටහීමක් ආව නම්, අපි තුළ ස්වයං කැමැත්තක් උපන් කැමැත්තක් තියෙනව හැකි හැම වෙලාවේ ම පින් කරගන්ට. තමා තුළ ස්වයං කැමැත්ත උපන් කැමැත්ත තියෙන කෙනා තුළ කම්මැලිකම අලසකම ඇතිවෙන්නෙ නෑ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!