2014-01-08

 

කුසල් වඩන මඟ

කුසල් වඩන මඟ

ශ්‍රද්ධාව, පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප්‍රඥාව කියන ධර්මයන් ඇති කරගන්න. ඒවා උපදවාගෙන වාසය කරන්න. උපදවාගෙන ඒවා හොඳට බලවත් කරගන්න. නිතර වඩන්න.

ශ්‍රද්ධාව ම නිතර වඩන්ට ඕන. පවට ලැජ්ජාව, පවට බය නිතර වඩන්ට ඕන. වීරිය, ප්‍රඥාව නිතර වඩන්ට ඕන. එතකොට යමෙක් තුළ මේ ධර්මයන් හොඳින් තියෙනවා නම්, ඒවා වඩනවා නම්, අකුසල් වල හටගැනීමක් වෙන්නෙ නෑ. යම් අකුසලයක් හටගත්තත් ඒවාට පැවැත්මක් නෑ. අකුසල් වල පැවැත්මක් නැත්නම් අකුසලයට විපාක දීමක් නෑ. අකුසලයට විපාක දීමක් නැත්නම් දුක් සහිත විපාකත් නෑ. දුක් සහිත විපාක නැත්නම් දුක් සහිත විපාක පිණිස කර්ම සකස්වීමක් නෑ. දුක් සහිත විපාක පිණිස කර්ම සකස් වීමක් නැත්නම් එතන භවය නෑ. භවය නැත්නම් එතන ඉපදීමක් නෑ. ඉපදීමක් නැත්නම් එතන ජරා, මරණ, සෝක, හැඬීම්, වැළපීම්, දුක් දොම්නස් නෑ.

ඒ නිසා ශ්‍රද්ධාව උපදවාගන්ට වෑයම් කරන්න. ශ්‍රද්ධාව උපදවා ගත්තොත් පවට ලැජ්ජාව, පවට බය, වීරිය.. ආදී කුසල් උපදවාගන්ට පුළුවන්. ඒ ධර්මයන් උපදවාගත්ත කෙනා තුළ පාපී අකුසලයන් බැහැර කරල කුසල් පරිපූර්ණ කරන්ට පුළුවන්. දුකෙන් නිදහස් වීම පිණිස අකුසල් ප්‍රහාණය කරගන්ට ඕන, කුසල් උපදවාගන්ට ඕන. අකුසල් ප්‍රහාණය කරගන්ටත් කුසල් උපදවාගන්ටත් ශ්‍රද්ධාව, ලැජ්ජා බය, වීරිය, ප්‍රඥාව උපදවාගෙන වඩන්ට ඕන.

කෙනෙක් ශ්‍රද්ධාව උපදවා නො ගන්නා තාක් පවට ලැජ්ජාව බය උපදවාගන්ට බෑ. ශ්‍රද්ධාව ලැජ්ජා බය උපදවාගෙන නො සිටිනතාක් වීරියක් උපදින්නෙ නෑ. අපි තුළ ශ්‍රද්ධාව, ලැජ්ජා බය, වීරිය, ප්‍රඥාව කියන ධර්මයන් නො වඩා සිටින තාක් අකුසල් ප්‍රහාණය කරගෙන කුසල් උපදවාගෙන කුසල් සම්පූර්ණ විමක් සිද්ධ වෙන්නෙ නෑ. ඒතාක් දුගතියෙන් නිදහස් වීමක් සිද්ධ වෙන්නෙ නෑ.

එතකොට මොකක්ද අපි කරන්ට තියෙන්නෙ? ශ්‍රද්ධාව උපදවා ගැනීම යි. ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස, අපේ ජීවිතය ගැන භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ධර්මය අපි හොඳින් දරාගෙන, ඒක සත්‍ය බවට අපි තේරුම් අරගෙන, ඒ ධර්මය අපේ ජීවිතයට ගලපමින් වාසය කරන්ට ඕන.

මේ ස්වභාවයන් ඔක්කොම අපි ඉගෙන ගත්තෙ භාග්‍යවතුන් වහන්සේගෙන්. ඉතින් අපි මේ ධර්මයන් තේරුම් ගත්තොත් එපමණකින් ම භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදීමක් ඇති කරගන්නවා. "අපේ ජීවිතයේ සැඟවිල තිබුණ දෙයක් අපි දැනගෙන හිටියෙ නෑ. ඒක අපට මේ ධර්මය තුළින් දැනගන්ට, ඉගෙනගන්ට ලැබුණා" කියල අපි සතුටු වෙනවා.

ඒ විදිහට මේ ධර්මය ඉගෙනගෙන ජීවිතය ගැන දැනගන්ට, තෙරුවන් කෙරෙහි පහදින්ට අවස්ථාව ලැබුණෙ කොහොමද? කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා යි. කල්‍යාණ මිත්‍ර ඇසුර නො ලැබුණා නම් අපට භාග්‍යවතුන් වහන්සේ ගැන දැනගන්ට ලැබෙන්නෙ නෑ. සද්ධර්මය ගැන දැනගන්ට ලැබෙන්නෙ නෑ. ආර්ය මහා සංඝරත්නය ගැන දැනගන්ට ලැබෙන්නෙ නෑ. සිල්පද ගැන දැනගන්ට ලැබෙන්නෙ නෑ. ආර්ය සත්‍යය ගැන දැනගන්ට ලැබෙන්නෙ නෑ. සතර අපාය ගැන දැනගන්ට ලැබෙන්නෙ නෑ. මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි කියල දැනගන්ට ලැබෙන්නෙ නෑ. මේ ඔක්කොම දැනගත්තෙ කුමක උපකාරයෙන් ද? කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා යි.

ඒ නිසා ඒ ආකාරයට කල්‍යාණ මිත්‍ර ඇසුරේ දුර්ලභ බව තේරුම් ගන්න. ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර මිනිස් ජීවිතයටත් වඩා දුර්ලභ එකක් නේද? අන්න ඒව සිහිපත් කරන්න. එතකොට අපි ප්‍රමාදී බව බැහැර කරල අප්‍රමාදී බවට පැමිණිල ප්‍රීති සිතින් වාසය කරන අය බවට පත් වෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!