කාමාතුරයන්ට බිලි වූ බොම්බායේ සුරූපිනිය

 කාමාතුරයන්ට බිලි වූ බොම්බායේ සුරූපිනිය

හිරු බැස යන්නට ඇත්තේ හෝරාවක් පමණි. වැහි බීරුමත් සමඟ පරිසරයට අමුතු චමත්කාරයක් එක් වී ඇති සෙයකි. අලුත ගෙනා මනමාලී රීටා ජෝන් හට, සිය සැමියා සමඟ අත්වැල් බැඳ වෙරළේ ඇවිදින්නට ඇත්නම් යැයි ආදරණීය සිතිවිල්ලක් උපන්නා ය.

‘ජූඩ් මට මෝය කට බලන්න ආසයි. අපි මෝය කටත් බලලා බීච් එකේ ටිකක් ඇවිදලා එමුද ?

ජූඩ් අලුත ගෙනා මනමාලිගේ ඉල්ලීම ආදරයෙන් බාරගත්තේය.

‘’තාත්තේ... අපි මෝය කට පැත්තට ගිහින් එන්නම්.. ‘’ ජූඩ් තාත්තාගෙන් අවසර පැතීය.

‘’ගියාට කමක් නෑ. කලුවර වැටෙන්න කලින් එන්න’’ පියා අවවාදයක් දුන්නේ පළාතේ හැටි දන්නා නිසා විය හැකියි. හේ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකි.

‘’දෑත් පටලවා ගත් නව යුවළ මෝය කට බැලීමට ගොස් ආපසු පැමිණෙමින් සිටියහ. අසල සිටි කඩල වෙළෙන්දෙකුගෙන් ජූඩ් රීටාට කඩල ගොට්ටක් ද රැගෙන දුන්නේය කෙළිදෙළෙන් මේ යුවළ මුහුදු වෙරළ දිගේ ගමන් කළහ.

ඔවුන් පසුකර යන පිරිස් ගැන ඔවුන්ට ගණනක් නැත. තරුණයන් කිහිප දෙනෙකු ඉදිරියට පැමිණිය හ. ඇවිද ගැනීමට අපහසු තරමට බීමත්ව සිටි තරුණයන් දෙදෙනෙක් මෙම යුවළ පසුකර ගියහ. තවත් තරුණයන් දෙදෙනෙක් ඉදිරියට පැමිණෙමින් සිටි යහ. සියල්ලෝම හොඳ හැටි මත් වී ඇති සෙයකි.

‘’ ආ .. කොහොමද ? ‘’

එසේ පවසමින් ඒ තරුණයන් දෙදෙනාගෙන් එක් අයකු රීටා ගේ අතින් ඇද්දේ ය. මින් දැඩි කෝපයට පත් ජූඩ් ඒ තරුණයාගේ කමිසයෙන් ඇද පහර දෙන්නට විය.

ජූඩ්ගේ පහර දීමේ ශබ්දය ඇසුණු අනෙක් තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකු ගුටි පොරය යන ස්ථානයට පැමිණ ජූඩ් ට පහර දෙන්නට වූයේ ය. ජූඩ් ගේ උපැස් යුවළ බිම වැටුණේ මේ ගුටි පොරය අතරේ දී ය. අවට බැලූ ජූඩ් තම ආදරණීය බිරිඳ සෙව්වේය.

රීටාත් කොණ්ඩය වවාගෙන සිටි උස තරුණයාත් පෙනෙන්නට නැත.

ක්ෂණිකවම උපැස් යුවළත් කමිසයත් අහුලාගත් ජූඩ් ගෙදර දුවන්නට වූයේ ය.

නිවසෙහි විදුලි සීනුව තිබුණත් ජූඩ් දොරට ගසමින් කෑ ගසමින් සිය පියාට කතා කෙළේ ය. දොර විවර කළ පියා දුටුවේ දැඩි අසරණභාවයට පත්ව සිටි තම පුත්‍රයා ය.

‘’තාත්තේ.. බීච් එකේ දී කොල්ලෝ කට්ටියක් රීටා ව අරගෙන ගියා’’ ජූඩ් පැවැසීය.

විශ්‍රාමික පොලිස් අධිකාරි පියා වහාම ක්‍රියාත්මක විය. මෝදර පොලිසියට දුරකථන ඇමැතුමක් දුන් ඔහු සිය ලේලිය යම්කිසි පිරිසක් විසින් පැහැරගෙන ගිය බව පොලිස් ස්ථානාධිපති රංජිත් දෙහිදෙණිය මහතාට දැන්වීය.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ දෙහිදෙණිය මහතා කණ්ඩායමක් ද සමඟ සිද්ධිය වූ ස්ථානයට ගියහ. මේ වන විට හිරු අවරට යන්නට ඔන්න මෙන්න ය. අන්ධකාරයෙන් බර වූ අහස එකවරම කඩා වැටෙන්නට පටන් ගත්තේ මහ වරුසාවක් ලෙසිනි.

යුද හමුදාවේ ද සහාය ඇතිව පොලිසිය අවට ප්‍රදේශය සෝදිසි කළත් කිසිම හෝඩුවාවක් ලැබුණේ නැත. රීටාගේ යැයි සැකකළ හැකි සෙරෙප්පුවක් හමු විය. පොලිස් නිල සුනඛයෙක් ගෙන්වා සෙරෙප්පුවේ ඉව ඔස්සේ රීටා සෙවීමට උත්සාහ කළත් සෙරෙප්පුව පොද වැස්සට තෙමී තිබුණ බැවින් සුනඛයාට ඉව වැටුණේ නැත. එන්න එන්නම

රීටාගේ මළ සිරුර සොයා ගත් මොහොත.

වර්ෂාව වැඩි වූ හෙයින් පරීක්ෂණ කටයුතු පසු දිනට කල් තැබිණි.

ජූඩ් මනෝහරන් නාවික යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකි. රීටා ජෝන් ඉන්දියාවේ බොම්බායේ උපන් රූමත් තරුණියකි. මේ දෙදෙනාම කතෝලික දමිළ ජාතීන් වූහ.

ජූඩ් රාජකාරී කළ නෞකාව 1998 වර්ෂයේ දිනෙක බොම්බාය වරායට සේන්දු විය. ජූඩ් එම ඉරිදා දිනයේ බොම්බායේ සාන්ත මයිකල් දේවස්ථානයට ගියේ දේව ආශිර්වාද ලබා ගැනීම සඳහා ය.

එදින රීටා ජෝන් ද පල්ලියට පැමිණ සිටියා ය. ඈත රටක දෙදෙනා පල්ලියේ දී දැන හඳුනාගත්හ. මේ හැදිනුම්කම ආදරයකට පෙරළිණි. ජූඩ්ගේත් රීටාගේත් ආදර සම්බන්ධය අවසන් වූයේ රීටා ජූඩ් ගේ මනමාලිය වීමෙනි.

ජූඩ් පදිංචිව සිටියේ මෝදර කාකදූපතේ ය. 1998 සැප්තැම්බර් මස 12 වැනිදා ඉන්දියාවේ සාන්ත මයිකල් දේවස්ථානයේ දී රීටා විවාහ කරගත් ජූඩ් එම මස 22 දා රීටා ද සමඟ ලංකාවට පැමිණියහ.

සැප්තැම්බර් 26 වැනිදා ලංකාවේදී විවාහ උත්සවයක් ගැණිනි. නව යුවළ ද මාපියන් සමඟ මෝදර කාකදූපතේ පිහිටි නිවසේම පදිංචි විය.

රීටා, ජූඩ් සමඟ දිනපතාම සවසට මුහුදු වෙරළේ ඇවිදින්නට ගියා ය. මේ අවාසනාවන්ත සිදුවීමට රීටා මුහුණ දුන්නේ එසේ ඇවිදින්නට ගිය 1998 ඔක්තෝබර් මස 11 වැනිදා සවසය. ඔක්තෝබර් 12 වැනිදාට පහන් විය. එළි වනතුªරු ජූඩ් ට නින්දක් නැත. හිමිදිරි උදයේම පොලිසිය ද සිය රාජකාරී ආරම්භ කෙළේ ය. රීටා සොයාගැනීම අපහසු වූ තැන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා ගැනීමට පොලිසිය පියවර ගත්තේය.

ජූඩ් ගේ හා සිද්ධිය වන අවස්ථාවේ අවට සිටි කිහිප දෙනෙකුගෙන් ලද තොරතුරුවලට අනුව ලක්ෂ්මන් නමැති පුද්ගලයා මෝදර ඉබ්බගේ වත්තේ දී අත්අඩංගුවට ගැණිනි. ඔහුගෙන් ලද තොරතුරක් ඔස්සේ දෙවැනි විත්තිකරු වන බැසිල් නොහොත් නිශ්ශංක කොම්පඤ්ඤවීදියේ දී අත්අඩංගුවට ගැණිනි.

තුන්වැනි විත්තිකරු වන චමින්ද නොහොත් ආසිරි කැලණියේ දී අත්අඩංගුවට පත් වූයේ ය. පළමු වැනි විත්තිකරු අජිත් නොහොත් කොණ්ඩ අජිත් හසලක ප්‍රදේශයට ඒ වන විටත් පලා ගොස් සිටියේ ය.

අත්අඩංගුවට පත් ආසිරිගේ මඟ පෙන්වීම යටතේ පරීක්ෂණ ඇරැඹූ පොලිසිය කාකදූපතේ නාරා ආයතනය පිටුපස කැලෑ ප්‍රදේශයේ මඩ ඇළක තිබූ රීටා ජෝන්ගේ නිරුවත් මළ සිරුර 1998 ඔක්තෝබර් මස 13 වැනිදා දහවල් සොයා ගැණිනි.

13 වැනිදා සවස මෝදර පොලිසියේ කණ්ඩායමක් හසලක බලා පිටත් වූ අතර 14 වැනිදා පාන්දර 3.30 ට පමණ කොණ්ඩ අජිත් අත්අඩංගුවට ගැණිනි.

ඔහුගේ මඟපෙන්වීම යටතේ රීටා හැඳ සිටි ඩෙනිම් කලිසමත්, අලු පැහැ කමිසයත්, අනෙකුත් ඇඳුම්කාකදූපතේ කොට්ටන් ගසක් යට කොළ රොඩු හා පස් යට සඟවා තිබී සොයා ගැණිනි. රීටා සතුව තිබූ අබරන (මාලයක්, වළලු දෙකක්) කොණ්ඩ අජිත් ගේ බිරිය විසින් පොලිසියට බාරදුනි.

සිද්ධිය වූ දිනයේ ලක්ෂ්මන්, අජිත්, බැසිල් සහ චමින්ද යන සිව්දෙනා තවත් මිතුරන් දෙදෙනකු සමඟ එක්ව අධික ලෙස මත්පැන් පානය කළහ. ගංජාවලින් ද ඔවුහු පදමට මත්ව සිටියහ. මේ හතර දෙනා වෙරළ දිගේ ඇවිදගෙන එද්දී රීටා හා ජූඩ් හමු වී ඇත. රීටා පැහැර ගැනීමත් සමඟ ගැටුම ඇතිවනු දුටු ලක්ෂ්මන් පැන දිව්වේ ය.

චමින්ද හා බැසිල් ජූඩ් සමඟ පොර බඳද්දී අජිත් රීටා කැලය දෙසට ඇදගෙන ගියේ ය. ජූඩ් පැන ගිය පසු බැසිල් හා ආසිරි ද අජිත්ට එකතු වී රීටා කැලේ තුළට රැගෙන ගොස් ඈ නිරුවත් කොට බලහත්කාරයෙන් දූෂණය කළහ.

මේ වන විටත් ඇයට සිහිය තිබුණි. එහෙත් ඇය පන පිටින් අතහැරිය හොත් තමන් අමාරුවේ වැටේ යැයි සිතූ® මේ තිදෙනා ගෙල සිර කර රීටා ඝාතනය කරන්නට තීරණය කළහ.

එයින් නොනැවතුන ඔවුන් අසල කැලයේ තිබුණ වැලකින් වැල් පොටක් කඩාගෙන රීටා ගේ ගෙල සිර කළහ. ඇය මියගිය බව හොඳින් තහවුරු වූ පසු අසල තිබූ ජපන් ජබරවලින් වැසී ගිය මඩ ඇළට ඇය දමා තිදෙනා පලා ගියහ.

අත් අඩංගුවට පත් සැකකරුවෝ...

අපරාධ විධි විධාන සංග්‍රහයේ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව ජූරි සභාවක් නොමැතිව ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කැරිණි.

විත්තිකරුවන් 4 දෙනාගෙන් ලක්ෂ්මන් ප්‍රනාන්දු නැමැති අය නිදොස් කොට මුදා හැරිණි. ඔහු රජයේ සාක්ෂිකරුවෙකු විය. මෙම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිඥ සංගමය තීරණය කැර තිබිණි.

එසේ තිබිය දී නීතිඥයන් දෙදෙනකු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. මාස හයකුත් දින 18ක් තිස්සේ කොළඹ මහාධිකරණයේ මෙම නඩුව විභාග විය. 1999 මැයි මස 31 වැනිදා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කැරිණි.

අතවර කිරීම සඳහා රීටා ජෝන් පැහැරගෙන යාම, අතවර කිරීම, මිනීමැරීම, දේපළ සොරා ගැනීම යන චෝදනා යටතේ පළමු වැනි විත්තිකරු වූ අජිත්ට මරණ දඬුවමත්, වසර 42ක සිර දඬුවමකුත් නියම කැරිණි.

දෙවැනි විත්තිකරු වූ බැසිල්ට ද මේ හා සමාන දඬුවම් නියම කැරිණි. තුන්වැනි විත්තිකරු වූ චමින්දට දේපළ සොරා ගැනීමේ චෝදනාව එල්ල නොවීය. ඒ අනුව ඔහුට මරණ දඬුවමත් වසර 32ක සිර දඬුවමකුත් නියම කැරිණි.

මෙම නඩුවේ දී විත්තිකරුවන් තිදෙනාම කියා සිටියේ තමා මේ සිද්ධිය පිළිබඳ කිසිවක් නොදන්නා බවත් තමන් නිර්දෝෂී බවත් ය.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව චූදිතයන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළහ. පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඇපෑල විභාග කැරිණි. අවසන් තීන්දුව ලෙස මහාධිකරණ තීන්දුව නියත කැරිණි.

මරණ දඬුවම් නියම වූ මේ තිදෙනාගෙන් දෙවැනි චූදිත බැසිල් බෝගම්බර බන්ධනාගාරයේත් අජිත් හා චමින්ද වැලිකඩ බන්ධනාගාරයේත් එල්ලා මැරීමට නියමිත සිරකරුවන් රඳවා තබන කුටිවල රඳවා සිටිති.

රීටා ගේ හදිසි වියෝවින් කම්පාවට පත් සැමියා වූ ජූඩ් මනෝහරන් මහතා තවමත් අවිවාහකය. කාකදූපතේ නිවෙස විකුණා දමා ඔවුන් දෙහිවල පැත්තේ නිවෙසක පදිංචියට ගියේ මෙම සිදුවීමෙන් ලත් දැඩි කම්පාව නිසාය.

සිද්ධිය වන විට අජිත් හා බැසිල් විවාහකයෝ වූහ. මේ වන විට ඔවුන්ගේ බිරියන් නැවත විවාහ වී දරු මල්ලෝ ද ලබමින් ජීවත් වෙති.