2014-03-18

 

සුවපත් සිත් ඇති තෙරුවන් සරණ..

සුවපත් සිත් ඇති තෙරුවන් සරණ..

අපට බුදු රජාණන් වහන්සේගේ ධර්මය වුවමණා කරන්නේ දුක් පීඩා රහිත ජීවිතයක් උපදවා ගෙන, දුක් පීඩා වලින් නිදහස් වීම පිණිසයි. ඒ විදිහට දුක් පීඩා වලින් තොර වූ ජීවිතයක් උපදවා ගැනීම පිණිස බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැර දේකින් අපට උපකාර ලැබෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන ආකාරයටම අප ධර්මය පුරුදු කරගත්තොත් තමයි දුක් පීඩා රහිත ජීවිතයක් උපදවා ගන්ට අපට පුළුවන්කම තිබෙන්නෙ.

මේ ධර්මය පුරුදු කිරීමකින් තොරව, පුහුණු වීමකින් තොරව ධර්මයෙන් පිහිටක් පිළිසරණක් අපට ලබාගන්ට බැහැ. ඒ නිසා අපි ධර්මය හොඳින් පුරුදු කරගන්ට කල්පනා කරන්ට ඕනැ. අමාරු ම කාරණයත් ජීවිතයට ධර්මය පුරුදු කරගැනීම තමයි.

ධර්මය පුරුදු කර ගැනීම පිණිස ඒ ධර්මය හොඳට අහන්ට ඕනැ. ධර්මය ඇසීම ධර්මය පුරුදු කරගැනීමට වුවමනා දෙයක්.

භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනව නිසි කලට කරුණු හතරක් පුරුදු කරනවා නම් ඔහු නොබෝ කලකින් අරහත්වයට පත් වෙනවා කියල. මොනව ද ඒ කාරණා හතර?

  • සුදුසු කලට ධර්මශ්‍රවණය කිරීම,
  • සුදුසු කලට ධර්ම සාකච්ඡා පැවැත්වීම,
  • සුදුසු කලට සමථය පුරුදු කිරීම,
  • සුදුසු කලට විදර්ශනාව පුරුදු කිරීම.

යම් කෙනෙක් මේ කරුණු හතර නිසි කලට පුරුදු කරනවා නම් එයා නොබෝ කලකින් අරහත්වයට පත් වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට මේ කරුණු හතර පුරුදු කරගැනීම පහසු නො වන බව අප එයින් තේරුම් ගත යුතු යි.

අරහත්වයට පත් වෙනවා කියන්නෙ මේ ලෝකයේ අතිශය දුෂ්කර කටයුත්තක්. ඒ දුෂ්කර කටයුත්ත කරුණු හතරක් පුරුදු කිරීමෙන් උපදවා ගන්ට පුළුවන් නම්, ඒ කරුණු හතර අතිශයින් අමාරු කරුණු හතරක් විය යුතු යි. එහෙනම් අපි ඒ කාරණා හතර පුරුදු කරගැනීමට කල්පනා කළ යුතු යි, කැමති විය යුතු යි. ඒ කරුණු හතර ම අසීරු කරුණු බව අපි තේරුම් ගත යුතු යි.

අපි බණ අහන්ට පුරුදු වෙන්ට ඕනැ. පුරුදු නො වී අපට ධර්ම ශ්‍රවණය කියන අංගය සම්පූර්ණ කරගන්ට බෑ. නිවන් මඟ උපදවා ගන්ටත්, ඒ මඟ දියුණු කර ගැනීමටත්, පරිපූර්ණ කර ගැනීමටත් ධර්ම ශ්‍රවණය කියන අංගය වුවමනයි.

ඒ නිසා අපි හොඳින් ධර්මය අහන්ට ඕනැ. ඒ විදිහට ධර්මය ඇහුවොත් ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ලබා ගන්ට පුළුවන් කම තියෙනව. මොකක්ද මේ ධර්මයෙන් අපට ලබන්ට පුළුවන් ප්‍රයෝජනය? දුක් පීඩා රහිත ජීවිතයක් ඇති කරගැනීම. දුක් දුරුකර ගැනීම. දුකෙන් නිදහස් වීම. වෙන කිසි ප්‍රයෝජනයක් සඳහා නෙවෙයි.

අපේ ජීවිතය දුක් පීඩා රහිත එකක් ද සහිත එකක් ද? දුක් පීඩා සහිත එකක්. දුක් පීඩා උපදිනකොට, දුක් පීඩා බැහැර කරගෙන වාසය කරන්ට තමයි අපි කැමති විය යුතු යි. අන්න ඒ සඳහා තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපට තිබෙන්නේ. අපේ ජීවිතයේ දුක උපදිනකොට ඒ දුක තුළට ම අපි ඇදගෙන වැටෙනවා නම්, ඒ දුක ම විඳිමින් ඉන්නව නම් අපි බුදු රජාණන් වහන්සේගේ ධර්මයෙන් පිහිටක් ලබල ද? ධර්මයෙන් පිහිටක් ලබල නෑ. ධර්මයෙන් පිහිටක් ලබල නෑ කියන්නෙ එයාට තෙරුවන් සරණ ලැබිල නෑ.

එහෙනම් යමෙක් හට "තෙරුවන් සරණ ලැබිල තිබෙනවා, තෙරුවන් සරණ උපදවාගෙන තිබෙනවා" කියන එකෙන් අදහස් වෙන්නෙ කුමක් ද? තමාගේ ජීවිතය තුළ දුක් පීඩා ඇති වෙනකොට ඒ දුක් පීඩා වලට යට නොවී, ඒ දුක් පීඩා වලින් බැහැර කරගෙන සුවපත් වූ සිතකින් වාසය කරන්ට යමෙකුට පුළුවන් නම්, අන්න එයා තිසරණයේ පිහිට, තෙරුවන් සරණ ලැබූ කෙනෙක්. 'සරණ" කියන්නේ අන්න ඒකට. භාග්‍යවතුන් වහන්සේගේ සරණ තියෙනව, ධර්මයේ සරණ තියෙනව, සඟ සරණ තියෙනවා කියන්නෙ මොකක් ද? දුක් පීඩා උපදිනකොට ඒ දුක් පීඩා වලට යට නො වී, එය බැහැර කරමින්, සුවපත් සිතින් ප්‍රමුදිතව ප්‍රබෝධයෙන් යමෙකුට වාසය කරන්ට පුළුවන් නම්, අන්න එයාට තෙරුවන් සරණ තියෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!