පාසානම් කෑමට කලවම් කර ඝාතනය කළ තිදරු මව

පාසානම් කෑමට කලවම් කර ඝාතනය කළ තිදරු මව

පද්මිණි කුලරත්න

ගාලු කොටු පවුර මත සයුර තලයට මුහුණලා මහත් අභිමානයෙන් නැගී සිටි “සමුද්‍රසිරි” දෙමහල් පියස ගාලු පුරවරයේ කීර්තිමත් පවුලකට සෙවණ සැදූවකි. ඉපැරැණි ලන්දේසි නිවෙස් කලාවට අනුව ඉදිවී තිබුණු මෙම මැදුරේ උරුමකරු වූයේ එවකට ගාලු පළාතේ නම් දැරූ සුප්‍රකට වෛද්‍යවරයකු වූ කුලරත්න මහතා ය.

ඔහුගෙන් පසුව ඔහුගේ පුතණුවන් වූ දොස්තර ඩේමන් ගාමිණී ද සිල්වා කුලරත්න මෙම මැදුරේ වාසය කළේ තම මව වූ ලෝරා කුලරත්න මහත්මිය ද සමඟය. වෘත්තියෙන් මෙන්ම සමාජ සේවයේ දී ද ඉතා ජනපි‍්‍රය වෛද්‍යවරයකු වූ ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට රෝගීහු වැල නොකැඩී එන්නට වූයෙන් ආදායම ද සරු තත්ත්වයක පැවැතිණි. එහෙත් එවකට ඔහු රජයේ වෛද්‍යවරයකු ලෙස අනුරාධපුර කැකිරාව රෝහලේ සේවය කරමින් සිටියේය.

දොස්තර කුලරත්න විවාහ වූයේ කලුතර පළාතේ ධනවත් පවුලක දියණියක් සමඟය. ඇය පද්මිණි සුසිලා පෙරේරා නම් වූවාය. කලුතර සී. ඊ. පෙරේරා පවුලේ බාලම දියණිය ලෙස උපත ලද ඇය විවාහයෙන් පසු කුලරත්න නාමය වාසගමට භාවිත කළේය. රූමත් උගත් තරුණියක් වූ ඇය කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන් ද, ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන් ද ඉංගශ්‍රීසි අධ්‍යාපනය හදාරා තිබිණි. මේ අනුව යෝජිත විවාහයක් මගින් 1947 සැප්තැම්බර් 28 වැනි දින දොස්තර කුලරත්නගේත් පද්මිණීගේත් විවාහය සිදුවිය.

එවකට ඇය 23 වැනි වියේ පසුවූවාය. ඔවුන්ගේ විවාහය ඉතා පී‍්‍රතියෙන් හා සාමයෙන් ගෙවී ගියේ සිය කුළුඳුල් කිරිකැටියකුට ද මෙලොව එළිය දෙමින් ය. දරුවා ඉපදී ඉතා කෙටි කලකින් සිය පශ්චාත් උපාධිය වෙනුවෙන් දොස්තර කුලරත්නට 1948 වසරේ දිනක අමෙරිකාව බලා පිටත්ව යාමට සිදුවිය. ඔහු ආපසු එනතුරු පද්මිණි දරුවා ද රැගෙන තම මාපියන් සෙවණට ගියේ වඩාත් ආරක්‍ෂාවටය.

පද්මිණිගේ සැමියා වූ
වෛද්‍ය කුලරත්න

වසර දෙකක ඇවෑමෙන් පසු සිය සැමියා ලංකාවට පැමිණි අතර යුග දිවියේ මිහිර විඳිමින් පද්මිණි දයාබර බිරිඳක ලෙස කල්ගත කළාය. මේ කාලය තුළ මෙම යුවළට දරු තිදෙනෙක් ද වූහ. මේ සුවිසල් නිවෙසේ කුලරත්න පවුලේ සාමාජිකයන් හැරුණු විට සොපියා හා සිසිලින් නම් මෙහෙකාරියන් දෙදෙනා ද, බණ්ඩා නම් තවත් මෙහෙකරුවකු ද සේවය කළාය. රොමියෙල් යනු දොස්තර කුලරත්නගේ රියැදුරු ය.

රොමියෙල් ඉතා සුහද, විශ්වාසවන්ත සේවකයකු වූ අතර සිය ස්වාමියාගේ ගමන් බිමන් මෙන්ම අතිශය පෞද්ගලික රහස් ද රැකගත්තේ පරිස්සමෙනි. මේ අතර දොස්තර කුලරත්න රජයේ සේවයෙන් ඉවත් වී තම නිවෙසට යාබදව පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කළේය. ටික කලක් ගතවන විට ඔහුට තනිවම එහි කටයුතු කරගෙන යාමට අසීරු විය. ඔහු කළේ පුවත්පතක දැන්වීමක් පළකිරීමය. එම පුවත්පතේ පළකළ දැන්වීමකට අනුව බෙහෙත් ශාලාවේ සේවයට පියකරු හැඩකාර “ආරියවතී” නම් තරුණියක් ඔහු විසින්ම තෝරාගන්නා ලදී. ආරියවතී දැන් දිනපතාම සේවයට පැමිණෙන අතර පද්මිණි එම තරුණිය තෝරාගැනීම පිළිබඳ එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.

කාලය මෙසේ ගෙවී යද්දී දොස්තර කුලරත්නත් ආරියවතීත් අතර ඉතා සමීප සබඳකමක් ගොඩනැගීමෙන් තිබිණි. “ආරියා” යනුවෙන් ඇයට ආමන්ත්‍රණය කිරීමට තරම් ඔහු ඇයට සමීපව සිටියේය. පද්මිණි දිනක් ඩිස්පැන්සරියට යද්දී ආරියවතීත් තම සැමියාත් ඉතා සමීපව ගැටෙමින් කටයුතු කරන අයුරු ඇයට පෙනිණි. තවත් දවසක දුටු දසුනින් කෝපයට පත් ඇය ආරියවතීට බැන වදින්නට තරම් නොඉවසිලිමත් වූවාය.

එහෙත් කිසිවකුත් ඇයගේ පැත්ත නොගත්තාය. තම නැන්දනිය වූ ලෝරා ද “ආරියවතී” ට වැඩි කැමැත්තක් දැක්වූයේ ඇයගේ කෝපය වඩාත් දැඩි කරවමිනි. පද්මිණිගේත් කුලරත්නගේත් යුග දිවියේ අතොරක් නැති හැලහැප්පීම් නිසාම එයට කණකොකා හැඬීමට වැඩි දවසක් ගතවූයේ නැත. මේ නිසා පද්මිණී හැඬූ කඳුළින් ගත කළ අවස්ථා බොහෝ ය.

දොස්තර කුලරත්න උසාවියට රැගෙන ගිය මොහොතක්. .

ඇය හැඬූ කඳුළින් ගත කළ ද ආරියවතීත් තම සැමියාත් ඩිස්පෙන්සරිය තුළ ඇතැම් විට විහිළු තහළු කරමින් කොක්හඬ දී සිනාසෙද්දී ඇය වේදනාවෙන් සුසුම් හෙළුවාය. තම ස්වාමියාත් ස්වාමි දියණියත් අතර ඇතිවූ ගැටුම් නිවෙසේ රියැදුරු වූ රොමියෙල්ගේ සිතට මහත් වේදනාවක් විය. ඔහු දිනක් ආරියවතීට බැන වැදුණේය.

”උඹ මෙහෙන් පලයන්. මේ පවුල කඩා ඉහිරවන්නෙ නැතිව“ යනුවෙනි. එහෙත් එහි ප්‍රතිඵලය වූයේ රොමියෙල්ට රැකියාව අහිමි වීමය.

මේ වන විට “සමුද්‍රසිරි” යෙන් දිනපතාම වාගේ ඇසුණේ රණ්ඩු සරුවල් හා බැන අඬගහගැනුම් ය. පද්මිණි මහ හඬින් හඬා වැළපුණු අවස්ථා බොහෝය. ඇය සිය සොහොයුරිය වූ “ලලනි” පැමිණි හැම විටම තම දුක් ගැනවිලි ඉදිරිපත් කළාය. ඇය මානසික රෝගයකින් පෙළෙන බව පවසමින් ඇය “අංගොඩ” යැවීමට ද කුලරත්න වරක් උත්සාහ කළේය.

ඇගේ සොයුරිය කළේ ඇය රැගෙන පෞද්ගලික සාත්තු නිවාසයකට පැමිණ වෛද්‍යවරයකුට පෙන්වීමය. එහෙත් ඇයට එවැනි මානසික රෝගයක් නොමැති බව ද සිත් බිඳීම නිසා ඇතිවූ මානසික කම්පනයකින් ඇය පෙළෙන බව පමණක් වෛද්‍යවරයා කියා සිටියේය. යළිත් ඇය “සමුද්‍රසිරි” යට පැමිණියාය.

තවත් දිනක ඇතිවූ අඩදබරයකින් පසු දොස්තර කුලරත්න කළේ අශ්වයින්ට තැලීමට ගන්නා කසයකින් පද්මිණිට තැලීමය. වේදනාවෙන් මොර දුන් පද්මිණිව බේරාගන්නට පැමිණියේ දරුවන් ය. ඉන් අනතුරුව ඔහු කළේ ඉහළ මාලයේ කෙළවරේම කාමරයක දමා ඇයව සිරිගත කිරීමය. ඉන්පසුව ඇය ජීවත්වූයේ උඩුමහලේ සිරකළ කාමරය තුළය. පුතාගෙන් තම ලේලියට සිදුවන හිරිහැර අඩන්තේට්ටම්වලට “ලෝරා” විසින් ද අනුබල දුන්නාය. ඇයගෙන් ද ලේලියට ලැබුණේ් දරුණු ඇණුම් බැනුම් ය.

මෙම නිවෙසේ ඉවුම් පිහුම් කටයුතු කෙරුණේ මුළුතැන්ගෙවල් දෙකකය. කුලරත්නටත් ලෝරාටත් ඉවුම් පිහුම් කළේ “සොපියා” නම් මෙහෙකාරියය. පද්මිණිටත් දරුවන්ටත් ඉවුම් පිහුම් කළේ “සිසිලින්” නම් මෙහෙකාරියයි. පද්මිණි උඩුමහලේ සිරකළ පසු කෑම බීම ඇයට දුන්නේ වේවැල් කූඩයක තුළ දමා ලණුවක ගැටගසාය. ඇයට පහළට බසින්නට ඉඩක් නොවීය. තම බාල දියණිය නිරතුරුවම පද්මිණි ගැන සෙවිල්ලෙන් සිටියාය. කෙසේ වුවද පද්මිණිට දුන් ආහාර පාලනය කිරීමට පවා දොස්තර කුලරත්න ඇතැම් විට උත්සාහ කර තිබිණි.

දිනක් අසු පිටින් වැටීම නිසා පාදයක් බිඳී ගිය කුලරත්න බොහෝ දිනක් රෝහල් ගතව සිටි බව ද පැවැසේ. ඔහු නිවෙසට පැමිණ කිහිලිකරුවලින් එහෙ මෙහෙ යන විට පද්මිණි උඩුමහලේ සිට ඔහුට බැන වැදුණු අතර ඔහු ද ඇයට පෙරළා බැන වැදුණේය.

ලෝරා කුලරත්න සැකකාරිය ලෙසින්. . .

පුපුරා ගිය යුග දිවිය යළි හා කළ නොහැකි ලෙස වෙන් වී ගොස් තිබිණි. රු. 50,000/- මුදලක් දී ඇයගෙන් දික්කසාද වීමට දොස්තර කුලරත්න තීරණය කළේය. එහෙත් මේ කිසිවකට ඇය අවනත වූයේ නැත. ඇය ද නීතිඥවරයකුගේ සහාය පැතුවාය. සිය නැන්දනිය වූ ලෝරා හා පද්මිණි අතර ද තදබල ලෙස ගැටුම් ඇති වූ අවස්ථා ද බොහෝ ය. එවන් විටෙක ලෝරා තම හිතවතියක හා කියා සිටියේ

“ඕකි... ඕකිව මම ඉතුරු කරන්නෙ නැහැ. මම දෙන්නම් ඕකිට” යනුවෙනි.

පසු කලෙක මෙය උසාවියේදී ද අවධානයට යොමු කෙරිණි.

දිනය 1967 අප්‍රේල් 9 වැනිදාය.

සුපුරුදු පරිදි වේවැල් කූඩයේ බහා උඩුමහලට යැවූ ආහාර ගැනීමෙන් මඳකට පසු පද්මිණි ක්ලාන්ත වූවාය. ඇයට අධික බඩේ වේදනාවක් වූ අතර නොනවත්වා වැසිකිළි යාමට පටන් ගැනීම නිසා අප්‍රාණිකව ඇඳ මත පෙරළුණාය. සිය සොයුරියට දුරකථන පණිවුඩයක් යැවූ ඇය,

“මට හරි අමාරුයි. මාව රෝහලකට අරන් ගියොත් බේරගන්න පුළුවන් වෙයි” යනුවෙන් පවසා සිටියාය.

මේ වන විට දොස්තර කුලරත්න සිටියේ ගාල්ලේ පන්සලක ධර්ම දේශනා පිංකමකට සහභාගි වෙමින් ය. ඔහුට ඒ බව දැනුම් දෙන විට පවා ඔහු ඒ ගැන එතරම් තැකීමක් කළේ නැත. කලබලයට පවා පත්වූයේ ද නැත. තම දියණිය පමණක් මව ළඟ සිටි අතර ඇයට කිසිවක් පිළිබඳ වැටහීමක් තිබුණේ් නැත.

“සමුද්‍රසිරියට” පොලිසිය පැමිණෙන විටත් පද්මිණිගේ සිරුර ඇගේ ඇඳ මත එපරිද්දෙන්ම තිබිණ. ඉතා ඉක්මනින්ම ඇය මරු තුරුළට ගියේ ආහාර ගෙන පැය කිහිපයක් ගතව යාමට ද කලියෙන් ය. එවකට ගාල්ල පොලිසියේ පොලිස් පරීක්‍ෂක ඒ. පඬිවිට මහතා විසින් වහාම “සමුද්‍රසිරියට” පැමිණ පද්මිණිගේ නිදන කාමරය පරීක්‍ෂාවට ලක්කළේය.

ඒ අනුව ඇය වමනය කළ භාජනයක තිබූ වමනය කොටස් හා ආහාර ගත් පිඟාන ආදිය පරීක්‍ෂාවට භාජනය කළ පසු ඇය භාවිත කළ වැසිකිළිය ද පරීක්‍ෂා කළ ද එය සෝදා හැර තිබිණි. පශ්චාත් මරණ පරීක්‍ෂණය එවකට ලංකා විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්ය එච්. වී. ජේ. ප්‍රනාන්දු මහතා විසින් සිදුකරන ලදී. හුස්ම හිරවීම හා ආමාශය දැඩි ලෙස හානියට පත්ව තිබීම නිසා මරණය සිදුව ඇති බව හෙළිවිය.

”පාසානම්” නමැති වස වර්ගය ඇයගේ උදරය තුළ තිබෙන බව හඳුනා ගැනීමෙන් පසු පරීක්‍ෂණ ආරම්භ කෙරිණි. දොස්තර කුලරත්නගේ බෙහෙත් ශාලාව පරීක්‍ෂා කිරීමේදී ඊට සමාන ද්‍රව්‍ය අඩංගු බෝතල් දෙකක් පොලිසිය විසින් සොයාගන්නා ලදී. පරීක්‍ෂණවලට අනුව පොටෑසියම් ආසනික් මි. ග්‍රෑම්. 730 ක් මියගිය පද්මිණිගේ ආමාශය තුළ විය. ඇගේ ආහාර බඳුනේ වූ “බිලිං අච්චාරු” සමඟ මුසු වී තිබුණු “වස” කෑමට සැලැස්සීමෙන් ඇගේ මරණය සිදුකළේය යන සැකය මත දොස්තර කුලරත්නත් මව වූ “ලෝරා” ත් මෙහෙකාරියන් වූ සොපියාත්, සිසිලියාත් අත්අඩංගුවට ගැනීමට නියම කෙරිණි.

පද්මිණි කුලරත්න විසූ නිවස ‘සමුද්‍රසිරි’

1967 – 04 – 29 වැනි දින ගාල්ල මහේස්ත්‍රාත් උසාවියේදී පැවැති මූලික නඩු විභාගයේදී මෙම චෝදනා ඉදිරිපත් විය. එහිදී අධිනීතිඥ කෙනත් සෙනෙවිරත්න මහතාගේ සහාය මත අධිනීතිඥ ඩී. ද සොයිසා මහතා රජයේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ. විත්තිකරු වෙනුවෙන් අධිනීතිඥ ජී. ජී. පොන්නම්බලම් මහතා පෙනී සිටියේය. සිසිලියාට විරුද්ධව චෝදනා නොමැති වූයෙන් පළමු වටයේදීම ඇය නිදොස් කොට නිදහස් වුව ද “සොපියා” ට එරෙහිව මිනීමැරුම් චෝදනා එල්ල විය. තවදුරටත් පද්මිණිගේ මරණය සිදුකිරීම හා ඒ සඳහා තම මවට හා සොපියාට අනුබල දීම දොස්තර කුලරත්නට එල්ල වූ චෝදනාව විය.

වැඩිදුර නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු විය. එය 1968 ජූලි 10 දින කොළඹ දී පැවැත්වූ අතර ඉංගශ්‍රීසි කතා කරන ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග විය. එහිදී දොස්තර කුලරත්න වෙනුවෙන් නීතිඥ සුනිල් රොඩ්රිගෝ, එම්. ෂන්මුගනාදන්, ටී. ඩී. බණ්ඩාරනායක යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ. “ලෝරා” වෙනුවෙන් කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු නීතිඥවරු පිරිසක් ද, සොපියා වෙනුවෙන් ආර්. අයි. ඔබේසේකර, ටිරෝන් ප්‍රනාන්දු, රාජා ගුණරත්න යන මහත්වරු ද පෙනී සිටියහ. ජූරියේ ඒකමතික තීරණය මත විත්තිකරුවන් තිදෙනාටම මරණ දඬුවම නියම විය. 1968 සැප්තැම්බර් 30 දින මරණ දඬුවමට එරෙහිව ඔවුහු අභියාචනාවක් ඉදිරිපත් කළහ. එහිදී විත්තිකරුවන් තිදෙනාටම නිදහස ලැබිණි.

1967 වසරේ මුළු මහත් ලංකාවේම ආන්දෝලනයට තුඩු දුන් “ගාල්ලේ පද්මිණි කුලරත්න මිනීමැරුම” එවකට මුළු රටේම අවධානය යොමු වූ අපරාධ නඩුවකි.

තම පිය උරුමයෙන් රු. 25,000/- මුදලකුත්, කලුතරින් නිවෙස් 2 ක් ද, ඇහැලියගොඩින් රබර් අක්කර 50 ත්, ඇඹිලිපිටියෙන් මැණික් ඉඩම් ද වශයෙන් දායාදය රැගෙන පතිකුලයට පැමිණි සුන්දර යුවතිය අකාලයේ මරු වසඟයට ගියේ දහසකුත් පැතුම් පොදි බැඳගෙනය.

එහෙත් දොස්තර කුලරත්න පසුව තම බෙහෙත්ශාලාව එලෙසම පවත්වාගෙන ගිය අතර දෙවැනි වරට ද විවාහ විය. 80 හැවිරිදි “ලෝරා” පිළිකාවකින් මරු තුරුළට ගියේය. පසු කලෙක මෙම කතා පුවත ඇසුරින් ටෙලිනාට්‍යයක් ද නිර්මාණය විය. අද “සමුද්‍රසිරි” නිවෙස බිම්මහල සංචාරක හෝටලයකි. උඩුමහල කම්කරු දෙපාර්තමේන්තුව සතු කාර්යාලයක් පවත්වාගෙන යන තැනකි.