කතරගමම හැඩවූ ප්‍රේමවතිය

කතරගම ම හැඩවූ ප්‍රේමවතිය

කතරගම දෙවියන්ගේ අඩවිය සිපගෙන ආ බක්මහේ සුළං රැල්ලක් ගම්මානය පුරා හමා ඇඳී ගියේය.අතු පතර ලැග සිටි කුරවි කෙවිල්ලන්ගේ පේ‍්‍රම ගීතිකාවන් ගම් දනව් පුරා නින්නාද දුන්නේය. අලුත් අවුරුද්ද සුවහසක් සතුට රැගෙන කතරගම් පුරයටත් සම්ප්‍රාප්ත වී තිබුණේ දිළිඳු අතුපැලත් මහා මන්දිරයත් එකසේ සලකාගෙන ය.තම දරු පැටවුන් රංචුවද පෙරටුකොට ගෙන අලුත් අවුරුද්දේ හා හා පුරා කියා ලීලාවති උභයසිංහ මාතාව මහත් ඕනෑකමින් පා තැබුවේ කතරගම තැපැල් කන්තෝරුව අසලම වු ‘ගුණසිරි’ හෝටලය අභිමුඛව පැවැත්වෙන අවුරුදු උළෙලට ය. ඇය දුරදීම තම දියණිය දුටුවාය.පුරහඳක් මෙන් පිරුණු වත මඬලේ සිනහව කඩාහැලෙන දිය ඇල්ලක් මෙන් ලාලිත්‍ය ට පැද්දෙන විසිතුරු වරලස ඇයට තම දියණිය ගැන තව තවත් ආදරයෙන් මෝදුවූයේ ඇයගේ රුව ගුණ වරුණ දුටු මොහොතේය.

“අම්මේ අන්න අක්කා.....ලස්සනට ඇඳලා අර....අර....ඉන්නේ....අම්මේ අක්කා මේ පාරත් දිනයි ද අම්මේ”දෑත් දිගුකර වනමින් බාලම දරුවා වූ දයානන්ද හුරතලයට මොනවදෝ කියනවා ඇයට ඇසුණේය.

ගම්තුලානේ බොහෝ තරුණියෝ වේදිකාව මත තාලයට පය තබමින් ඇවිද යනු ඇයට පෙනේ.අලුත් අවුරුද්දේ අවුරුදු කුමරියෝ දහසක් ප්‍රර්ථනා ඇතිව ඔබ මොබ ඇවිදින්නේ විනිසුරු මඬුල්ලේ නියමය පරිදිය. තවත් මොහොතකින් වේදිකාව මතට පායා ආවේ පේ‍්‍රමවතී ය.

“ඇස්වහක් කටවහක් නැහැ මගේ කෙල්ල හෑබෑම ලස්සනයි. උඹට වරදින්නේ නෑ දුවේ....”

1970 නව වසරේ කතරගම ර ෑමතිය.....ඇයයි. යකඩ කටෙන් ප්‍රේමවතීගේ නම ගම්මානය පුරා විහිදී යද්දී ලීලාවතීට ඉකිගැසුණේ සතුට දරාගන්නට බැරිවය.තම දියණිය පුරා හඳක් මෙන් වේදිකාව මත බැබළෙද්දි නැගූ ඔල්වරසන් හඬ මැද්දේ ලීලාවතී අම්මා මොහොතකට අන්දමන්දව බලා සිටියාය.

වරක් නොව දෙවතාවක්ම බක්මහ කුමරිය ලෙස ප්‍රේමවතී කිරුළු පැළැන්දාය.

අහිංසක ලීලාවතී අම්මාගේත් හෙන්ද්‍රික් අප්පුහාමි තාත්තාටත් එදා තම දියණිය ගෙන ආවේ එක්තරා අන්දමක සතුට මුසුවූ ආඩම්බරයකි.

“මගේ ලොකු එකී මේ පාරත් රූප සුන්දරීවෙලා.ඇත්තටම මගේ ලොකු දුවට රූපෙන් මොනවද අඩු.අපි දුප්පත් තමයි දුවේ....එත්..උඹට හොඳකලක් යනවා නම් ඒ ඇති.” මුවින් නොදෙඩුවත් එදා ඒ මාපියන්ගේ හදවත් එසේ මුමුණන්නට ඇත.ඒ 1970 වසරේ අප්‍රෙල් මස 17 වැනි දිනකදීය.

කතරගම දෙවොල ඇස පෙනෙනා මායිමේ සිටි ප්‍රේමවතී අසිහියෙන්මෙන් තම නිරුවත දෑසින් වසාගන්නට වෙර දරමින් ඉදිරියට පය ගෑටුවාය. අවිගත් අමනුෂ්‍යන් රැළක් මුවැත්තියක වට කරගෙන ඇය කීතු කීතු වලට ඉරා දමන්නට මෙන් බර සපත්තු අඩි බිම ගටමින් ඇයට පසුපසින් ගමන් කළහ. ඇගේ ගමන බාලවන විට බරැති අවි බඳ කින් ඇගේ හිරිමල් බඳ පෙදෙස හරහා වැදුණේ මරු පහරකි.

“මරන්ට වුවමනා නම් මෙයට වඩා මරණය සැපතකි” එහෙත්....මහා නගරයක ජනී ජනයා මැද අමු නිරුවතින්.... ගමේ උපන් විළිබිය ඇති හිරිමල් කෙල්ලට මෙයටත් වඩා කළ හැකි අපරාධයක් තවත් ඇතිද?ඇය දිගුවරලසින් තම නිරුවත වසාගන්නට තැත් කළාය.

“උස්සපන් අත් දෙක”ඒ මාරයාගේ අණය.

“අනේ මාව මැරුවානම් මිට වඩා හොඳයි”ඇය ඔවුන් වෙත සෙමින් මිමුණුවා ය. හෙණ හඬ නගමින් තවත් මොහොතකින් වියරු රයිෆල් වෙඩි උණ්ඩයක් ඇගේ සියුමැලි ගත පසාරු කරගෙන ගියේය.අවට සිටි සුවහසක් සංවේදී මිනිසුන්ගේ දෙනෙත් පුරා කඳුළු කැට කඩා වැටුණහ.බිම ඇද වැටුණු ඇය නැවත නැගි සිටියාය.ඉවක් බවක් නැති නරුමයෝ ඇයට නැවතත් වෙඩ් තැබුහ.තමන්ගේම රුධිර ගංඟාව මත මොහොතක් වැතිරගත් ඇය යළිත් සෙවණක් ඇති තැනකට බඩගාගොස් කඳ කෙළින් කොට හිඳගන්නට තරම් ශක්තිමත් වූවාය.

“අනේ මට වතුර ටිකක් දෙන්න”ගලායන රුධිර ගංඟාවෙන් අඩ පණව වැතිර ඇය ඉකිබින්දාය.

ගුණසිරි හෝටලයේ සේවකයෙක් වතුර ටිකක් රැගෙන දුව ආවේය. “දෙන්න එපා වතුර ....දුන්න එවුන්ටත් වෙඩි තියනවා.”

අවිගත්වුන්ගේ හඬට කවුරුත් බිය වුහ. තවත් ටිකකින් ඇය උපන් දා සිට හඳුනන ගමේ ‘ඇලඩින් මාමා’උන්ගේ අවසරය යැද ඇයට වතුර ටිකක් ගෙනැවිත් පෙව්වා ය.සෝඩා බෝතල් තුනක් පුරවා ඇය වතුර බීවාය.ඒ අතරතුර ඇය අමුම අමු රුධිරය පොදි පිටින් වමනය කරමින් දෙනෙත් විදහා අවට බැලුවාය.මුළු නගරයම භ්‍රමණය වෙමින් ඇගේ වටා කැරකෙණු ඇතැයි ඇය මරුවිකලයෙන් මෙන් සිතුවාය.ඇලඩින් මාමා මුහුණ ඔසවා මඳකට හෝ ඇය දෙස බැලුවේ නැත. ඔහුගේ නෙත් අගින් ගලායන කඳුළු සඟවාගන්නට ඔහු වෙර දැරුවාය.”අනේ ලීලාවතී අක්කගෙ ලොකු එකීට කළ අපරාධය”එහෙත් මුවින් දෙඩුවේ නැත.

“ඔය කෙල්ලව වළලලා දාපන්”නරුම වෙස් ගත් ලුතිනන් ඇල්ෆඩ් විජේසූරිය ඇලඩින්ට පවරා යන්නයට ගියේය.

“අනේ.... මාමේ මගේ කරාබු දෙක මං දුන්නා කියලා අම්මට දෙන්න. නංගිට දෙන්න කියලා.මේ මගේ පූරුවේ කළ පවක් වෙන්න ඇති මාමේ....මම කවුරුත් එක්ක තරහා නැහැ කියන්න මාමේ”

ප්‍රේමවති මරණ මංචකයෙහි වැතිර සිටියදීම කණ පැළඳි අරුංගල් යුවළ ගලවා ඇළඩින් මාමාට දුන්නාය.

මනුෂ්‍යත්වය අලුයම ලූ කෙළපිඬක් තරම්වත් නොතැකු මෘගයෝ වළක් කපා ප්‍රේමවතීගේ සිරුර වළලා දමන්නට නියම කළේ ‘ඇලඩින් මාමා ටය..’නිර්භීත පුද්ගලයෙකු වුවද ඇලඩින් මාමාද ප්‍රේමවතී දියණිය වෙනුවෙන් කම්පිතව තිබූ හදවතින් නිහඬව හැඬුවේය. “මේ කෙල්ල තවම මැරිලා නැහැ.ඒකි තාම ජිවත්වෙනවා.මං කොහොමද පණ තියෙද්දී ඒකිව වළලන්නේ”ඇලඩින් මාමා කියා සිටියේය. මොහොතකින් දිව ආ සොල්දාදුවකු හරියට එල්ලය බලා ඇගේ හිස දෙදරා යන සේ වෙඩි පහර දෙකක් ිඑල්ල කළේය.මොහොතකින් ප්‍රේමවතී ඒ වධකයන් ගෙන් අත් මිදී සංසාර සයුරේ ඈතම ඈත දුර ඉසව්වකට නික්ම ගියාය.

එදා 1970 අප්‍රෙල් මස 17 වැනි දින කතරගම අවුරුදු කුමරිය ලෙස ප්‍රීති ඝෝෂා හඬ මැද වෙදිකාව මත කිරුළු පැළදි ප්‍රේමවතී හරියටම ඉන් වසරකට පසුව එනම් 1971 අප්‍රේල් මස 17 වැනි දිනක තැපැල් කන්තෝරුව ළඟ ගුණසිරි හෝටලය අසල කිරුළු පළන් බිමේදීම අවාසනාවේ කටු ඔටුන්න හිසදරා,අවිය බලය කොටගත් මෘග රැළකගේ මිනීමරු හස්තයන්ට මැදිව,ලේ ගලන ගොදුරක්ව අමු අමුවේ අවසන් හුස්ම හෙළුවාය. දෛවයේ පුදුමාකාර සැලසුමකට අනුව වයස 22 ක හිරිමල් යොවනයේ දොරකඩදීම එදා කිරළු පළන් බිමේදීම නින්දිත මරණයක් ඇයට උරුම කළේ එලෙසය.

1971 වසරේ අපෙු්ල් මස ගෙවීයමින් තිබුණේ රාජ්‍ය විරෝධී සංවිධානයක රහසිගත පිබිදීමක් සහිතවය. මේ වනවිට කතරගම ප්‍රදේශය පුරාම මෙම පිබිදීම වැඩිවශයෙන් හොල්මන් කරමින් තිබිණි.1971 අප්‍රේල් අරගලය සන්සිඳවීමට කතරගම ප්‍රදේශය කැරලිකරුවන්ගෙන් මුදාගෙන තත්ත්වය සාමාන්‍ය අතට පත්කිරීමට භාරව කටයුතු පැවැරුණේ ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරියටය. ඔහු ඇතුළු කණ්ඩායම කතරගම නගරයට පැමිණියේ 16 වැනිදා සවස් වරුවේය. තුන්වැනි ගැමුණු ස්වේච්ඡා සේනාංකයේ නියමුවා ලෙස ඔහු කතරගම ලංගම විශ්‍රාම ශාලාව තම කඳවුර බවට පත්කරගෙන වැඩ කටයුතු ආරම්භ කළේය.කතරගම පොලීසියත් ඒකාබද්ධව කැරලි කරුවන් සෙවීමෙහි නිරත වුහ.

එම උදෑසන ප්‍රේමවතී මනම්පේරි නම් 22 හැවරිදි තරුණිය තම හිස පීරමින් නිවෙසේ ආලින්දයේ රැඳි සිටියදී එහි පැමිණියේ කතරගම පොලිසියට අයත් ජීප් රියකි. එහි ඉදිරිපස අසුනේ පොලිස් පරීක්ෂක උඩවත්ත බොහෝ ගාම්භීරත්වයෙන් අසුන්ගෙන සිටි අතර කොස්තාපල් සිරිපාලත්,ඕපාතත් අවි දරමින් ප්‍රේමවතීගේ නිවෙසට ඇතුළු වුහ.එම මොහොතේ ඇගේ සොයුරි සොයුරියනුත් ලීලාවතී මාතාවත් නිවෙසේ පසු වුහ.

“කෝ....උෙඕ දුව“ඔවුහු අකාරුණික ස්වරයෙන් අසද්දී ප්‍රේමවතී හිස පිරමින්ම එළියට ආවාය.ඇගේ මුදා හැර තිබු වරලසින්ම ඇද අල්ලාගත් පොලිස් කොස්තාපල්වරු තිදෙනා ඇය සාහසික ලෙස ජිප්රථය වෙත ඇදගෙන ගියහ.අතැති රයිෆල් බඳෙන් ඇගේ උරහිසට ද පහරක් එල්ල කළේය.

තම වැඩිමහල් දියණිය මේ විපතින් මුදවාගන්නට ලීලාවතී අම්මා ඒ මෘගයන්ගේ පය පාමුල වැඳ වැටුණාය. ජිප් රථය පසු පස හැකි වේගයෙන් දිව ගියාය.රථයෙන් බිමට බැසගත් පොලිස් පරීක්ෂක උඩවත්තව ඇය හොඳින් දුටුවේ ඒ මොහොතේය.ඇය මෙහොතකට ගොළු වුවාය. තම දියණිය කතරගම රූමතිය වූ දිනට පසු ඔහුට තම දියණිය සමඟ ඇසුරක් ගොඩ නඟා ගන්නට වුවමනාවක් තිබිණි දින ගණනාවක්ම සිවිල් ඇඳුමින් සැරසීගෙන තම නිවෙස ඉදිරියේ ඔහු කරක්ගැසූ අයුරු ඇයට මතකයට ආවේය.එවන් හැම මොහොතකම ප්‍රේමවතී දියණිය ඔහුට කිවේ ‘අම්මලාගෙන් අහන්න’කියාය. එහෙත් එය නොමනා යොජනාවක් මිස සැබෑ ලෙස ඇය කෙරෙහි බැඳි ප්‍රේමයක් නොවන බව නම් ඒකාන්තය.සියල්ල සිතු පිරිදි ඉටු නොවූ තැන ඇගෙන් පළිගන්නට ඇත්තේ මෙලෙසය.

“අනේ මහත්තයො මගෙ කෙල්ල බේරල දෙන්න.බුදුබව අත්වෙයි.මගෙ අහිංසක කෙල්ල කරපු වරදක් නැහැ..” පොලිස් පරීක්ෂක උඩවත්තගේ කකුල් දෙක ළඟ බිම පෙරලීගෙන විලාප දෙමින් හඬද්දී ඔහු කළේ උඩට වෙඩි දෙකක් තබා ජිප්රථයට නැඟ පවනට බඳු වේගයෙන් ඉගිල යාමය. ඇයද කිසාගෝතමියක සේ පටාචාරාවක සේ තම දරුවා ඉල්ලමින් පොලිසියට දිව ගියාය.එහෙත් ඇගේ දියණිය එහි සිටින බවට හොඩුවාවක් පවා නොවීය. කඳුළු දිය බොමින් වැළහින්නක සේ හඬා වැටෙමින් වැදු කුස උණුවෙමින් ඇඟ නහර පුරා ඇදී යද්දි ගොම්මනේ හිස් අතින් ඇය ගෙදර ආවාය.රාත්‍රිය අමාරුවෙන් ගෙවා දැමු ඇය පසු දින වනතුරු හූල්ලමින් මඟ බැලුවාය.ඇගේ දියණිය කොහේවත් නැත. දහවල් 11.00 ට පමණ ඇය තම නිවෙස ඉදිරිපිට අඔ ගස යට වාඩි වී දියණයගේ මුහුණ දකින්නට පෙරුම් පිරුවාය. ඈතින් බයිසිකලයක නැඟී කවුදෝ එනු ඇය දුටුවාය. “දෙවියනේ .... ඇලඩින් ..මගේ කෙල්ල ගැන ආරංචියක්වත් ගෙනාවද?”ඇය දෙපා ආයාසයෙන් ඔසවමින් දිව ආවාය.තවත් මොහොතකින් ඔහු කිසිවක් අත ගුලිකොට ඇයට දීමට අත දිගු කළේය.ඇය එය අතට ගත්තේ නැත. “මගේ දුවගේ කරාබු දෙක නේද?”එහෙත් ඇලඩින් කිසිවක් කීවේ නැත. ප්‍රේමවතීගේ දෙවනි නැගණියගේ අතට කරාබු ජෝඩුව දුන් ඇලඩින් රූරා වැටෙන කඳුළු පිටි අත්ලෙන් පිස දමමින් යනනට ගියේය.

වසර 22 ක් කවා පොවා ඇති දැඩිකළ තම කුළුඳුල් දියණිය කොළු කුරුට්ටන්ගේ ආදරණිය ලොකු අක්කණ්ඩිය ඒ වන විටත් සංසාරගත කරුමයක් ගෙවා දමමින් මෙලොවින් තුරන්කර අවසාන ය.

“දෙවියනේ කතරගම දෙවියන්ටවත් මේ අපරාධය පෙනුණේ නැද්ද?”ඇය අසරණව විමසුවාය. තවත් හඬන්නට කදුළු ඒ ඇස්වල නොතිබෙන්නට ඇත.

එදා ප්‍රේමවතී ඇතුළු තවත් තරුණියන් කිහිප දෙනකුම කැරුලිකරවන්ලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.රැයක් පුරා එම තරුණියෝ තිරිසන් රැළකගේ වියරු අධම අශාවන්ට ගොදුරු වී තිබිණි. එලෙස හදිසි තත්ත්වය යටතේ අරක්ෂක අංශවල ඇතැම් අයෙකු නීතියේ මායිම් නොව මනුෂ්‍යත්වයේ මායිම් ද ඉක්මවා කටයුතු කර තිබිම නිසා මෙවන් බියකරු සාහසික අපරාධ සිදුවිමකට ඉඩ සැලසී තිබිණි.කැරැල්ලේ බලමහිමයෙන් ප්‍රේමවතී තරුණිය අතිශය මිලේච්ජ ලෙස අඩන්තේට්ටම්කොට මරා දමා අතපිහිදා ගැනිමට ඔවුන් සිතුවා විය හැක. එහෙත් හඬන හදවතකින් යුතුව මේ සියල්ල තම දෙනෙත ඉදිරියේම පැහැදිලිව දුටු තවත් එක්තරා මනුෂ්‍යයෙක් මේ අතර සිටියේය. ඔහු එවකට යාල වනෝද්‍යානයේ වනජීවී පාලකයා ලෙස ක්‍රියා කළ ඩෙස්මන් වයිට් මහතාය.අපරාධය සිදුවීමෙන් දිනකට පසු ඔහු කෙළින්ම ගියේ තම හිතවතෙකු සොයාය.ඒ අනුව එලෙස එවකට හම්බන්තොට හමුදා සම්බන්ධීකාරක නිලධාරියාව සිටි කර්නල් ඩෙරික් නුගවෙල මහතා හමුවී තමන් දුටු සාහසික අපරාධයක සුලමුල ඔහු වෙත ඉදිරිපත් කළේය.ඒ අනුව සිද්ධිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ලුතිනන් ඇල්ෆඩ් විජේසුරියට නියම කළේය.තමන් කළ අපරාධය වසන් කරන්නට ඔහු සියලු උත්සාහයක්ම දැරැවේය.එහෙත් මේ පිළිබඳ අරංචිය මුළු රට පුරාම පැතිර ගියේ විදුලි වේගයෙනි.මේ පිළිබඳ ආන්දෝලනය සියලු බාධක මැඩගෙන ඉදිරියට ආවේය.ඒ අනුව එවකට පැවැති රජය ප්‍රේමවති මනම්පේරි තරැණියගේ මිලේච්ජ ඝාතනය පිළිබද සෙවීම සඳහා 1971 වසරේදී අපරාධ යුක්ති විනිශ්චය කොමිශන් සභාව පිහිටු විය. ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ඒ.සී අලස් මහතාගේ මූලිකත්වයෙන් කොමිසන් සභාව ක්‍රියාත්මක විය.ඒ අනුව පරීක්ෂණ පැවැත් වූ නිලධාරීන් විසින් 1971 මැයි 24 වැනි දින ප්‍රේමවතීගේ මිනිය ගොඩ ගෙන අදාල පරීක්ෂණ පවත්වද්දී ඇගේ නිරුවත් මෘත ශරිරය මත දක්නට ලැබුණේ එදා ඇය හැඳ සිටි දම්පාට මල් සහිත ගවුම කළු පැහැති තනපටත් සහ යට ගවුමකි.එදා ඇගේ මළ සිරුර ගොඩ ගත් අතරතුර දී ඇගේ මව විසින් ඒවා හඳුනා ගන්නා ලදි.නඩු විභාගය අතරතුර ප්‍රේමවතීගේ ජායාරූපයක් පෙන්වන ලදුව එම මොහොතේ ඇගේ මව මහ හඬින් වේදනා වෙන් හඬා වැළපුණේය. ඒ නිසා නඩු විභාගයේ කටයුතුද මඳ වේලාවක් නතර කරන ලදි. පුරා දින 11 ක් තිස්සේ ගාල්ල මහාධිකරණයේ විනිසුරු ඩී. කි්‍යු.එම් සිරිමාන්න මහතා ඉදිරියේ විභාග වූ මෙම නඩුවේදී ජූරි සභාවේ ඒකමතික තීරණය පරදි චූදිතයන්ට බරපතල වැඩ සහිතව වසර 16 බැගින් සිර දඬුවම් නියම විය.ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය හා සැරයන් අමරදාස රත්නායක යන අය මෙම ඝාතනයේ වරදකරුවන් බවට සැකයකින් තොරව ඔප්පු වීම නිසා දඬුවම් නියම විය.මුළු රටම නෙත් අයා බලාසිටි නඩු තීන්දුව 1973 මැයි 30 වැනි දින ප්‍රකාශයට පත් කළේය.චූදිතයන් විසින් එයට එරෙහිව අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිිරිපත් කළද ඒ.සී අලස් (සභාපති) වී.ටී තමෝදරම් සහ ඩී.විමලරත්න යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම විභාග කිරිමෙන් පසුව එකී තින්දුව තවදුරටත් තහවුරු කෙරිණි.ප්‍රේමවතී මරා දැමුවේ ඇයිද යන්න අවසන් මොහොතේ ද නිශ්චිත හේතුවක් ඉදිරිපත් කිරිමට චූදිතයන් අපොහොසත් විය.ඔවුහු නිහඬව සිටියහ.නඩු විභාගය අවස්ථාවේ සිද්ධිය සියැසින් දුටු සියලුදෙනාගේම සාක්ෂි ලබා ගත් අතර සිද්ධිය සියැසින් දුටු ඇල්.ඒ ඇලඩින් සිල්වා පැවැසුවේ “ප්‍රේමවතී වළලා දමන්න හමුදාව මට අණ කළා. පෙරුමාල් කාදර් සහ සයිමන් සමඟ එකතුව වළ කැපුවා.ප්‍රේමවතී ළඟට ගියාම ඇයට පණ තිබුණි පසුව වළලන්න බැහැ කිව්වම හමුදා ඇදුම් ඇඳගත්ත අයෙකු පැමිණ තවත් වෙඩි කිහිපයක් බිම වැටී සිටි ප්‍රේමවතිගේ සිරුරට තිබ්බා.ඊට පසුවත් ඇයට පණ තිබුණා.වළ ළඟට ගෙනියන කොටත් ඇය කිව්වා මාමේ කරාබු දෙක ගලවා ගෙන අම්මාට ගෙනිහින් දෙන්න කියලා.ආයෙමත් ඇගේ හිසට හමුදාවෙ අයෙක් වේඩි තැබුවා. ඉන්පස්සේ ඇය සදහටම දෙනෙත් පියා ගත්තා.අපි සිරුර වළදමලා එයාගේම ඇඳුම්වලින් වහලා පස් දමලා වැහුවා.කරාබු දෙක දෙන්න ප්‍රේමවතීගෙ ගෙදර යනකොට ඇගේ මව ගේ ඉස්සරහ අඹ ගහ යටවි අඬ අඬා හිිටියා.මම කරාබු දෙක දික්කලාට ගත්තේ නැහැ. පසුව ඇගේ දෙවැනි දුවගේ අතට දීලා මං හැරිලා ආවා.” ඇලඩින්ගේ සාක්ෂිය ඉතා බරපතල එකක් වුවාට සැක නැත.

වැළලීයාමට තිබූ අපරාධය ලෝකය ඉදිරියට ගෙන ඒමට කටයුතු කළ වයිට් මහතාද මෙහිදී සාක්ෂි දුන්නේය.

“එම තරුණිය කුඩා කල පටන් මම දැක තිබුණා.ඇගේ පියා මගේ යටතේ සේවය කළ වනජීවී පරීක්ෂකවරයෙකු වූ හෙන්ද්‍රික් අප්පුහාමි හමුවන්නට යන විට මා ඇය දැක තිබෙනවා.එදා රාත්‍රියේ මා හමුදා කඳවුරට ගියේ වෙනත් රාජකාරී කටයුත්තකටයි.එහි දී මා දුටුවා ප්‍රේමවතී තරුණිය තවත් තරුණියන් පිරිසක් සමග බිම වාඩිවී සිටිනවා.මා ඇය හඳුනාගත්තා.ඇය බිම බලාගෙන සිටියා.බොහෝ කරදරවලට මුහුණ දී සිටි බව මට වැටහුණා.ලුතිනන් විජේසූර්ය මගෙන් ඇසුවා ඇය හදුනනවද කියලා.ඇගේ පියා මා යටතේ සිටින අයෙකු බව කීවා.”

1949 වසරේදී ලීලාවතී උබේසිංහ මාතාවටත් හෙන්ද්‍රික් අප්පුහාමි පියාටත් දාව තිස්ස කතරගම පාරේ දෙවටගම දී සොයුරු සොයුරියන් 12 දෙනෙකුගේ පවුලේ වැඩිමලිය ලෙස උපත ලද එවකට 22 හැවිරිදි තරුණියක වූ ප්‍රේමවතී මනම්පේරි 1971 අප්‍රේල් මස 17 වැනි දින අමානුෂික ලෙස වෙඩි තබා ඝාතනය කරන ලදී.1971 වසරේ රට කැළඹූ කැරලිකාර කණ්ඩායමකට නායකත්වය දෙන ලැදැයි සැකපිට ඇය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව හමුදාවට භාරදී තිබිණි.

නඩුවේ ප්‍රධාන චූදිත ලුතිනන් ඇල්ෆ්‍රඩි විජේසූරිය සිරගෙදරදීම හෘදයාබාධයකින් අවසන් හුස්ම හෙළු අතර වසර හයක් හිරගෙදර ගතකොට පසුව ජනාධිපති සමාව ලැබ නිදහස්ව ගෙදර ආ සැරයන් රත්නායක 1988 දී දේශපේ‍්‍රමි සංවිධානයක සාමාජිකයන් විසින් පහර දී පිහියෙන් ඇන වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.උ.පො.ප.උඩවත්ත කිසිදු බධාවකින් තොරව වෙනත් පොලිසියකට මාරුවී ගොස් රාජකාරි කළේය.පසුව විශ්‍රාමිකව තම ගම් පළාතට ගොස් දිවි ගෙවමින් සිටි 88 හැවිරිදි වියේදී ඔහු මිය පරලොව ගියේය.

අතිශය නින්දිත හා මිලේච්ඡ ලෙස ප්‍රේමවතී මරා දැමූ අවිචාරවත් දේ කළ නරුම වෙස්ගත් මෘග මිනිසුන්ට නීතියේ මෙන්ම සොබා දහමේ නීතියෙන්ද ගැළවී යාමට අවසර ලැබුණේ නැත.දෙනෙත් ඉදිරියේම කළ පාපයේ දඬුවම ඔවුනට ලැබුණි.ඉතිහාසයේ ලෙයින් කඳුළින් නොමැකෙන කළු පැල්ලමක් සහිත සළකුනක් සනිටුහන් කළ ප්‍රේමවතී මනම්පේරි තරුණියගේ සංවේදී කතාන්දරය ඇසූ දුටු මෙන්ම අසන මුළු රටක් වේදනාවෙන් බරව උපන් කඳුළකින් සුසුමකින් තම ප්‍රණාමය ඇයට යුගයෙන් යුගයට පුදකරන්නීය. අද ඇය ජිවත්ව සිටියා නම් 64 වියැති මවකි. ආදරණීය අත්තම්මා කෙනෙකි.ඇය මරා දමා ගෙවීයන්නේ මේ 41 වැනි වසරයි.තම අදරණීයසොයුරිය ඥාතිවරිය පිළිබඳ ඇගේ පරම්පරාවේ මිනිසුනට අද ඇත්තේ කිසිදා නොනිමෙන කදුළින් ලෙයින් ලියු අඳුර ැ මතකයක හද ගැස්ම පමණි.