දම්මි මරන්න හේතුවක් තිබුණේ නැහැ

දම්මි මරන්න හේතුවක් තිබුණේ නැහැ

වරදක් කළ තැනැත්තාට ස්වභාව ධර්මයාගෙන් ද ගැලවීමක් නැත

අදින් වසර දහහතරකට පෙර 1996 අගෝස්තු 26 වැනි දාය, වේලාව උදේ අටට පමණ ඇත. දම්මි ෆොන්සේකා අබිරහස් ලෙස මරා දමා ඇති පුවත ඇසූ කුඹුක ගෝනපොල පොකුණුවිට ප්‍රදේශවාසීහු මහත් කම්පනයට පත් වූහ. ආරංචිය සැළවීමත් සමඟ අවට ගම්වාසීහු ගෝනපොළ කුඹුකේ පන්සල පාරේ කුසුම් සෙවණ වෙත ඇදෙන්නට පටන් ගත්හ.

පොලිසිය ඒ වන විටත් සිද්ධිය වූ ඇගේ නිවෙසට පැමිණ සිටියහ.

සිනමා නිළි දම්මි ෆොන්සේකා ගේ මළ සිරුර නිවසේ කුස්සියට පිවිසෙන දොර අසල වැටී තිබුණාය. ඇගේ හිස පැත්ත කුස්සිය තුළ තිබුණ අතර දෙපා පිටතට දිස්ව තිබුණි.

කහතුඩුව පොලිසියේ එවකට ස්ථානාධිපති ඩී. ඒ. එස්. නිශ්ශංක මහතා ප්‍රධාන පොලිස් නිලධාරීහු සිද්ධිය වූ ස්ථානයේ පරීක්‍ෂණ ආරම්භ කළේ ඉන් අනතුරුව ය. සහකාර පොලිස් අධිකාරි කිත්සිරි දහනායක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පටන් ගත්හ.

ඇය ජනපි‍්‍රය සිනමා නිළියක් නිසා මාධ්‍ය මගින් මෙම අබිරහස් මරණයට පුළුල් ප්‍රචාරයක් ලබා දුන්හ.

දම්මි පොන්සේකා ‘පළගැටියෝ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් දැක්වූ රංගන නිපුණතාව නිසා අබිිරහස් මරණය ගැන රට පුරාම කතා බහට ලක්විණි.

ඇගේ මරණයත් සමඟ නොයෙකුත් ආරංචි කට කතා පැතිර ගියහ. ඇය අමානුෂිකව මරා දමා දින පහක් හෝ හයක් පමණ ගෙවී ඇතැයි සැක කෙරෙන ආරංචි ද පැතිර ගියේ ය. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය අගෝස්තු 27 වැනි දින පැවැත්විණි.

දම්මි පොන්සේකා කුසුම් සෙවණෙහි හුදකලාවේ සිටියා ය. ඇගේ ඉල්ලීම මත කහතුඩුව පොලිසිය මගින් මුර සංචාරක පොතක් ද ඇගේ නිවෙසේ දොරෙහි එල්ලා තිබුණි. සුපුරුදු රාත්‍රී මුර සංචාරක පොතේ අස්සන් කිරීමට ගිය කහතුඩුව පොලිසියේ නිලධාරීන්ට නිවස තුළින් දුගඳක් හමනු දැනී සැක පිට පිටුපස දොරටුවෙන් පරීක්‍ෂා කර බලද්දී දම්මි ෆොන්සේකා මරා දමා තිබෙනු දැක ඇත.

දම්මි ඝාතනය කළ හේතුව සොයන්නට පොලිසිය පරීක්‍ෂණ ඇරඹුවේය. ඇයගේ හුදකලා ජීවිතය පිළිබඳව විමර්ශනය සිදුවිය.

ඒ වන විටත් නොයෙකුත් තොරතුරු පොලිසිය වෙත ලැබෙමින් තිබුණි.

කවුද මේ දම්මි ෆොන්සේකා? ඇය මරා දැමුවේ ඇයි? පොලිස් විමර්ශකයෝ පැති කිහිපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදු කළහ.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ වසක්ත ඔබේසේකර ‘පළගැටියෝ’ සඳහා නවක නිළියක සොයමින් සිටියේ ය.

ඡායාරූප ශිල්පි දයා පෙරේරා සිය මිතුරු වසන්ත ඔබේසේකර ට ඡායාරූපයකින් සුන්දර මුහුණක් පෙන්වුයේ ය.

ඒ දම්මි ෆොන්සේකාගේ සේයාරුවකි.

1979 දී තිරගත වූ ‘පළගැටියෝ’ චිත්‍රපටයෙහි කුසුම්ගේ චරිතය රඟපාමින් දම්මි ෆොන්සේකා නිළියක් ලෙසින් නව ජීවිතයක් ඇරැඹුවේ එලෙසිනි.

වෘත්තිය නිළියක වශයෙන් රංගනයේ නිරත නොවූ දම්මි ෆොන්සේකා ‘පළගැටියෝ’ චිත්‍රපටයෙහි රඟපෑවේ රංගන ශිල්පය අධ්‍යයනය කිරීමට බැව් ඇය කලා පුවත් සඟරාවලට පසු කලෙක පවසා තිබුණේ කලාව තුළ දිගින් දිගටම නොරැදුණේ මන්දැයි මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි. සුගතපාල සෙනරත් යාපා ගේ ‘ඉන්දුට මල් මිටක්’, රෝයි අනුරාධ බණ්ඩාරනායක ගේ ‘සිව් රඟ සේනා’ සිනමා පටවල දම්මි ෆොන්සේකා ප්‍රධාන චරිතයන් නිරූපණය කළාය.

දම්මි ෆොන්සේකා ජන්ම ලාභය ලැබුවේ 1949 අගෝස්තු 17 වැනි දිනය. ඇගේ පියා විදුහල්පතිවරයෙකි. මව කැරලයින් ෆොන්සේකා ය. පොන්සේකා පරපුර හොරණ චිර ප්‍රසිද්ධ පවුලක් වූ බැවින් දම්මි කලා ලෝකය තුළ ජනපි‍්‍රයත්වයට පත්වූයේ දම්මි ෆොන්සේකා නමිනි. එහෙත් ඇගේ නියම නම වූයේ චන්ද්‍රා පද්මිණි දමයන්ති ලියනගේ ය. දම්මි කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

හුරුබුහුටි රූමත් දම්මි කෙළිලොල් හුදකලා ජීවිතයක් ගත කිරීම ගැන අම්මා කිහිපවරක්ම ඇයට අවවාද කළ වග ඇගේ ඥාතීහු පැවසූහ. තනිවම සිය වාහනයෙන් වේලාව අවේලාව නො බලා ගමන් බිමන් ගිය ඈ ගමේ සමාජයට වඩා නාගරික සුඛෝපභෝගි සමාජය පි‍්‍රය කළ වග අසල්වාසීහු දැන සිටිය හ. අම්මාගේ ඔවදන් නොතැකු ඇය පසුව අම්මා සමඟ ගැටුම් ඇති කර ගත් වගත් අම්මා ඥාති පුතෙකුගේ නිවසෙහි නතර වූ බවත් දම්මි ගේ අබිරහස් ඝාතනයෙන් පසු අසල්වාසීහු පැවසූහ. දම්මිගේ අකල් වියෝවෙන් වසර තුනකට පසු රෝගාතුරව සිටි අම්මා ද ජීවිතයෙන් සමු ගත්තා ය.

අබිරහස් මරණය සිදුවී දින ගණනාවක් ගතවුව ද සැක කටයුතු පුද්ගලයෙකු සොයා ගැනීම පොලිසියට අපහසු විය. මේ අතර 1996 සැප්තැම්බර් 05 වැනිදා බුලත්සිංහල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් වග මාධ්‍ය මගින් හෙළිදරව් විය. විශේෂ පොලිස් කණ්ඩායමකට කොටු වූ මෙම සැකකරු මැදිවියේ කෙනෙකු බවත් සිනමා නිළි දම්මි පොන්සේකා සමඟ කිට්ටු සබඳතාවක් තිබුණු බවත් පොලිස් කණ්ඩායමට අනාවරණය විය.

කුඹුක පන්සල පාරේ තිබුණු සුවිශාල “කුසුම් සෙවණ” දිරාපත් වී ඇති නිසා එහි අලුත්වැඩියා කිරීමේ කටයුත්ත බාර වූයේ මොහුට ය. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ මේසන් බාස්ලා සපයා දී ඇත්තේ මෙම ව්‍යාපාරිකයා විසින් වග පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි. වාහනවලින් මෙම පුද්ගලයා නිතර නිතරම “කුසුම් සෙවණ” ට පැමිණ ඇති වග ද පොලිස් පරීක්‍ෂණවලින් හෙළිදරව් වූයේ ය. ලැබුණු තොරතුරු අනුව කහතුඩුව පොලිසිය මෙම සැකකරු සම්බන්ධයෙන් දිගින් දිගටම විශේෂ විමර්ශනයක් පැවැත්විණි.

දම්මි රඟපෑ චිත්‍රපට
රූප රාමු පෙළක්

මේ සමඟම දම්මිගේ ඝාතනය ගැන ප්‍රදේශයේ විවිධ තොරතුරු කතාබහට ලක් වූහ. දම්මි පොන්සේකා උදේ 10 ට පමණ සිය සුපිරි මෝටර් රථයෙන් කොළඹ පැත්තට යාමත් රාත්‍රී කාලයේ ආපසු පැමිණීමත් කොළඹ - හොරණ මහා මාර්ගයේ දෙපස අවට තරුණයන්ට සාමාන්‍ය දෙයක් විය. ඇය ගමේ වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදි නොගැනීම පුරුද්දක් කර ගෙන තිබුණි. රාත්‍රියට කුඹුක හන්දියේ රාත්‍රී කඩයකින් කෑම වේලක් ගැනීම හිඳ හිට දම්මි කළා ය.

කෙසේ වුවත් කහතුඩුව පොලිසියේ එවකට ස්ථානාධිපති හර්බට් නිශ්ශංක ප්‍රධානව අපරාධ අංශයේ ස්ථානාධිපති උ. පො. ප. පියල් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (10718) නන්දසේන, පො. කො. (15098) ජයසේකර ඇතුළු පොලිස් කණ්ඩායමක් දිගට ම පරීක්‍ෂණ පැවැත් වූහ.

කුඹුක ගමේ හෝ ඒ අවට කිසිවකු ගැන කවුරුන් හෝ අවිශ්වාස නොකළේ දම්මි ෆොන්සේකා නාගරික කෙළිලොල් සමාජය සමඟ සබඳකම් පැවැත් වූ හෙයිනි. ඒ වකවානුවේ දී ගෝනාපල, කුඹුක, ඔලබොඩුව ප්‍රදේශයේ සුළු මංකොල්ලකෑම්, පැහැර ගැනීම් විශේෂයෙන් තරුණියන්ගේ රන් මාල කඩා ගැනීම් කීපයක් සම්බන්ධයෙන් කහතුඩුව පොලිසියට පැමිණිලි ලැබී තිබුණි.

මේ අතර ගෝනාපොල පාළු පෙදෙසක දී තරුණියකගේ රන් මාලයක් කඩා ගත් ගමේ තරුණයෙකු පිළිබඳ විපරමින් සිටි තරුණ කණ්ඩායමකට එම තරුණයාව හසු වුණේ ය. ගම්මුන්ගේ පහරදීමෙන් විසඥතාවයට පත් තරුණයා මිය ගියේ යැයි සිතූ තරුණ පිරිස ඉවත්ව ගිය පසු එකී පුද්ගලයා බඩ ගා ගෙන ගොස් අසල කැළෑ රොදකට රිංගා සැඟවී සිට ඇත.

රන්මාල සිද්ධිය දැන ගත් වහාම පොලිස් නිලධාරීහු ගෝනාපොල බුංවලහේන ගම්මානය පිරා ගොස් බරපතළ ලෙස පහර කා සිටි තරුණයා අත්අඩංගුවට ගත්තේ ය. පොලිස් නිලධාරීහු ඔහු ගැන විමර්ශනයෙහි යෙදුණාහ. ප්‍රදේ්ශයෙහි කළ අපරාධ සොරකම් බොහෝමයක් එකිනෙක පාපොච්චාරණයක යෙදුණේ වෙන කරන්නට කිසිදු දෙයක් නො තිබුණු හෙයිනි.

ඝාතනයෙන් වසරකුත් මාස දෙකකට පසු 1997 ඔක්තෝබර් මාසයේ දී ගෝනපොල, කුඹුකේ, බුංවලහේනේ පදිංචි ජන්තුවා නමැති මොහුට විරුද්ධව කහතුඩුව පොලිසියෙන් නඩු පැවරිණි. එවකට ස්ථානාධිපති ඩී. ඒ. කරවිට මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ අංශයේ ස්ථානාධිපති එස්. ඔත්තනපිටිය සහ පො. කො. (15098) ජයසේකර, දිගට ම වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වූහ.

කැස්බෑව මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ඩී. එම්. ටී. බී. දිසානායක මහතා දම්මි ෆොන්සේකා මෙනවියගේ මරණය පිළිබඳ පැමිණිල්ල පානදුර මහාධිකරණය වෙත යොමු කළේ ය. කහතුඩුව පොලිසිය මගින් පැමිණිල්ල මෙහෙයවුණි.

දම්මි පොන්සේකා ගේ නිවසෙහි පැරණි කුස්සියක් හා නවීන මාදිලියේ උපකරණ සහිත අළුත් මුළුතැන් ගෙයක් ද තිබුණි. ඈ කපා මරා දමා තිබුණේ අලුත් මුළු තැන් ගෙයි දොරටුව සමීපයේ ය.

පැරණි කුස්සියේ පොල් අතු සහ දර තිබුණු ස්ථානයෙහි සැඟව සිටි තමන් දම්මි පොන්සේකා ඝාතනය කළ බැව් සැකකාර තරුණයා ඉතා අසරණව පාපොච්චාරණයෙහි යෙදුණේ ය.

පොලිසිය පවසන අන්දමට සැකකරු රාත්‍රී කාලයේ නිවෙස්වලට ඇතුළු වී කාන්තාවන් නිදන අයුරු දැක ගැනීමේ විකෘති මානසික තත්ත්වයකින් පසු වූවෙකි.

දම්මි ෆොන්සේකා ජනපි‍්‍රය සිනමා නිළියකව සිටියදී ඈ සමඟ ඉහළ සමාජයේ විවිධ පුද්ගලයන් සහ සම්බන්ධතා පැවැත්වුව ද ඇගේ පැමිණිල්ල ඉදිරියට මෙහෙය වන්නට අවසානයේ ඉතිරි වූයේ පොලිස් දෙපාර්තමේන්තුව පමණි.

මේ වනවිට රිමාන්ඩ් භාරයේ සිටි සැකකරු බරපතළ ලෙස අසනීපයට පත්වූයේ අමානුෂික පාප කර්මයට මෙලොවදීම විපාක ලැබෙන වග තහවුරු කරමිනි. හැඩි දැඩි තරුණයාගේ සිරුර ද ක්‍රමයෙන් කෘෂ වන්නට විය. පිටකොන්දේ අබාධය උත්සන්න වීමත් සමඟ ඔහුට අධිකරණයේ පෙනී සිටීමට සිදුවූයේ ද රෝද පුටුවක වාරුවෙනි.

වසර ගණනාවක් පුරා කහතුඩුව පොලිසිය පැමිණිල්ල මෙහෙය විය. ඉකුත් පෙබරවාරි 18 වනදා අදාළ සැකකරුට මහාධිකරණයෙන් බරපතළ වැඩසහිත සත් අවුරුදු සිර දඬුවමක් නියම කෙරිණි. දම්මිගේ වියෝවෙන් වසර කිහිපයකට පසු ඥාතීන් බූදල් නඩුවක් වෙත ඉදිරිපත් විය. නිවස සහිත ඉඩම් කොටස වෙනත් ගැනුම්කරුවකුට විකිණීමෙන් පසු ‘කුසුම් සෙවණ’ ට තම දයාබර හිමිකාරිය අහිමි වී ගියේ ය.

පසුගිය සතියේ “අතීත මතක” තීරයේ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා මහතාගේ ඝාතනය අළලා පළවූ ලිපියෙහි රිචඩ් පැහැරගෙන යාම ඇසින් දුටු සාක්කියක් ලෙස ඇල්පිටිය ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරයෙකු වූ කරුණාරත්න යන අය ලෙස ලිපියේ සඳහන් විය. නමුත් එය ඇල්පිටිය විතානගේ කරුණාදාස ලෙස නිවැරැදි විය යුතුය.