2014-02-05

 

බැඳීම්වලින් හටගනියි දුක

බැඳීම්වලින් හටගනියි දුක

පුලුවන් තරම් පින් දහම් රැස් කරන්න බලන්න ඕනැ. පුලුවන් හැම වෙලාවෙදි ම යම් පුණ්‍යකර්මයක් කරන්න උත්සාහ කරන්න. පිනට නැමුණු සිතින් වාසය කරන්න. දන් පැන් දෙන්න. සිල් රකින්න. හොඳ වචන පාවිච්චි කරන්න. කයෙන් වචනයෙන් සිතින් හැම විට ම සුචරිතය පුරුදු කරන්ට උත්සාහ කරන්න. ඒ විදිහට කෙනෙක්ගෙ සිත යහපතට නැමෙන්නෙ තමන්ගෙ ජීවිතයේ තාවකාලික බව තේරුම් ගත්තොත්.

ඔබ අපි කවුරුත් තාවකාලිකව මේ මනුස්ස ලෝකයට ආපු අය. මෙලොවට ආවෙ කොහෙන් ද කියල අපි දන්නෙ නෑ. අපි ඔක්කොම මෙලොවට ආවට පස්සෙ මුණ ගැහුණ අයයි. ඊට පස්සෙ යම් දවසකදි අපිට මෙලොවින් යන්ට වෙනව. එතකොට අපි කොහේ යනව ද කියල දන්නෙ නෑ.

කවද හරි අපේ පවුල් වල සාමාජිකයෝ යාලු මිත්‍රයෝ හිත මිතුරන් අපිව දාල යනව. සමහර අයගෙ අම්මල තාත්තල සීයල ඒ අයව දාල ගියා. කොහේ ගියා ද දන්නෙ නෑ. දැන් සමහර අයගෙ පවුල් වලට අලුතින් කට්ටිය එකතු වෙනව. ඒ අය කොහෙ ඉඳල ඇවිත් ඉපදුණාද කියල දන්නෙ නෑ. ටික කලක් මේ ලෝකයේදි යාලුකම් ඇති වෙනව. හිත මිතුරු කම් ඇති වෙනව. ඒ විදිහට ජීවත් වෙනකොට අපි කිසි කෙනෙක් එක්ක අමනාප හිතක් ඇති නො කරගන්ට උත්සාහ කරන්ට ඕන.

අපි මනාපය අමනාපය යන දෙක ම අතහැරගන්ට උත්සාහ කරන්ට ඕන. සීමාව ඉක්මවා ඇතිවන මනාප කම්, කැමති වීම් නිසා දුක් උපද්දවනව. අපි උපදවා ගන්ට ඕන කරුණාව, මෛත්‍රීය, අනුකම්පාව, සෙනෙහස, දයාව, හිතවත් බව වැනි උතුම් දේ යි. ඒවට කුසල් කියල කියනව. ආසාව නෙවෙයි අපි උපදවා ගන්ට ඕනෙ.

දැන් ගොඩක් අය ඇසුරු කරන්නෙ ආසාවෙන්. දෙමව්පියන් ළමයි ගැන, ළමයි දෙමාපියන් ගැන, බිරිඳ ස්වාමියා ගැන, ස්වාමියා බිරිඳ ගැන ආසාවෙන් ඇසුරු කරන්නෙ. එතකොට ඒ ඒ අය බැඳිල යනව. ඒ බැඳීම් නිසා තමයි දුක් උපදවන්නෙ. ඇයි දුක් උපදවන්නෙ? ඒ බැඳීම අපට ඕන විදිහට පවත්වන්ට බරි නිසා. කවද හරි අපට ඒ අය දාල මෙලොවින් සමුගන්ට සිද්ධ වෙනව. අපි අතර බැඳීම අපට ඕන විදිහට පවත්වන්ට පුලුවන් නම් අපට කිසි ම අර්බුධයක් නෑ. කැමති කැමති විදිහට බැඳිල ඉන්ට පුලුවන්. නමුත් අපි කාටවත් අපි කැමති විදිහට වාසය කරන්ට පුලුවන් කමක් මේ ලෝකයේ නෑ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!