බඩු ගන්න බෑ කිව්වම මට කේන්ති ගියා

බඩු ගන්න බෑ කිව්වම මට කේන්ති ගියා

“මගේ බිරිය මරා දාපු පුද්ගලයට කෑගල්ල මහාධිකරණය මරණ දඬුවම නියම කළා. ඒ...... ඒ මනුස්සයට මරණ දඬුවම නියම කෙරුණ තුන්වෙනි වතාව. ඒත් මරණ දඬුවම නියම කරාට මරන්නේ නෑනේ. එදා මරණ දඬුවම නියම වූ මනුස්සයා විත්ති කූඩුවෙන් බැස්සේ හිනාවීගෙන. ඒ.... මරණ දඬුවම නියම කළාට මරන්නේ නෑ කියලා දන්න නිසා වෙන්න ඇති. මේ වගේ මිනීමැරුම් කිහිපයක් කරපු අයටවත් ඒ දඬුවම ක්‍රියාත්මක කරනවා නම් තමයි හොඳ. එහෙම කළොත් අනිත් අයවත් මෙවැනි දේවල් නොකර ඉඳීවි.”

වරකාපොළ මාහේන ප්‍රදේශයේ පදිංචිව සිටියදී දෙදහස් දෙක වසරේ අගෝස්තු මස අටවැනිදා ඝාතනයට ලක්වු විමාලි වික්‍රමසිංහ මහත්මියගේ සැමියා වන තිලක් වික්‍රමසිංහ මහතා “මාංචු” සමඟ සිය අදහස් ප්‍රකාශ කළේ එළෙසිනි. ඒ විමාලිගේ ඝාතනයට වරදකරු වූ හසලක දොඹේපිටිය පදිංචි පතිරණ මුදියන්සේලාගේ මැදගෙදර නවරත්න බණ්ඩා යන අයට කෑගල්ල පළාත් බද මහාධිකරණය මරණ දඬුවම නියම කිරීමෙන් අනතුරුව “මාංචු” වෙත අදහස් දක්වමිනි.

වසර දහයකට පෙර සිදුවූ අතීත සිදුවීම තවමත් ඔහුගේ මතකයේ තිබේ. ඒ සිදුවීම මතක් වන විට තවමත් ඔහුගේ හිතට දැනෙන දුක වචනයෙන් කියා නිමකළ නොහැකි තරම්ය.

“මම එදා කොළඹ ගිහින් එනකොට වේලාව සවස පහයි හතලිස් පහට විතර වගේ ඇති. ගෙයි දොරවල් ජනේල සේරම වහලයි තිබුණේ. ගේ වටේටම ගිහින් බැලුවත් කිසි සද්දයක් තිබුණේ නැ. පස්සේ ළඟ ගෙදරකට කෝල් එකක් ගන්න යද්දී දොස්තර මහත්තයාගේ පුතා හම්බ වුණා. එයා මට එයාගේ මොබයිල් ෆෝන් එක දුන්නා. ඒකෙන් මම දුවගේ ගෙදරට කෝල් කරලා ඇහුවා අම්මා ආවද කියලා. දුව කිව්වා ආවේ නෑ ඇයි අම්මා නැද්ද කියලා”

“ඊට පස්සේ මමයි අර පුතයි එකතු වෙලා කුස්සිය පිටිපස්සේ එළියේ තිබුණ පිහියක් අරගෙන නිදන කාමරයේ ජනේලය කඩලා බැලුවා. ඒ වේලාවේ කළුවර වුණත් මම දැක්කා විමාලි කාමරයේ ඇඳ ළඟ මුණින් අතට බිම වැටිලා හිටියා.”

අඳුරු වූත් දුක්බර වූත් අතීතය සිහිපත් කිරීම ඔහුට අපහසු වූ සෙයකි. සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස දිර්ඝ කාලයක් සේවය කළ තිලක් මහතා අද විශ්‍රාම සුවයෙන් පසුවුව ද ඔහුගේ සිතට සැනසිල්ලක් නැත. ඒ සිය ආදරණීය බිරිය අකාලයේ තමාට අහිමි වීම පිළිබඳ හදපුරා නැගී එන ශෝකී හැඟුම් දහරා නිසාය.

සිය බිරිය ඝාතනය කොට ඇති බව ඔහු වටහා ගත්තේය. සිදුව ඇති සිදුවීම පොලිසියට දන්වන ලෙස අසල්වැසි පුත්‍රයාට කී තිලක් ගරාජය දෙසින් වූ පිටුපස දොර කඩා දැම්මේ හැකි ඉක්මණින් බිරිය අසලට යාම අරමුණු කරගෙනය. කාමරයට දිව ගිය හෙතෙම සිය බිරියගේ පාදයට අත තබා බැලීය. සිරුර හොඳ හැටි සිතල වී ගොසිනි. දෙඅත් පිටුපසට කර බැඳ දමා ඇත.

මුනින් අතට තිබූ විමාලිගේ සිරුර උඩු අතට හරවන්නට උත්සහ කරද්දීම වරකාපොළ පොලිසියේ කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණියේය. පසුව මහේස්ත්‍රාත්වරිය ද නිවෙසට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිරුර උඩු අතට හැරවීය. කට පුරා පාංකඩ ඔබා තිබෙනු දුටුවේ එවිටය.

මේ අවස්ථාව වන විට අසල්වාසීහු විශාල ප්‍රමාණයක් නිවෙසට පැමිණ සිටියහ. මෙම සිද්ධිය පිළිබඳ යම් තොරතුරක් දන්නා අයකුට ඉදිරිපත්වන ලෙසට පොලිසිය ඉල්ලා සිටියද කිසිවෙකු ඒ සඳහා ඉදිරිපත් වූයේ නැත.

ගෙදර තිබූ අල්මාරි ලාච්චු සියල්ලම ඇද දමා නිවසෙහි වූ රන් ආභරණ සියල්ලම හා තවත් වටිනා දෑ රැගෙන ගොස් තිබිණි. එදා තිලක්ට ද සිය රන් දම්වැල දමා ගැනීමට අමතකව කාමරයේ ටීපෝව මත තබා ගොස් තිබූ අතර සොරා එය ද රැගෙන ගොස් තිබිණි. එහෙත් ටීපෝ රෙද්දට යට කොට තිබූ රුපියල් දහතුන් දහසක මුදල නම් හොරාට හසුවී තිබුණේ නැත.

විමාලිගේ සිරුර පිළිබඳව පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ අක්මාව හා වම් වකුගඩුව තුවාල වීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවයි. එනම් බාහිරින් එල්ලවූ තදබල පහරක් හේතුවෙන් ඉල ඇට කැඩී ඉන් එක ඉල ඇටයක් අක්මාවේ හා අනික වම් වකුගඩුවේ ඇනී සිදුවූ තුවාල හේතුවෙන් පහර වැදි විනාඩි දෙකක් පමණ කාලයක් ඇතුළත මියගොස් ඇති බවයි.

නිවසෙහි ප්‍රධාන දොරටුවේ යතුර හමුවූයේ සිද්ධිය වූ දිනට පසුදාය. ඒ නිවසේ ඉදිරිපිට මල්පෝච්චි අසල විසිකර තිබියදීය. එය සොයා දුන්නේ පොලිස් නිල සුනඛයා විසිනි.

විමාලි පාසල් ගුරුවරියකි. එවකට හැට එක් වන වියේ පසුවූ ඇය එක්දරු මවක මෙන්ම ආච්චි අම්මා කෙනෙකු ද වී සිටියාය. ඇයට සිටියේ එකම දියණියක පමණි. ඇය විවාහ වී වෙනම නිවෙසක ජීවත් වූවාය.

තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයේ කාලයක් තිස්සේ රැකියාව කළ විමාලි විශ්‍රාම යාමට පෙර අඹේපුස්ස මහ විද්‍යාලයට මාරුවීමක් ගෙන පැමිණියාය. පසුව ඇය 1991 වසරේදී විශ්‍රාම ගියාය.

ඇයගේ සැමියා තිලක් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් සෞඛ්‍ය පරීක්ෂක වරයෙකි. ඔහු ද සේවයෙන් විශ්‍රාම ගොස් සිටි අතර කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ විධායක ශ්‍රේණියේ තනතුරුක් හෙබවූයේ කොන්ත්‍රාත් පදනම මතයි. ඒ හේතුවෙන් වික්‍රමසිංහ සතියේ දින පහේම උදේම කොළඹ ගොස් රැකියාව කොට නිවෙසට පැමිණෙන විට සවස හයට ආසන්න වේ.

නිවසේ ගේට්ටුව වසා තැබීමට විමාලි කැමති නැත. ආරක්ෂාව සඳහා සිටින සුනඛයන් දෙදෙනා ගෙවත්තේ සිටිනවාට ඇය කැමති නැත. ඒ අසල්වැසියන් පැමිණිය හොත් අපහසුතාවට පත්වන නිසාය. ගේට්ටුව හැර දමන ඇය උදේ නවය පමණ වන විට සුනඛයන් දෙදෙනා කාමරයට දමා දොර වසයි. ඝාතකයාට ඇයගේ මේ ක්‍රියා කලාපය බොහෝ පහසුවක් ගෙන දුන්නේය. ඔහු නිදැල්ලේ ඇය ඝාතනය කළේය.

වරකාපොළ විමාලිගේ ඝාතනය හා සමාන ඝාතන කිහිපයක් එවකට රට පුරාම සිදුවිය. එහෙත් සැකකරුවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් ලැබී තිබුණේ නැත.

පල්ලෙකැලේ ප්‍රදේශය්දී ද මේ ආකාරයෙන්ම කාන්තාවක් ඝාතනය කර තිබුණේ විමාලි ඝාතනයෙන් හරියටම මාස හතරක් ගෙවී ගිය පසුවය.

එවකට මධ්‍යම පළාත භාරව සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතායි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වූයේ ගාමිණි සෙනවිරත්න මහතාය. මධ්‍යම පළාත් විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපනය කර තිබූ අතර එහි ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුරුසිංහ ධර්මවර්ධන මහතාය. පල්ලෙකැලේ කාන්තාවගේ ඝාතකයන් සොයන ලෙසට ගුරුසිංහ මහතාට නියෝග ලබා දුන්නේ නිමල් මැදිවක මහතා විසිනි. ඒ නියෝගය අකුරටම ක්‍රියාත්මක කළ ගුරුසිංහ මහතා එක්තරා පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේය. ඔහු මැදගෙදර නවරත්න බණ්ඩාය. එවකට විසිහය හැවිරිදි වියේ පසුවූ හෙතෙම විවාහකයෙකි. දෙදරු පියෙකි. ඔහු අත්අඩංගුවට පත්වූයේ තෙල්දෙණිය පොලිස් වසමේ ඔරුතොට ප්‍රදේශයේදීය. ඒ පෙම්වතියක හමුවීමට යන අතුරතුරේදීය.

ප්‍රශ්න කිරීම් වලදී හෙළිවූ තොරතුරු වලට අනුව නවරත්න බණ්ඩාගේ පදිංචිය හසලක උල්පතගම ප්‍රදේශයයි. ඔහු කුඩා කාලයේදීම පියා දරු පවුල අතැරදමා වෙන කාන්තාවක හා පැනගොස් තිබුණි. ඔහුගේ මවට තවත් දරුවන් සිටි අතර ඇය ද පසුව වෙනත් පුරුෂයකු සිය නිවෙසට කැන්දා ගත්තාය. පසුව මව හා බාප්පා එක්ව නවරත්න බණ්ඩා සසුනට ඇතුළත් කළේය. ඒ අනුව නිට්ටඹුව ප්‍රදේශයේ විහාරස්ථානයක දී මහණකම ලැබූ නවරත්න බණ්ඩා වසර පහක් මහණදම් පිරීය.

ඒ යුද්ධය දරුණුව පැවති සමයයි. පොලිස් දෙපාර්තුමේන්තුවට අනුඛණ්ඩ පවත්වාගෙන යාම සඳහා තරුණයන් බඳවා ගත්තේ ඒ අවධියේදීය. මහණදම් අතැර දැමූ නවරත්න බණ්ඩා ස්වෙච්ඡා පොලිස් භටයකු ලෙස පොලිස් සේවයට එකතුවූයේ මේ වකවානුවේදීය.

මූලික පුහුනුවෙන් පසු වව්නියාවේ අනුඛණ්ඩයක වසර හතරක් රාජකාරී කළ හෙතෙම දිනක් හොර රහසේම පොලිස් සේවය අතැරදමා පලා ගියේය. ඒ ඔහු පොලිසියට ඇතුලත් කිරීම සඳහා ඉදිරිපත් කරතිබූ අධ්‍යාපන සහතිකය ව්‍යාජ එකක් බව ඔප්පුවේයැයි යන බිය නිසාය. මන් ද එම අනුඛණ්ඩය සඳහා තෝරාගත් පුද්ගලයන්ගේ තොරතුරු පරීක්ෂාවට ලක් කළේ බඳවා ගැනීමෙන් අනතුරුව ය.

පොලිස් සේවයෙන් පැන ගිය හෙතෙම ගොඩනැගිලි සාදන ස්ථානවල කුලී කම්කරුවකු ලෙස සේවය ආරම්භ කළේය.

එහෙත් ඒ රැකියාවේ ඇති කර්කෂ භාවය හේතුවෙන් නවරත්න බණ්ඩා වෙනත් රැකියාවක් සොයා ගියේය. ඒ අනුව ඔහුට නිවෙස් වලට ගොස් බඩු විකුණන ආයතනයක රැකියාව ලැබිණි.

කොළඹට පැමිණ බඩු රැගෙන ගෙයින් ගෙට ගොස් විකිනීම ආරම්භ කළේය. මුලින්ම ගියේ වේයන්ගොඩ ප්‍රදේශයේ නිවෙසකටය. එහෙත් පළමු දවසේ පළමු වෙළදාම කරගැනීමට ඔහුට හැකිවූයේ නැත.

“එදා මම මුලින්ම ගියේ ඒ ගෙදරට. පළවෙනි දවසේ රුපියල් විසිපහක කෑල්ලක් හරි ගන්න කියලා මම කිව්වා. ඒත් ගත්තෙම නෑ. එදා දවසම කාලකණ්නි වුණා. එදා මගේ හිතේ ලොකු වෛරයක් ඇතිවුණා. පස්සේ මම තීරණය කළ ඒ ගැනු කෙනාව මරලා දාන්න. දවස් කීපයකට පස්සේ ආයි ඒ ගෙදරට ගියා. එදත් මොකුත් එපා කිව්වා. ගෙදර වෙන කවුරුත් හිටියේ නැහැ. මම කිව්වා මට බොන්න වතුර එකක් දෙන්න කියලා. ඒ කෙනා වතුර එකක් ගෙනැත් දුන්නා. මම ඒක බිලා කෝප්පේ අතට දෙන ගමන්ම බෙල්ල මිරිකලා මරලා දැම්මා”

පල්ලෙකැලේ් කාන්තාවගේ මරණයට සැකපිට අත්අඩංගුවට ගත් නවරත්න බණ්ඩාගෙන් ප්‍රශ්න කිරීමේදි අපරාධ රැසක සුලමුල හෙළිවන්නට වූයේ එලෙසිනි. වරකාපොළ විමාලි ඝාතනය කර තිබුණේ ද ඔහු විසිනි. ඒ පිළිබඳව ද හෙතෙම මෙලෙස පාපොච්චාරණය කළේය.

“එදා මම ඒ ගෙදරට ගිහින් මොනවා හරි ගන්න කිව්වම ගන්න දෙයක් නෑ කියලා මට යන්න කිව්වා. ඒකට මට කේන්ති ගියා. ඒ නිසා මම ආයිත් දවසක ඒ ගෙදරට ගියා. ගේට්ටුව ඇරලා තිබුණා. දොර වහලා තිබුණ නිසා මම බෙල් එක ගැහුවා. නෝනා ජනේලෙන් බැලුවම මම කිව්වා පොඩි පොඩි බඩු තියෙනවා බලන්න කියලා. පස්සේ දොර ඇරියා. මම බොන්න වතුර එකක් ඉල්ලුවා. වතුර එක බීලා එක පාරටම ඒ නෝනව අල්ලගෙන රත්තරං බඩුයි සල්ලියි දීපං කිව්වා. ඒවා මොකුත් නෑ කිව්වම මම කාමරයට ඇදගෙන ගියා.කාමරයට ගියාම ටීපෝ එක උඩ රත්තරං මාලයක් තිබුණා.”

නෑ කිව්වට මේ තියෙන්නේ මොනවද කියලා මාලේ අරගත්තා. පස්සේ කටට පාංකඩ එබුවා.”

ඇයගේ දෑත පිටුපස කර බැඳ දමා පා පහර කිහිපයක් එල්ල කළ හෙතෙම නිවෙසෙහි වූ විටිනා දෑ රැගෙන සියලු දොර ජනේල වසා දමා ඉදිපස දොරටුව වසා අඟුලු දමා යතුර විසිකර යන්නට ගියේය.

පසුව ඔහු මෙය ජාවාරමක් කර ගත් අතර ඒ සඳහා තවත් පුද්ගලයන් හත් දෙනෙකු ද සහභාගී කරවා ගත්තේය. රැකියා ස්ථාන ද මාරු කරමින් කාන්තාවන් ඝාතනය කරමින් සිය ව්‍යාපාරය හොඳින් කරගෙන ගියේය. මේ සහයකයන් හත් දෙනා ද දැන් අත්අඩංගුවේය. ඔවුන්ට විරුද්ධ නඩුද දැන් විභාග වෙමින් පවතී.

අත්අඩංගුවට පත් නවරත්න බණ්ඩාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේ ගුරුසිංහ මහතායි. ඉතා කාරුණිකව කල ප්‍රශ්න කිරිම් හමුවේ හැඟුම්බර වූ නවරත්න බණ්ඩා තමා විසින් සිදුකළ හා සිදුකිරීමට බලාපොරොත්තුව සිටි අපරාධ පිළිබඳ ස්ව පාපොච්චාරයක යෙදිණි. පුදුමයකි. රට පුරා එක් එක් ස්ථානවල සිදුවූ එකම ආකාරයේ කාන්තා ඝාතන සියල්ලම සිදුකර තිබුණේ මොහු විසිනි. නවරත්ණ බණ්ඩා සිදු කළ ඝාතන සංඛාව එකොලහකි. සැලසුම් කළ ඝාතන සිදු කිරීමට නොහැකි වූ අවස්ථා සංඛ්‍යාව තිස් ගණනකි.

මේ වන විට නවරත්න බණ්ඩා දකුණු ආසියාවේ වාර්තාවක් ද තබා ඇත.

එකම පුද්ගලයකු විසින් දිවයිනේ විවිධ පළාත් වල එකම ආකාරයට කාලයක් තිස්සේ මනුශ්‍ය ඝාතන වැඩිම සංඛ්‍යාවක් සිදු කළ දකුණු ආසායානු පුද්ගලයා නවරත්න බණ්ඩාය.

ඔහු විසින් සිදු කළ ඝාතන එකොලහෙන් මේ වන විට ඝාතන සිද්ධි තුනක නඩු අසා අවසන්ය. ඒ නඩු තුනේම අවසන් තීන්දුව වූයේ මරණ දඬුවමයි. ඊට අමතරව වසර පහක සිර දඬුමක් ද නියම වී ඇත.

කෑගල්ල පළාත් බඳ මහවිනිසුරු මේනකා විජේසූරිය මෙනවිය මරණ දඬුවම නියම කළ අවස්ථාවේ නවරත්න බණ්ඩා මෙසේ ප්‍රකාශ කිර තිබේ.

“ගරු අධිකරණයෙන් සාධාරණයක් බලාපොරොත්තු වුණා. ඒත් එය ඉටු වුණේ නෑ. ඔබ තුමිය දෙන ඕනෑම තීන්දුවක් භාර ගැනීමට මම සූදානම්.”

කාන්තාවන් එකොලහක් මරා දැමූ බව කියන නවරත්න බණ්ඩාට දිය යුතු සාධාරණම තීන්දුව මරණ දඬුවම නොවේද?