මගේ පුතාට වචනයක් කතා කරන්න දෙන්න

කලුතර සදීප ලක්ෂාන් පුංචි පුතාගේ ඝාතනය

මගේ පුතාට වචනයක් කතා කරන්න දෙන්න

දීප පියකරු චූටි පුතා කුරුළු පිහාටු සොයා පියවර මැන්නේය. මේ කුරුළු පිහාටු පිටු පසින් මාරයා සැඟව සිටි බව මේ පැටියා නොදැන සිටියේ කවර නම් අවාසනාවකට ද? අලුත්ගම පදිංචි මුතුමුනි ජයන්ත ද සිල්වා නමැති ව්‍යාපාරිකයාගේ බාලම පුතු සදීප ලක්ෂාන්ට මාරයා සමඟ අත්වැල් බැඳ යාමට සිදු වූයේ පියාගේ ධනය නිසා ද?

වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකුට සහ සහෝදරියකට මැදිව හුරතලේට වැඩුණු අට හැවිරිදි සදීප කලුතර විදුහලක තුන්වැනි වසරේ ඉගෙනුම ලැබුවේ ය. පාසල නිම වී වෑන් රථයකින් පැමිණෙන සදීප ගාලු පාරේ 3 වැනි පටුමග අද්දරින් බැස මීටර් 25 – 30 ක් දුරින් පිහිටි නිවසට පයින් ඇවිදගෙන ගියේ ය. මග කෙටි වුවත් පාරේ ගල්වලට පයින් ගසමින් එන මේ පැටියා ළඟට ‘අයියා’ කෙනෙක් කිට්ටු වුණේ ය.

‘මල්ලි ඔයාට කුරුළු පිහාටු ඕනෑ ද?’

ආගන්තුකයා දෙස සදීප බැලුවේ ටිකක් බියෙනි. සිනහමුසු මුහුණ. සදීපට අයියල අරුමයක් නොවෙයි. තමන්ගේ අයියල වගේ ම මේ අයියත් හොඳ වෙන්නැති කියලා සදීපට සිතුණි.

සදීප පුංචි පුතු

‘ඔයාට පිහාටු ඕන්නම් ගෙදර ගිහිල්ලා බත් කාලා ඉක්මනට ම එන්න’

සදීප ගෙදරට ඉඟිලුණේ පිහාටු ලැබුණා මෙනි. සදීප බත් පිඟාන කටට දෙකට කෑවේය. එදා අම්මා ගෙදර හිටියේ නැති නිසා ඒ වෙනුවට සදීප බලාගන්න හිටියේ මාමා ය. කොළඹ පාසලකට යන අයියල දෙන්නයි අක්කයි ඒ වෙනකොට ගෙදර ඇවිත් සිටියේ ද නැත.

සදීපගේ පියා ව්‍යාපාර කිහිපයක ම හිමිකරුවෙකි. හෝටලයක්, ආපන ශාලාවක්, සේවකයෝ අසූවක් විතර ඔහු යටතේ සේවය කළේය. ඒ 1999 ඔක්තෝම්බර් 08 දා සවස ජයන්ත ද සිල්වා මහතාට දුරකථන ඇමැතුමක් ලැබුණි.

“පුතා අපි ළඟ ඉන්නවා. ආපහු ඕනනම් රුපියල් ලක්ෂ 25ක් ඕනෑ. පොලිසියට කිව්වොත් බලාගෙනයි. සල්ලි නොලැබුණොත් ළමයා මරනවා.’

ජයන්තගේ අතින් දුරකථනය ගිලිහුණි. මුළු ඇඟම දාඩියෙන් තෙත්වුණි.

‘අනේ මගේ පුතා’

එදා සිට දින 3ක් යනතුරු ජයන්තට දුරකථන ඇමැතුම් දහයක් දොළහක් ම ලැබුණේ ය. ඔහුගේ කාර්යාලයට වගේ ම ජංගම දුරකථනයටත් ඇමැතුම් නොකඩවා පැමිණියේ ය. සල්ලි නොදුන්නොත් මුළු පවුලම මරණ බවට තර්ජන ද ඒ අතර තිබුණි.

‘ලක්ෂ 17ක් තියෙනවා. ඉතිරිවට මගේ නෝනගේ රත්තරන් බඩු දෙන්නම්’ ජයන්ත කිව්වේය.

‘මම කියපු ගාණට වඩා සතයක්වත් අඩු වෙන්නත් බැහැ. ඊට වඩා සතයක්වත් ඕනේත් නැහැ’ කප්පම් ඉල්ලන තැනැත්තාගේ පිළිතුªර විය.

‘අනේ මගේ පුතාට වචනයක් කතා කරන්න දෙන්න.’

පුතා නැතිවුණු දවසේ ඉඳල මං කෑවෙත් නැහැ’ පියෙකුගේ දරු ස්නේහය මේ අපරාධකරුවාට වැටහෙයි ද? ඔහුගේ ඉල්ලීම ඉටු නොවිණි.

සල්ලි තැබූ දුරකථන කුටිය

පුතාගේ ජීවිතයට අනතුරක් වේ යැයි සිතු සිල්වා යුවළ සදීප පැහැර ගැනීම පිළිබඳව පොලිසියට පැමිණිලි කළේ නැත. නමුත් ජයන්තගේ සොහොයුරු ජගත් කලුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලයනල් කල්දේරා මහතා මුණ ගැසුණේය.

කල්දේරා මහතා තීක්ෂණ ලෙස පොලිස් මෙහෙයුම දියත් කළේය. ඒ ඉතාම රහසිගතවය. කලුතර සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් සමඟ අලුත්ගම, බේරුවල, මතුගම සහ මීගහතැන්න පොලිස් ස්ථානවල නිලධාරින් කණ්ඩායමක් යොදා ගත්තේ ය.

සදීපගේ මාමා ජගත්ට ද රාජකාරියක් පැවැරිණි. ඒ සදීපගේ පියාගේ දුරකථනයට පටිගත කිරීමේ යන්ත්‍රයක් සවි කිරීමයි. පොලිස් නිලධාරියෙක් ජයන්තගේ ආපන ශාලාවේ ලැඟුම් ගත්තේය. කප්පම්කරුගෙන් ජයන්තට දුරකථන ඇමැතුම් ආ විට ජගත් ඒ බව එම නිලධාරියාට දැන්වීය.

කප්පම්කරුට දෙන මුදල් නෝට්ටුවල නොම්මර ලියා ගන්නා ලෙසත් ජගත්ට පොලිස් විමර්ශන කණ්ඩායමෙන් උපදෙස් ලැබුණි. පොලිසිය කප්පම්කරු ඇල්ලීමට දරන මෙම ප්‍රයත්නය ගැන කිසිවක් ජයන්ත මහතා දැන සිටියේ නැත.

යාළුවන්ගෙන් ද ඉල්ලා ගෙන එකතු කර ගත් මුදල් පිළිබඳ ලියූ සටහනක් ද සමඟින් ජයන්ත මුදල් මිටිය ඔතා ගත්තේය.

ලංකා රුපියල් ලක්ෂ 16ක්, අමෙරිකානු ඩොලර් 594ක්, ස්ටර්ලින් පවුම් 94ක්, ඉන්දියානු රුපියල් 810ක්, සිංගප්පූරු ඩොලර් 25ක්, ස්විස් ප්‍රෑන්ක් 60ක් සහ මාර්ක් 20ක් වූ එම මුදල් මිටියේ රුපියල් 24,84,000ක් වටිනා මුදල් විය. ඔහු කොළයක ලිව්වේ එම මුදල් පිළිබඳ විස්තරයයි. මුදල් කොළයක ඔතා නැවත බ්‍රවුන් පේපර් එකක ද ඔතා ෂොපින් කවරයක මුළු මුදලම බහාලුයේ ය.

කප්පම්කරු පවසා තිබුණේ කොස්ගොඩ හන්දියේ දුරකථන කුටියක් තුළ මුදල් තබන ලෙසයි. ඔක්තෝම්බර් 11 දා රාත්‍රියේ ජයන්ත කප්පම්කරු කී අයුරින් මුදල් තැබූ අතර පුතා ගැනීමට ආපසු අලුත්ගම 3 වැනි පටුමග අසලට එන ලෙස උපදෙස් ලැබුණි.

එතැන වාහනය නවතාගෙන විනාඩි 15ක් පමණ සිටි ජයන්තට දැනුණේ පැය ගණනක් සිටි බවයි. පුතා රැගෙන කිසිවෙක් නොපැමිණි හෙයින් ජයන්ත ඔහුගේ කඩේට කතා කළේ ය. දුරකථනයට පිළිතුරු දුන් සේවකයෙක් පැවැසුවේ පොලිසිය කප්පම්කරු අත්අඩංගුවට ගෙන ඇති බවත් නිවසට අමතන ලෙසත් ය. සැලෙන හදවතින් ද වෙව්ලන දෑඟිලිවලින් ද නිවසට දුරකථන ඇමැතුමක් ගත් ජයන්තට ඔහුගේ ලොකු පුතා පැවැසුවේ වහාම නිවසට එන ලෙසයි.

ජයන්ත නිවසට ඉගිළුණේය.

අත්අඩංගුවට ගත් කප්පම් මුදල ගණන් කරන පොලිස් නිලධාරින්

‘ෂුවර් එකට ම චූටි පුතා ගෙදරට ඇවිත් ඇති.’

‘ජයන්තගේ හිතට දැනුණේ මහත් සැනසිල්ලකි. වාහනය ගෙමිදුලට හරවන විට ම ජයන්ත දුටුවේ මිදුල පුරා නවතා ඇති වාහනයි.

ඒත් ඔහු දැනගත් දෙය තාත්තා කෙනෙකුට ඉවසිය හැකි දෙයක් නොවීය. කප්පම්කරු ඒ වන විටත් සදීප ලක්ෂාන් මරා දමා තිබිණි.

සැලසුම් කරගත් පරිදි කප්පම් මුදල් රැගෙන පලායමින් සිටි අපරාධකරුවන් පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගැණිනි.

අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති ලලිත් රොහාන් ගමගේ මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගැණුනු කප්පම් කල්ලියේ පස් දෙනෙක් වූහ. ඔවුන් පැමිණි මෝටර් බයිසිකලයක් කාර් එකක් සහ කප්පම් මුදල් ද අත්අඩංගුවට ගැණිනි. සදීපගේ පියාට දුරකථන ඇමැතුම් ලබා ගැනීමට යොදා ගත් දුරකථන කාඩ්පතක ද සොයා ගැනිණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සියල්ලම වයස අවු. 20 ට අඩු තරුණයින් වූහ.

අමිල වයස අවු. 17ක් වූ තරුණයෙකි. ඔහුට පියා අහිමි වූයේ වයස අවු. 10 දීය. මව නැවත විවාහ වී වෙන් වී ගිය අතර අමිල ආච්චි සහ සීයා සමඟ හැදී වැඩුණේ ය.

මේ අතර අමිලට පෙම්වතියක් මුණ ගැසිණි. පිළිවෙලක් වෙන්න සිතා මුදල් ටිකක් හරි හම්බ කර ගැනීමට අමිල විදේශගත විය. නමුත් පෙම්වතිය සමඟ කතා නොකර එක දිනයක්වත් සිටීමට ඔහුට බැරිවිය.

ඔහු දිනපතා ම ඇයට දුරකථනයෙන් කථා කළේ ය. මාස දෙකහමාරක් ඇගෙන් ඈත්ව සිටි අමිල නැවතත් ඇය සොයා ලංකාවට පැමිණියේ ය. ආදායම් මාර්ගයක් නැති අමිලට දියණිය විවාහ කර දීමට පෙම්වතියගේ මව්පියෝ කැමැති නොවූහ. මේ කාලයේ දී මාධ්‍ය මඟින් ප්‍රචාරය වූ රුපියල් ලක්ෂ දෙසියේ කප්පම් සිද්ධිය දැනගත් අමිලටත් ඉක්මනින් පොහොසත්වීමට සිත් විය. මේ ගැන සිතමින් පාරේ යමින් සිටි අමිලගේ නෙත ගැටුණේ පාසල ඇරී නිවස බලා යමින් සිටි සදීපවය.

පිහාටු දෙන බව පවසා අමිල, සිය ආච්චිගේ නිවසට සදීප රැගෙන ගියේ ය. ළමයාට සිහි නැති කිරීමට සිතූ ඔහු ළමයාගේ නහයත්, කටත් අතින් වසා ගෙන සිටියේ ය. නහයත්, කටත් ආවරණය වූ විට හුස්ම ගැනීමට නොහැකිව මිය යන බව නොදැන සිටීමට තරම් අමිල මෝඩයෙක් ද? කෙසේ හෝ සදීප මිය ගියේ ය. සිරුර පොලිතින් උරයක දමා හොඳින් ගැට ගැසූ අමිල නිවසේ වැසිකිලිවළ තුළට දැම්මේය. ඔහු සදීපගේ පියාට කතා කළේ ඊටත් පසුවය.

සිය නිවසට නිවෙස් දෙකකට එහායින් වැසිකිළි වළක් තුළ සිය පුතු අවසන් නින්දේ පසුවන බව නොදත් ජයන්ත පුතු බේරා ගැනීම සඳහා සල්ලි සෙවීමට ඉමහත් වෙහෙසක් ගත්තේ ය. මිතුරන්ගෙන් ද මුදල් ඉල්ලා ගත්තේ ය.

මළසිරුර දමා තිබූ වැසිකිළිය හා අවට

අමිල සිය අභිමතාර්ථය ඉෂ්ට කර ගැනීම සඳහා සිය මිතුරන් දෙදෙනෙකුගේ සහය ලබා ගත්තත් ළමයා ගැනත්, මුදල් ගැනත් කිසිවක් ඔවුන්ට නොකීමට ඔහු වග බලා ගත්තේ ය.

මුදල් මිටිය ගත් අමිල එවේලේම මිතුරන්ට ‘පාටියක්’ දැම්මේ ය. ඔවුන් සියලු දෙනාම ගංජාවලට ඇබ්බැහි වූවෝ වෙති. පාටියට ගොස් ආපසු එනවිට පිරිස පොලිසියට කොටුවූහ. සදීපගේ පියා මුදල් පිළිබඳ විස්තර ලියා මුදල් මිටියට බහාලු කොළය එම අවස්ථාවේ අමිලගේ සාක්කුවේ විය. ඔහුගේ මගපෙන්වීම මත පොලිස් කණ්ඩායම සදීපගේ සිරුර ගොඩ ගත්තේ ය.

සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ කලුතර අධිකරණ වෛද්‍ය නිලධාරි පියසෝම මහතාගේ නිගමනය වූයේ අතකින් බෙල්ලට ඇති වූ බලයකින් සිදු වූ හුස්ම හිරවීමකින් දරුවාගේ මරණය සිදු වී ඇති බවයි.

එසේ ම අවසාන ආහාර වේල ගෙන පැය 3 – 3 1/2ක් අතර කාලයක් තුළ දී මරණය සිදු වී ඇතැයි දරුවාගේ ආමාශයේ තිබූ ද්‍රව්‍ය අනුව නිගමනයකට එලැඹුණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ දිනයේ දී සංඝරත්නය ප්‍රමුඛ ප්‍රදේශවාසීන් සදීපගේ පවුලේ අය සමඟ අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක් දැක්වූහ. සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වන නීතිඥවරුන්ට ඔවුන්ගේ විරෝධතාවය එල්ල විය. අමිලට සහය වූ මිතුරන් දෙදෙනාට නීතිපතිගේ විශේෂ සමාවක් ලබා දී රජයේ සාක්කිකරුවන් කිරීමට තීරණය වූ අතර අමිල කලුතර මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පාපොච්චාරණයක් සිදු කළේය. ඉතාමත් ආන්දෝලනයට ලක් වූ සදීප ලක්ෂාන් ඝාතනය පිළිබඳව නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් පත් විය.

කොළඹ මහාධිකරණ විනිසුරුවන් වන චන්ද්‍රදාස නානායක්කාර (සභාපති), ඇන්ඩෲ සෝමවංශ මහත්වරුන් සහ චන්ද්‍රා ඒකනායක මහත්මියගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලය හමුවේ 2000 ජූලි මාසයේ දී නඩු විභාගය ආරම්භ විය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ ප්‍රශාන්ති මහින්දරත්න මෙනවිය සමඟ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජයන්ත ජයසූරිය මහතා පැමිණිල්ල මෙහෙය වූහ.

අධිකරණය ඉදිරිපිට විරෝධතාවය (සදීපගේ පියා සහ මව)

විත්තිකරු වන අමිල වෙනුවෙන් තරුණ නීතිඥවරයෙක් වූ ජාලිය සමරසිංහ මහතා පෙනී සිටියේ ය.

1999 ඔක්තෝම්බර් 08 දා අලුත්ගම දී මුතුමුනි සදීප ලක්ෂාන් ද සිල්වා පැහැර ගෙන ගොස් මරණය සිදු කිරීම සහ ඔක්තෝම්බර් 11 දා දරුවා මරණ බවට දරුවාගේ පියා වන ජයන්ත බියට පත් කර රුපියල් ලක්ෂ 25ක කප්පමක් ලබා ගැනීම යන අධිචෝදනා නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහි ව ඉදිරිපත් කර තිබුණි.

නඩුව විභාග කළ විනිශ්චය මණ්ඩලය අධිචෝදනාවන්ට විත්තිකරු වරදකරු බව තීරණය කර 2000 සැප්තැම්බර් 21 දා විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කළේ ය. ඒ වෙනුවෙන් ඉදිරිපත් වූ අභියාචනය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව සහ දඬුවම ස්ථිර කළේය.

විත්තිකරු ළඟ තිබී පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනු කප්පම් මුදල අධිකරණය විසින් සදීපගේ පියාට ආපසු ලබා දුන්නේ ය.

මුදල් ලැබුණත් ජයන්තට පුතා ආපසු ලැබුණේ නැත. කිසිම දරුවෙක්ට මෙවන් විපතක් නොවේවා! සදීපගේ මව කඳුළු වගුරවමින් ප්‍රාර්ථනා කළාය.

ඉතාමත් සූක්ෂමව සැලසුම් කර සදීප ලක්ෂාන් දරුවාගේ ඝාතකයා පොලිස් දැලට හසු කර විමර්ශන කටයුතු සාර්ථකව ඉටු කළ පොලිස් කණ්ඩායමට එවකට පොලිස්පතිව සිටි ලකී කොඩිතුවක්කු මහතා විසින් සිය ප්‍රශංසාව සමඟින් විශේෂ වැටුප් වර්ධක ලබා දෙනු ලැබිණි.

රුපියල් තුන්ලක්ෂ අනූ දහසක තෑගි මුදලක් ද ඔවුනට ප්‍රදානය කෙරිණි.

විමර්ශනය මෙහෙය වූ කලුතර කොට්ඨාස භාර ලයනල් කල්දේරා, සහකාර පොලිස් අධිකාරිවරුන් වන පී. සී. සී. ප්‍රනාන්දු සහ එල්. එස්. පතිනායක මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායම සහ එක් සිවිල් වැසියෙක් ද එසේ ඇගැයීමට ලක් විය.