2014-02-18

 

ඉවසීම නම්වූ චිත්ත බලය

ඉවසීම නම් වූ චිත්ත බලය

තමාට යහපත පිණිස අනුන්ට යහපත පිණිස කළ යුතු දේවල් තේරුම් අරගෙන අපි යහපතේ හැසිරෙන්ට කල්පනා කරන්ට ඕනැ. ඒක තමයි නුවණ පාවිච්චි කරනවා කියල කියන්නෙ. තමාට යහපත අනුන්ට යහපත ඇති කරන්නා වූ දේවල් කරන්න.

ඉතින් ඒ සඳහා අපට ඉවසීම ආදී ගුණධර්ම ඕන. ලෝකයේ තමාට යහපත අනුන්ට යහපත ඇති කරන ක්‍රියා තියෙනව, තමාට අයහපත අනුන්ටත් අයහපත සලසන ක්‍රියාත් තියෙනව. ඉතින් ඒවා තේරුම් අරගෙන අයහපත සලසන දේ අතහරින්ටත් යහපත සලසන දේ පුරුදු කරන්ටත් අපි තුළ මානසික ශක්තියක් තියෙන්ට ඕන. මානසික වශයෙන් බෙලහීනයි නම් දුර්වලයි නම් අපට යහපත අයහපත තෝරාබේරගෙන අයහපත අතහරින්ටත් බෑ යහපතෙහි පිහිටල කටයුතු කරන්ටත් බෑ.

ඒ නිසා මානසික වශයෙන් ශක්තියක් ඇති කරගන්න. "ඉවසීම" කියල කියන්නෙ මානසික වශයෙන් ඇති කරගන්නා වූ ශක්තියක්, මානසික වශයෙන් උපදවා ගත්ත බලයක්. ඉවසීම නැත්නම් තමාට හිත පිණිස අනුන්ට හිත පිණිස පවතින ක්‍රියා අපට කරන්ට බැරි වෙනව. ඉවසීම නැත්නම් අහිත පිණිස පවතින දේවල් අතහරින්ටත් අපට බැරි වෙනව.

ඉවසීම කියන දේ මානසික වශයෙන් ඇතිවන බලයක්. හිතේ ඇති බලයක්. චිත්ත බලයක්. අපේ කයෙත් යම් බලයක් තියෙනව. නමුත් වැඩි බලයක් තියෙන්නේ සිතේ. භාග්‍යවතුන් වහන්සේ මොනවද අපට ඉවසන්ට කියල කියා දෙන්නෙ? "සීතල ඉවසිය යුතුයි" කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව. "උණුසුම ඉවසන්ට පුරුදු වෙන්ට ඕනැ" කියල අපට කියා දෙනව. ඒකෙන් අදහස් වෙනවද ගිනි අව්වෙ පිච්චෙන්ට කියල? නැහැ. එහෙම නැත්නම් අදහස් වෙනවද මොර සූරන වැස්සෙ තෙමි තෙමි ඉන්ට කියල? නෑ. එහෙම නැත්නම් "මහා සීතලේ පොරවගන්නෙ නැතුව මම සීතලේ ඉන්ට ඕනැ" කියල ද කියා දෙන්නෙ? නැහැ.

අවස්ථාවට අනුවයි අපි නුවණ පාවිච්චි කරන්ට ඕන. යම් සීතලක් තියෙනවා නම් අපි ඒකෙන් ආරක්ෂා වෙන්න බලන්න ඕනැ. යම් උණුසුමක් තියෙනවා නම් ඒකෙන් ආරක්ෂා වෙන්නත් අපි බලන්ට ඕනැ. නමුත් උෂ්ණයි කියල, සීතලයි කියල අපි සියලු කටයුතු අත් නොහැරිය යුතු යි. "අද නම් පායනව අපිට අද මොකුත් කරන්ට බෑ අපි නිදා ගන්නව", "අද සීතලයි අපි හොඳට නිදා ගන්නව" කියල තමාගේ කටයුතු අත් හරිනව. අන්න ඒක වැරදියි. නමුත් සීතල දැනෙනවා නම් යමක් පොරවගෙන හරි අපි පරිස්සම් වෙන්න බලන්ට ඕන.

ඊලඟට "බඩගින්න පිපාසය ඉවසන්ට ඕනැ" කියල කියා දෙනව. දැන් බඩගින්න ඉවසන්ට ඕනැ කියල "මම ආහාර වේලකින් භාගයක් ගන්නව, එක හැන්දක් ආහාරයට ගන්නව" අපි එහෙම කරන්නෙ නැහැ. ඒක නෙවෙයි නිවැරදි. අපිට බඩගින්න ඉවසන්ට සිදුවන වෙලාවක් තියෙනව නේද? අන්න ඒ වෙලාවට ඉවසන්ට ඕනැ. එහෙනම් ඉවසිය යුත්තේ ඉවසීමට අවස්ථා හදාගෙන නෙවෙයි. ඉවසන්ට සුදුසු වෙලාවක් ඉස්මතු වුණාමයි ඉවසීම තිබිය යුත්තේ. ඉවසීම වුණත් කෘතිමව උපදවා ගත්තොත් ඒක දොස් සහිතයි. සුදුසු වෙලාවෙදි යි අපි ඉවසන්ට පුරුදු වෙන්ට ඕනැ. ඒ නිසා ඉවසීම අපි පුරුදු කරන්ට ඕනැ කොයි වෙලාවෙ ද? ඉවසන්ට සිදුවෙන අවස්ථාවක් ලැබුණාම යි.

අපිට "මැසි මදුරු උවදුරු ඉවසන්ට" කියල කියා දෙනව. "කර්කෂ අමිහිරි වචන ඉවසන්ට පුරුදු වෙන්ට" කියල කියා දෙනව. අමාරු දෙයක් ඒක. නමුත් ඉවසිය යුතු අවස්ථාවේදී අපි ඒව ඉවසන්ට පුරුදු වෙන්ට ඕනැ.

දැන් මේ කියා දුන් කාරණා ඉවසුවේ නැත්නම් ඒ සියලු දේවල් වලින් අපිට මොනවද උපදවල දෙන්නේ? දුක් විඳීම් ඇති කරල දෙනව. එහෙනම් ඇයි අපට ඒව ඉවසන්ට කියල කියා දෙන්නෙ? යම් තැනක දුක් විඳීමක් තියෙනවා නම් අභ්‍යන්තරයේ පටිඝ අනුසය බැස ගන්නව (සිතේ ගැටීමක් හට ගන්නව). අපි ඒක තේරුම් නොගත්තොත් ඉවසිය යුතු දේ නොඉවසීම නිසා දුක් විඳීම් ඇතිවීමෙන් පටිඝ අනුසය සිතේ බැස ගන්නව. කලක් එහෙම යනකොට පටිඝය (ගැටුණු සිත) තමයි ඇති වෙන්නෙ.

ඉවසීම වගේ ම නො ඉවසීමත් අපි පුරුදු කරන්ට ඕනැ. ඉවසිය යුතු තැන ඉවසන්ට ඕනැ, නො ඉවසිය යුතු තැන නොඉවසා ඉන්ටත් පුරුදු වෙන්ට ඕනැ. හැම දෙයක් ම ඉවසන්ට අපට බැහැ. මොනවද භාග්‍යවතුන් වහන්සේ ඉවසන්ට එපා කියල කියා දෙන්නෙ? "උපන් රාගය ඉවසන්ට එපා" කියල කියා දෙනව. "උපන් තරහ ඉවසන්ට එපා" කියල කියා දෙනව. හොඳට බලන්න අපි ඉවසිය යුතු දේ ඉවසනවද? නො ඉවසිය යුතු දේ නො ඉවසා ඉන්නවද? කියල.

ඒ කාරණා දෙක ඒ ආකාරයෙන් ම කරනව නම් අපි කළ යුතු දේ කරන නො කළ යුතු දේ නොකරන අය වෙනව. ඒ වගේ ම ඉවසිය යුතු තැන ඉවසනව නම්, නො ඉවසිය යුතු තැන නොඉවසා ඉන්නව නම් එතන වීරිය තියෙනව නේද? වීරියක් හටගන්නව. ඒ වීරිය කොහෙද හටගන්නෙ? අපේ සිතේ හටගන්නෙ. ඒක චිත්ත බලයක්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!