2014-01-15

 

උපක්ලේෂ දුරු කරමු....

උපක්ලේෂ දුරු කරමු....

මුගලන් මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනව. "ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්ත, උපක්ලේෂ උපක්ලේෂ කියල කියනව. ඇත්තෙන් ම ප්‍රිය ආයුෂ්මතුනි මේ උපක්ලේෂ කියන නම යොදන්නේ මොනවගේ දේකට ද?" කියල.

සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිතුරු දෙනව "ප්‍රිය ආයුෂ්මතුනි, ඔය උපක්ලේෂ කියන නම යොදන්නේ ළාමක ආශාවන්ට අනුව සිත පවත්වන්ට යෑමෙන් හටගන්නා පාපී අකුසල් වලටයි." කියල. එතකොට උපක්ලේෂ කියන්නෙ මොනවට ද? ළාමක ආශාවන්ට අනුව සිත පවත්වන්ට යෑමෙන් හටගන්නා පාපී අකුසල් වලටයි.

දැන් බලන්න කෙනෙක් ඉන්නව, එයා අතින් යම් වරදක් සිද්ධ වෙනව. එයා කල්පනා කරනව "මගේ අතින් වැරැද්දක් සිද්ධ වුණා තමයි. හැබැයි අනිත් අය කව්රුත් මේක දැනගත්තෙ නැත්තං හොඳයි" කියල. එතකොට ළාමක ආශාව කියන්නෙ අන්න ඒකටයි.

නමුත් එහෙම හිටියට, අනිත් එය එයා අතින් සිද්ධ වෙච්ච වැරැද්ද ගැන දැනගන්නව. ඊට පස්සෙ එයාට කේන්ති යනව "මේ අය මගේ වරද දැනගත්ත නේද? කියල කේන්ති ගන්නව. අමනාප වෙනව. අන්න ඒ කේන්තියත් අමනාපයත් තමයි උපක්ලේෂය වෙන්නෙ.

දැන් මේ වගේ දේවල් අපට සිද්ධ වෙන්ට පුළුවන් ද බැරි ද? සිද්ධ වෙන්ට පුළුවන්. අන්න එතකොට "මේවයි උපක්ලේෂ" කියල දන්නැත්නම් මොකද වෙන්නෙ? මේව දුරු කරගන්ට බැරුව යනව. මේව උපක්ලේෂ කියල දැනගන්ට නම් අපට වඩා වැදගත් වෙන්නෙ මොකක් ද? අපට දහම් දැණුම ඕන. ඒ වගේ ම සිහි නුවණින් වාසය කරන්ට ඕන. එතකොට මේ වගේ උපක්ලේෂ හටගන්නකොට අපට තේරෙනව "මගේ ළඟ උපක්ලේෂ තියෙනවා" කියල.

එතකොට එයා ඒ උපක්ලේෂයට කැමති වෙන්නෙ නෑ. ඇයි ඒ උපක්ලේෂයට එයා කැමති වෙන්නෙ නැත්තෙ? එතකොට පිරිසක් අතරෙ එයාට තිබෙන ප්‍රියශීලී බව නැති වෙලා යනව. අමනාපයක් අහිතවත් බවක් ඇතිවෙන නිසා එයා උපක්ලේෂය පවත්වන්ට කැමති වෙන්නෙ නෑ. අන්න එයා කැමතියි උපක්ලේෂ දුරු කරගන්ට.

මේක උපක්ලේෂයක් කියල දන්න කෙනා තමන් තුළ උපක්ලේෂ තියෙනවා කියල දැනගන්නකොට, එයාට ඒ උපක්ලේෂය දුරු කරගන්ට ආසාවක් ඉපදෙනව. ඒ විදිහට උපක්ලේෂ දුරු කරගන්ට කැමති වෙන කෙනා ඒ සඳහා වෑයම් කරනව. වෑයම් කරනකොට වීරිය ඉපදෙනව. අන්න එතකොට උපක්ලේෂය දුරු කරගන්ට පුළුවන්කම ලැබෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!