ආන්දෝලාත්මක හාරලක්ෂ මංකොල්ලය

ආන්දෝලාත්මක හාරලක්ෂ මංකොල්ලය

වර්තමානයේ ලංකාවේ තුරඟ තරග පැවැත්වෙන්නේ නැත. නමුත් තුරඟ තරගවලට ඇබ්බැහි වූවෝ නම් විරල නොවේ. ඔවුහු එංගලන්තයේ අශ්වයන්ට මෙරට සිට ඔට්ටු අල්ලති. “රේස් බයි රේස්” තිප්පොලක් නැති නගරයක් සොයාගත නොහැකි තරම්ය.

ජෝන් සිල්වා මරා දමා තිබු ස්ථානය

අද තත්ත්වය එසේ වුවද මීට දශක කිහිපයකට පෙර අපේ රටේ ද තුරඟ තරග පැවැත්වුණේය. වර්තමානයේ ජාතික ලේඛනාරක්‍ෂක භූමිය පිහිටි ස්ථානය අතීතයේ තුරඟ තරග පැවැත් වූ පිට්ටනියකි.

තරග සංවිධායකයෝ මෙන්ම ඔට්ටු අල්ලන්නෝ ද එකල බහුලව සිටි අතර, ඒ අතර රටේ පිළිගත් චරිත ද වූහ. එකල තුරඟ තරග හා ගොඩනැගුණු වෙනමම සංස්කෘතියක් ද විය. ඒ තරමට මෙම තුරඟ තරග ජනපි‍්‍රය ක්‍රීඩාවකි.

කෙසේ වෙතත් තුරඟ තරග හා බැඳුණු අතීතය පිළිබඳව කතා කිරීමේදී අපේ මතකයට නිතැතින්ම එන්නේ හතළිහේ දශකයේදී මෙරට හෙල්ලූ හාරලක්‍ෂයේ මංකොල්ලය හා මිනීමැරුම් සිද්ධියයි.

වර්තමානයේ නම් රුපියල් හාරලක්‍ෂයක් යනු එතරම් මුදලක් නොවුවද එක්දහස් නමසිය හතළිස් ගණන්වල එය කෝටියකටත් වඩා වටිනා මුදල් ප්‍රමාණයක් යැයි පැරැන්නෝ පවසති.

එක්දහස් නවසිය හතළිස් ගණන්වල පැවැති තුරඟ තරග මෙහෙයවීම, ඔට්ටු ඇල්ලීම ආදී මුදල් පරිපාලන කටයුතු සිදුකැරුණේ ලංකා තුරඟ තරග සමාජය සහ සිලෝන් ටර්ෆ් ක්ලබ් නමැති ආයතනය විසිනි.

‘සිලෝන් ටර්ෆ් ක්ලබ්’ සෑම සති අන්තයකම තරග සංවිධානය කළේය; පැවැත්වූයේය. තුරඟ තරග සඳහා විශාල මුදල් තොගයක් එක්රැස් වූ අතර, එම මුදල් කොටුව චාර්ටඩ් බැංකුවේ තැන්පත් කරනු ලබන්නේ සඳුදා දිනවලය.

හැව්ලොක් පාරේ තුරඟ තරග පිටියේ සී. ටී. සී. කාර්යාලයේ සිට මුදල් ප්‍රවාහනය කෙරුණු අතර මෙම මුදල් චාර්ටඩ් බැංකුවට රැගෙන යෑම සඳහා වාහන පහසුකම් සපයනු ලැබූවේ කොළඹ ආම්ස්ට්‍රෝන් ගරාජයයි. ආම්ස්ට්‍රෝන් ගරාජය තමන් භාරගත් කොන්ත්‍රාත්තුව අකුරටම ඉටුකළ අතර, ඔවුන්ගේ සිරිත වූයේ සඳුදා බැංකුවට මුදල් ගෙනයන වාහන සෙනසුරාදා “ටර්ෆ් ක්ලබ්” එකට එවීමය.

රටම කතාකළ එකල මහා මංකොල්ලයක් ලෙස පොලිස් පොත්වල ලියැවුණු “හාරලක්ෂයේ මංකොල්ලය” සිදුවූයේ එක්දහස් නවසිය හතළිස් නවයේ ජනවාරි 31 දාය.

විත්තිකරුවෝ උසාවියට රැගෙන යමින්

සුපුරුදු පරිදි හතළිස් නමය වසරේ ජනවාරි විසිනව වනදාද තුරඟ තරග පිටියේ තරගයක් පැවැත්විණි. ඒ සඳහා බොහෝදෙනෙකු ඔට්ටු ද ඇල්ලූහ. එදින එකතු වූ මුදල් සී. ටී. සී. ආයතනයේ අයකැමි මුදල් ගැන්නේය. ඔවුහු ඒවා දාහේ මිටිවලට ගොනුකළහ.

එම මුදල් පසුව සේප්පුවේ තැන්පත් කළ අතර සුපුරුදු ලෙස සේප්පුවේ යතුරු හතර බෙදා ගත්තේය. මෙම යතුරු හතරෙන් දෙකක් තිබුණේ එවකට ආයතනයේ ලේකම් ලෙස කටයුතු කළ එන්. ජී. මොර්ලි මහතා අතය. අනෙක් යතුරු දෙක ප්‍රධාන මුදල් අයකැමි ඇස්. ආර්. පීරිස් මහතා ළඟ තිබුණි. (සේප්පුව විවෘත කිරීම සඳහා මෙම යතුරු හතරම තිබිය යුතුය.)

නියමිත දිනය උදාවිය. එනම් ජනවාරි තිස් එක්වෙනිදාය. ඔවුහු මුදල් රැගෙන බැංකුවට යාම සඳහා සූදානම් වූ අතර ආරක්‍ෂාව ලබාදීමට පැමිණෙන ලෙස කොටුව පොලිසියට ද දුරකථනයෙන් දන්වා සිටියේය. ඔවුහු චෙක්පත් වෙනම ද එකතු වූ මාරුකාසි කැන්වස් බෑග්වල ද ඇසුරූහ.

බැංකුවට යන ගමන සඳහා ආම්ස්ට්‍රෝන් ගරාජයෙන් එවා තිබුණේ හත්දෙනකුට පමණ යා හැකි අංක 6033 දරණ චවලට් මෝටර් රථයයි. ආම්ස්ට්‍රොන් ගරාජයෙන් සී. ටී. සී. ආයතනය සඳහා රථ තුනක් වෙන්කර තිබු අතර, බොහෝ විට මෙම රථය රැගෙන ආවේ ජෝන් සිල්වා නමැති රියදුරෙකි.

මුදල් තැන්පත් කළ සූට්කේසය, කාසි සහිත කැන්වස් බෑග් වාහනයට පටවාගත් අතර, උදෑසන අටයි තිහට පමණ කොටුව චාර්ටඩ් බැංකුවට යාමට ගමන් ඇරඹුවේය. මෙම ගමනට පොලිස් නිලධාරියෙකු ද පැමිණ සිටියේය. දස වසරක පමණ මෙම ගමන පිළිබඳව අත්දැකීම් ඇති ගිල්බට් ඩයස් නම් රියැදුරා එදින ගමනට පැමිණ සිටි අතර එදින ජෝන් ට අසනීප නිසා පැමිණීමට නොහැකි වූ බව දන්වා සිටියේය.

ටර්ෆ් ක්ලබ් හි පීරිස් මහතා රථයේ පිටුපස අසුන් ගත් අතර ඩී. බී. පෙරේරා හා ඇල්බට් සිල්වා යන ක්‍රීඩා සමාජයේ අනෙක් සේවකයන් දෙදෙනාද රථයේ අසුන් ගත්හ. මුදල් දැමූ යකඩ පෙට්ටිය මත ඇල්බට් සිල්වා වාඩිවිය. ගමන ආරම්භ විය. පීරිස් මහතා රියදුරාට උපදෙස් දුන්නේ කුරුඳුවත්ත පොලිසිය අසලින් නගර ශාලා පාරේ රථය ගමන් කරවන ලෙසය. නමුත් පොලිස් නිලධාරියා දන්වා සිටියේ රීඩ් පටුමග ඔස්සේ තර්ස්ටන් පාර දෙසට යන ලෙසය.

මංකොල්ලයට යොදාගත් z-6033 චවලට් රථය

ගිල්බට් ක්‍රෙසන්ට් හන්දියේ දී රථයේ වේගය අඩු කළ රියදුරු රථය නතර කළේය. පොලිස් නිලධාරියා පීරිස් මහතාට පිස්තෝලය එල්ල කර රථයෙන් බහින ලෙස අණ කළේය. එහෙත් පීරිස් මහතා රථයෙන් බසින්නට අදිමදි කළේය.

ඔහු මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා එකිනෙකා හා පොර බැදුවේය. පොලිස් නිලධාරියා පීරිස් මහතාට වෙඩි තැබූ අතර එයින් ඔහුගේ මුහුණ තුවාල වූයේය. වෙඩි වැදුණ ද මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා පීරිස් මහතා රථයේම එල්ලී සිටියත් චවලට් රථය ගමන් ඇරැඹීමෙන් පසුව ඔහුව මහජන පුස්තකාලය හරියේදී විසි වී ගොස් රථයෙන් බිමට වැටිණි. ඒ වනවිටත් මංකොල්ලකරුවෝ රථයේ ඉදිරිපසට ගොඩ වී සිටියහ.

මංකොල්ලකරුවන්ගේ පහරදීම නිසා එඩින්බරෝ ක්‍රෙෂන්හි ආහාර පාලක කාර්යාලය ආසන්නයේදී ඩී. බී. පෙරේරාව තල්ලු කර දමන ලදී. ඇල්බට් සිල්වා මංකොල්ලකරුවන් ඇතුල්වන විටම පලා ගොස් සිටි අතර කොළඹ මහ රෝහල ආසන්නයේදී ස්ටැන්ඩර් වර්ගයේ CE 757 අංක වර්ගයේ දරණ රථයකට මුදල් පටවාගත් කොල්ලකරුවෝ චවලට් රථය නොරිස් පටුමගේ අතහැර දමා යන්නට ගියහ.

එවකට ලංකා ඉතිහාසයේ විශාල මුදල් තොගයක් මංකොල්ල කෑ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර පොලිසිය සිද්ධිය පසුපස හඹා යන්නට වූයේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගෙන් යුතු කණ්ඩායම් මගින් පරීක්ෂණ ඇරැඹු අතර පොලිසිය මෙම සිද්ධිය පිළිබඳව කඩිනමින් පරීක්ෂණ ඇරඹුවේය. ඉතාම සුක්ෂම ලෙස මංකොල්ලය සිදුකළ බවට එහිදී පොලිසියට තොරතුරු ලැබිණි.

එම තොරතුරුවලට අනුව පොලිසිය මූලිකවම කළ කටයුත්ත වූයේ ආම්ස්ට්‍රෝන් ගරාජයෙන් Z  6033 රථය වෙන්කරවා ගත් පුද්ගලයා සොයා ගැනීමයි. ඒ අනුව ජනවාරි 30 දා රූපානන්ද ද සිල්වා නම් අයෙකු පුත්තලමට යාම සඳහා මෙම රථය වෙන්කරවා ගෙන තිබුණි. රූපානන්ද පිළිබඳව තොරතුරු සොයා ගැනීමත් සමඟම මේ මහා මංකොල්ලය පිළිබඳව සුලමුල හෙළිවන්නට වූයේය.

සිලෝන් ටර්ෆ් ක්ලබ් හි නිලධාරින් තුරඟ තරග පිළිබඳ ජනවාරි 29 දා සැලසුම් කරන අතරතුරේ දී මංකොල්ලයේ මහා මොළකාරයා වූ ජේම්ස් සෙනෙවිරත්න මංකොල්ලය පිළිබඳව සැලසුම් කළේය.

ඔහුගේ සැලසුමට අනුව තිස් වැනිදා පුත්තලමට යාමේ කාර්යය සඳහා ආම්ස්ට්‍රොන් ගරාජයෙන් රථය වෙන්කර ගැනීම පැවරුණේ රූපානන්දටය. ඒ සඳහා රුපියල් 269.50 මුදලක් අත්තිකාරම් වශයෙන් ගෙවා රථය වෙන්කරවා ගැනිණි. ජේම්ස් සෙනෙවිරත්නගේ උපදෙස් අනුව ජනවාරි 30 දා සවස 2 ට පුත්තලමට යාමට යොදා ගන්නා ලදී.

ජේම්ස් සෙනෙවිරත්න විසින් තවත් රථයක් කුලියට ගෙන තිබුණි. එය ස්ටැන්ඩඩ් 10 වර්ගයේ CE 745 අංක සහිත රථයකි. මෙම ගමන සඳහා විජේදාස, මුණසිංහ සෙනෙවිරත්න සහ පේ‍්‍රමලාල් යන අය එක්කරගෙන තිබුණි.

ජනවාරි 30 දා කොළඹ ආම්ස්ට්‍රොන් ගරාජයට ගිය රූපානන්ද අංක Z 6033 දරණ චවලට් රථයෙන් පුත්තලම් ගමන ඇරැඹියේය. මෙම රථයේ රියදුරු වශයෙන් සිටියේ වසර දහයක් පමණ ආම්ස්ට්‍රොන් ගරාජයේ සේවය කරන ජෝන් සිල්වා නොහොත් ‘පොළඟා’ නමැති අයෙකි.

රථය ගමන් ඇරඹීය. කැලණි පාලම අසල සිටි අයෙක් ද රථයට නංවා ගනු ලැබීය. ඒ වනවිට රූපානන්ද හා මුණසිංහ රථයේ සිටියහ. කැලණියෙන් වාහනයට ගොඩවූයේ විජේදාසය. සවස පහ පමණ වනවිට පුත්තලමට ඔවුුහු ළඟා වූහ. රූපානන්දගේ යෝජනාවකට අනුව පුත්තලමේ නගර මධ්‍යයේ ඇති වික්ටර් හෝටලයේ දී ආහාර ගත්හ. ආහාර ගැනීමට අවශ්‍යතාවක් නොවූවද තම රථය පසුපසින් පැමිණි ස්ටැන්ඩර්ට් රථය ඔවුන් පසුකර යන තුරු පමාවීම රූපානන්දගේ අදහස විය. එය ජේම්ස් ගේ උපදෙස් ක්‍රියාත්මක කිරීමකි.

ඥාතියකු තමන් හමුවීමට පැමිණෙන බව පවසා රථය පමාකර ගත් රූපානන්ද, ස්ටැන්ඩර්ඩ් රථය තම රථය පසු කළ පසු නැවත ගමන් ඇරඹුවේය. අනුරාධපුර පාරේ ඉදිරියට ගිය රථය 4/13 බෝක්කුව ළඟාවෙත්ම විජේදාස තමන්ට ශාරිරික අවශ්‍යතාවක් ඇතැයි කියා රථය නවත්වාගෙන කැලයට ගියේය. ජෝන් සිල්වා මදකට පසු රථයෙන් බිමට බැස්සේ අතේ පයේ හිරි අරවා ගැනීමටය.

ජනාකීර්ණ බවක් නැති මාර්ගයේ පරිසරයේ නිසල බව බිඳදමමින් ‘එකෙක්වත් හෙල්ලෙන්න එපා, හෙල්ලුණොත් මරනවා’ යැයි තර්ජනය කරමින් කැලේ තුළ සිට පිස්තෝල ගත් මුහුණු ආවරණය කරගත් දෙදෙනකු වාහනය දෙසට දිව ආවෝය. මේ පැමිණෙන්නේ පේ‍්‍රමලාල් හා ජේමිස් බව දැන සිටි රූපානන්ද අත තිබූ මුදල් මංකොල්ලකරුවන්ට ලබා දුන්නේය. ජෝන් සිල්වා රැවටීමට ඔවුන් එසේ කළ අතර ජෝන් පළායාමට උත්සාහ කළේය. හැඩි දැඩි ජෝන් සිල්වා මංකොල්ලකරුවන් හා පොර බැදුවේය. නමුත් මොහොතකදී පේ‍්‍රමලාල් තම අත තිබූ කඹයෙන් ජෝන් සිල්වාගේ දෑත් පසුපසට තබා බැඳ දැමීය. මීටර් 200 ක් පමණ කැලෑව ඇතුළට ඔහුව ගෙන ගිය මංකොල්ලකරුවෝ පලු ගසකට තබා ජෝන් ව බැඳ දැමීය. පේ‍්‍රමලාල් තමා විසින් පැළඳගෙන තිබූ ගෑස් මුහුණ ගලවා ජෝන් සිල්වාට පළඳවා එය ටික වේලාවක් මිරිකාගෙන සිටියේය. විනාඩි කිහිපයකදී ජෝන් සිල්වාගේ හිස එක් පසෙකට කඩා වැටුණි. මියගිය ජෝන් සිල්වා කැලයේ අතහැර රථ දෙක පුත්තලම නගරයට පැමිණියේය.

ඔවුහු පසුදාට ඇති කාර්යය පිළිබඳව සැලැසුම් සකස් කළහ. සෙනෙවිරත්න විසින් පොලිස් නිල ඇඳුමක් ද සොයාගනු ලැබීය. පසුදා සිදුකළ ටර්ෆ් ක්ලබ් මංකොල්ලයේ මුදල් පෙට්ටිය සාන්චිආරච්චි වත්තේ් වේලුගේ නිවසේ සඟවා තැබූ අතර, පසුව පෙට්ටිය තබා එහි තිබූ මුදල් සෙනෙවිරත්න විසින් අලුත්කඩේ උසාවිය දෙසට ගෙන ගිය බවට පරීක්ෂණවලදී අනාවරණය වූයේය.

වැඩි දිනක් යාමට ප්‍රථම මෙම මංකොල්ලයේ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණේය.

එම කණ්ඩායමට ඩී. සී. දිසානායක, ඊ. ඩී. කැල්මේයර් සහ රොග්වුඩ් යන පොලිස් අධිකාරිවරු වූහ. සහකාර පොලිස් අධිකාරිවරුන් වූ බී. ඩබ්ලිව්. පෙරේරා, පර්සි සෙනෙවිරත්න, ජේ. ඩබ්ලිව්. ඇල්. ආටිගල, ලැම්බ්‍රෑගන් ලයනල් ගුණතිලක හා ගිටෝ යන මහත්වරු පරීක්ෂණ කටයුතු ආරම්භ කළහ.

මුදල් මංකොල්ලකෑම හා ජෝන් සිල්වා මරා දැමීම සම්බන්ධව හත් කල්ලියේ ගිල්බට් ඩයස්, මලිගස්පෙ කෝරාළගේ විල්සන්, සුරවීරගේ ලුවිස් ඩයස් හෙවත් මදාවියා, නානායක්කාර අටුලුගමගේ සයිමන්ද සිල්වා නොහොත් ආරච්චිලා, මාකවිටගේ විජේදාස පෙරේරා, මුණසිංහ අච්චි ලේකම්ළාගේ් වර්ලිස් මුණසිංහ හෙවත් වජිර මුණසිංහ, මනිකුමාර ආරච්චිගේ් දොන් ජේමිස් සෙනෙවිරත්න, රාජපක්ෂ ලියනගේ ජයනන්ද පේ‍්‍රමලාල් නොහොත් වෙද මහත්තයා යන අය විත්තිකරුවන් ලෙස නම්කරනු ලැබූහ.

ටර්ෆ් ක්ලබ් මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වූ ගිල්බට් ඩයස්ට සිටීසී ආයතනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණේය. එය එසේ වුණේ ඔහු වසර ගණනක්ම තුරඟ තරග සමාජය ඇතුලේ ආපන ශාලාවක් පවත්වාගෙන යාම නිසාය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු නඩුව පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී ද විභාගයට ගැනිණි. 1950 වසරේ ජනවාරි 24 දා අග්‍ර විනිශ්චයකාර සර් ආතර් විජේවර්ධන මහතා විසින් ජූරි සභාව ඉදිරියේදී නඩුව විභාගයට ගන්නා ලදී.

නඩු විභාගයේදී ජෝන් ද සිල්වා ගස් බැඳ මරා දමන ලද විල්පත්තුවේ පලු ගස ද නිරීක්ෂණය කරන ලදී. පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ කණ්ඩායම පෙනී සිටියහ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලයට නීතිපති සර් ඇලස් රෝස්, රාජ නීතිඥ ටී. ඇස්. ප්‍රනාන්දු, ඩග්ලස් ජෑන්ස්, ආනන්ද පෙරෙයිරා, ඒ. බී. පෙරේරා යන මහත්වරු ඇතුළත් වූහ. විත්තිය වෙනුවෙන් ජී. ඇෆ්. සේතුතාලවර්, ඒ. කේ. පේ‍්‍රමදාස, සිරි පෙරේරා, ආර්. සිවසිත්තම්පරම්, ජේ. වී. ඇම්. ප්‍රනාන්දු රාජ නීතිඥ සර් උක්වත්තේ ජයසුන්දර, කේ. ඩී. නඩරාජා, රාජ නීතිඥ ආර්. ඇල්. පෙරේරා යන මහත්වරු පෙනී සිටියහ.

නඩු විභාගයේ දී සියලු කරුණු සැලකිල්ලට ගෙන අවසානයේ දී විත්තිකරුවන් වැරැදිකරුවන් ලෙස තීන්දු කෙරුණු අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. ආර්. ඇෆ්. ඩයස්, ගුණසේකර, විනිසුරුවන් ඉදිරියේ නඩුව නීති තර්ක ඉදිරිපත් කරමින් දින ගණනක් විත්තිය වෙනුවෙන් නඩුව කතා කළ ද ඉන් පලක් නොවීය. විත්තිකරුවන්ගේ තීන්දුව වෙනස් කිරීමට ඉන් නුපුළුවන් විය. එක්දහස් නවසිය පනහේ ජූලි 26 දින අභියාචනය ප්‍රතික්ෂේප වූ අතර එම වසරේම විත්තිකාර විජේදාස අගෝස්තුª 29 දා ද, සෙනෙවිරත්න, අගෝස්තු 30 දා ද, මුණසිංහ යන අය අගෝස්තු 31 දා ද, පේ‍්‍රමලාල් සැප්තැම්බර් 1 දා යන දිනවල එල්ලා මරා දමන ලෙස තීන්දු වූහ. මංකොල්ලකරුවන්ව වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරා දමන ලදි.

එවකට ලංකාවම හෙල්ලූ හාර ලක්ෂෙ මංකොල්ලයේ වැරැදිකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය එලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ පොලිස් නිලධාරින් තුළ තිබූ කැපවීම හා කාර්යක්ෂමතාව නිසාය.