2015-05-01

 

වෙසක් සමයේ සිහි කළ යුතු වටිනාම කරුණක්.

වෙසක් සමයේ සිහි කළ යුතු වටිනාම කරුණක්.

අපි වෙසක් පෝය කිට්ටු වෙනකොට වෙසක් කූඩු හදනව. තොරණ් බලන්ට යනව. අපි මේ වෙසක් සමයේ් ඊටත් වඩා වටිනා දෙයක් ගැන අපි කල්පනා කරන්ට ඕනැ. භාග්‍යවතුන් වහන්සේ ජීවිත අවබෝධය ඇති කරගත්ත විදිහ ගැන අපි කල්පනා කරන්ට ඕනැ. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ අපෙන් කුමක් ද බලාපොරොත්තු වුණේ කියන කාරණයත් කල්පනා කරන්ට ඕනැ.

බලන්න, කෙනෙක් ඇත්ත හිතන්න පෙළඹුනාම ඒ ජීවිතේ වෙනස් වෙන හැටි. අපි වුණත් ජීවිතේ ගැන කරුණු නිවැරදිව තේරුම් ගැනීමෙන් ජීවිතේ වෙනස් වෙලා යනව. කෙනෙක් අධර්මයෙන් ධර්මයට එන්නෙ, කුසලයෙන් අකුසලයට එන්නෙ ඒ ආකාරයටයි. ඒක නිසයි සංවේගයට පත් වෙන කරුණු තේරුම් ගැනීම වැදගත් වෙන්නෙ. ඉපදීම දුකක් කියල අපට තේරුණොත් අපි උපදින්ට කැමති වෙන්නෑ. ඉපදීම දුකක් කියල තේරුම් ගත්තොත් එයා ඉපදීමට අකමැති වෙනව. එහෙම නැත්නම් හිතේ ඉපදීමට අකමැත්තක් ඇති වෙන්නෑ.

අපි තනියෙන් කළුවර කාමරයක හිර කරල තියනව කියල හිතන්න. දවසක්, සතියක්, මාසයක් හිර කරල හිටිය කියල හිතන්න. අපිට එහෙම ඉන්න පුළුවන් ද? බැහැ නේද? එහෙනම් කල්පනා කරල බලන්න, අපි අම්මගේ කුසේ මාස නවයක් හිර වෙලා හිටිය නේද? අපිට ඒව මතකද? මතක නැහැ. මාස නවයක් පුරාවට කාත් කවුරුත් නැතුව, කිසි කෙනෙක්ට කතා කරගන්න බැරුව, දකින්න බලන්න මොකුත් නැතුව, කළුවරේ අපි මාස නවයක් මව් කුසක හිටියෙ සුවපහසුවෙන් ද? නැහැ. ඊලඟට අපි උපදින්නෙ සුව පහසුවෙන් ද? මහා වදවේදනා විඳගෙනයි අපි උපදින්නෙ.

අපේ පෙර ජිවිත වල දුක් වින්ද හැටි මතක තියෙනවද අපට? නැහැ. අපේ පෙර ජීවිත වලත් මේ වගේ දුක් සහිත ඉපදීම් තමයි තිබුණෙ. අපිට මේ ජීවිතේ ඉපදුණු හැටි මතක නෑ. කෑව බිව්ව දේ පවා මතක නැහැ නේද? ඇයි අපිට එහෙම වෙන්නෙ? ඉබාගාතේ යන හිතක් අපට තියෙන නිසායි. අපේ හිත එකඟ නැහැ. එකඟ නොවූ සිතින් සත්‍යය තේරුම් ගන්ට බෑ. ඉපදීම දුකක් කියන කාරණය තේරෙන්නෙ නැත්තෙ ඒ නිසා යි. කල්පනා කරන්න, අපි බිත්තරයක් අස්සෙ ඉපදුනා නම්, තෙත් පරිසරයක අසූචි වලක ඉපදුණා නම්, කොච්චර දුකක් විඳින්ට සිද්ධ වෙනවද කියල හිතන්න.

සිද්ධාර්ථ කුමාරයා විදිහට රාජ සම්පත් විඳිමින් ගත කරන කාලෙ වයසට යාම දුකයි කියල දැනගෙන සිටියේ නැහැ. යම් දවසක දැක්කා වයසට යන මනුස්සයෙක්. ඒ වයසට ගිය මනුස්සයා පිළිකුල් කළේ නෑ. වයසට යාම දුක් සහිත දෙයක් විදිහට කල්පනා කළා. තරුණ ජීවිතේ සතුටු කරන්න උත්සාහ කරද්දී ඒ තරුණ බව රැෙඳන්නෙ නැත්නම්, ආරක්ෂා වෙන්නෙ නැත්නම්, ඒ තරුණ බව තෘප්තිමත් කරල වැඩක් නෑ කියල සිදුහත් කුමාරයා කල්පනා කළා. උද්‍යානයට යන එක ඒ මොහොතේ ම අත් හැරිය.

සිද්ධාර්ථ කුමාරය වයසට ගිය එක පුද්ගලයයි දැක්කෙ. ඒ ඔස්සේ හිතන්ට පෙළඹුණා. අපි වයසට ගිය අය සිය දහස් ගණනක් දකිනව. අපට සිහිය පිහිටනවද? නැහැ. එහෙනම් මේ ජීවිතේ ඇත්ත ගැන ඉබේ ම සිහිය පිහිටන්නෙ නෑ. අපි ඒ ගැන තේරුම් ගන්ට උත්සාහ කරන්ට ඕනැ. ඒ ඔස්සේ හිතන්ට ඕනැ. වයසට ගිය කෙනෙක් දැක්කහම, ඇඟ කුදු වෙලා වැහැරිල ගිය ශරීර දැක්කහම "මේකයි ජරාවට පත් වෙනවා කියන්නෙ" කියල හිතන්න. " කලින් හොඳට තිබ්බ ඒ ශරීරයට මොකද වුණේ" කියල හිතන්න. "මගේ ශරීරයටත් මේක සිද්ධ වෙනව නේද" කියල කල්පනා කරන්න.

රාග ද්වේශ මෝහ නිසයි අපි මේ සසරේ ඉපදි ඉපදි ගමන් කරන්නෙ. ඒ රාග ද්වේශ මෝහ අපේ හිතේ පෝෂණය නොවී තියෙන්ට නම් දුකට අයිති ධර්මයන් අපි නිතර සිහි කරන්ට ඕනැ. හොඳින් තේරුම් ගන්ට ඕනැ. එතකොට සංවේගය උපදිනව. මේ ජීවිතේ හිස් දෙයක් කියල තේරුම් ගන්නව. ඊට පස්සෙ ඒ ඔස්සේ ම හිතනකොටයි ක්‍රමක්‍රමයෙන් කෙලෙස් දුරු වෙලා යන්නෙ.

බලන්න, අපේ හිතවත් කෙනෙක් මරණයට පත් වුණාම නැවත ඒ කෙනා අපට දකින්ට බැහැ. උපන් කෙනාට නොමැරී සිටීමක් නැහැ. කෙනෙකුගේ මරණයක් දැක්කාම නුවණ තියන කෙනාට සිහිය උපදිනව. "මමත් මරණයට පත් වෙනවා" කියල තේරෙනව. තමාට ඒ ඉරණමට ගොදුරු වෙන්ට වෙනවා කියල සිහි වෙනවා. එයාට ධර්මයේ හිත පිහිටන්ට ගන්නව. ඒත් බලන්න, සාමාන්‍ය කෙනාට මළ ගෙදරකදි වුණත් ජීවිත අවබෝධයක් ඇති වෙන්නෙ නැහැ. මළ ගෙදරකදී වුණත් ටික දිනක් ගියාම සාමාන්‍යයෙන් උසුළු විසුළු කරමින් ඉන්නව නේද? නමුත් මරණය ගැන අවබෝධය ඇති කරගන්ට නම් ඒ ගැන අපි නිතර නිතර අත් නොහැර සිහි කළ යුතුයි. නිතර මරණය ගැන සිහි කරනවා නම්, ධර්ම මාර්ගයෙන් බැහැර වෙන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා අප්‍රමාදී වෙනවා, නිවන අවබෝධ කරගන්නවා කියල.

මරණය ගැන ජීවිතයේ තාවකාලික බව ගැන නිතර හිතන්න. එතකොට බාහිර අපහසුකම් වලින් සිත යට වෙන්නේ නැහැ. මරණය තමයි අපට මුහුණ දෙන්න තිබෙන අමාරුම දේ. භයානක ම දේ. දුක් සහිත ම දේ. අසනීපයකටත් වඩා මරණය දුක් සහිතයි නේද? අද මැරෙයි ද හෙට මැරෙයි ද කියල අපි දන්නෙ නැහැ. අනාගතයේ කවදා හරි අපට මරණයට මුහුණ දෙන්නම වෙනව. ඒ නිසා ධර්මය ගැන විශ්වාසයක් ඇති කරගන්න, නිවන අවබෝධ කරගන්න පුළුවන් කියල. මේ ධර්මය ප්‍රතිඵල සහිතයි. ප්‍රතිඵල ලැබෙන්නේ පුරුදු කිරිමෙන් පමණයි. නිකම් ම සිටීමෙන් නෙවෙයි.

ඒ නිසා මේ වෙසක් පෝය සමයේවත් ජීවිතේ ඇත්ත ගැන කල්පනා කරන්න පටන් ගන්න. ඒ විදිහට සංවේගය උපදින කාරණා සිහිපත් කරගැනීමෙන් අපට ලැබෙන ලාභය තමයි හිත ඇලීම් ගැටීම් වලින් නිදහස් කරගන්ට පුළුවන්. ඇලීම් ගැටීම් වලින් හිත නිදහස් කරගත්තේ නැත්නම් කුසල් සිතක් උපදවාගෙන වාසය කරන්ට බෑ. මේ විදිහට දීර්ඝ කාලයක් ජරා මරණ ගැන හිතන්ට වෙයි. සමහර විට ජීවිත කාලයේ ම සිහි කරමින් ඉන්ට වෙයි. ඒත් බයක් ඇති කරගන්ට ඕන නැහැ. ජීවිතේ අන්තිම මොහොතේ හරි ජරා මරණ ගැන අවබෝධයට අපට එන්ට පුළුවන්.

"මට ධර්මය වැඩෙන්නෙ නෑ" කියන අදහස අත් හැරල හිත සංවේගයට පත් කරන කාරණා බහුල වශයෙන් බහුල වශයෙන් හිතන්න. අපි මේ ධර්ම මාර්ගයේ ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්ට හොඳ නෑ. අපි ඒ ඒ මොහොතේ යෝනිසෝ මනසිකාරය උපදවාගෙන වාසය කළොත් පසුව ප්‍රතිඵලය ලැබෙනවා කියන විශ්වාසයෙන් ධර්මය පුරුදු කරන්න.

මේ වෙසක් සමයේ අපි ආශිර්වාද කරනව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයට ජීවිතයට වටිනා දෙයක් එක් කරගැනීමට සියලුම දෙනාට භාග්‍යය උදා වේවා කියල.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!