සැනසීම සොයා ගිය බුරුම රූමතිය

සැනසීම සොයා ගිය බුරුම රූමතිය

මැදියම් රැය ද පසු වී ඇතත් මියැසි සප්ත ස්වරයේ හඬ මුළු හෝටලයේම නින්නාද වෙමින් ගලා ගියේ හුරුපුරුදු ලෙසය. දෙනෙතට දෙනෙත මුසුවෙමින් සංගීත රාවයට තාලයට පැද්දෙමින් ආලිංගනයේ බැඳී සිටින පෙම්වතුන්ට නොදැනීම කාලය ගතව ගියේය. මුහුදු සුළඟද හෝ හඬ නංවමින් ඇදී අවුත් ත්‍රැපොබේන් හෝටලයේ සුවිසල් වා කවුළු මතින් රිංගා ශාලාවට ඇතුළුවන්නේ ගත පුරා හී ගඩු රඳවමින්ය.

ආගන්තුක රටක හුදකලා ජීවිතයක අතරමංවුණු ඇය ජීවිතයේ සතුට සැනසුමද සොයා ආවේ මේ හෝටලයටය. රාත්‍රිය ගෙවා දැමීමට බොහෝ ප්‍රභූ කාන්තාවෝ මෙවන් දිවියකට බොහෝ සෙයින් ලැදි වී සිටි අතර හුදකලා වෙමින් පැවැති ජීවිතයට ඔසුවක් ලෙස ඇයද එයට හුරු වූවාය. එහෙත් ඇයගේ මේ රාත්‍රී සමාජ ශාලා ජීවිතයට සිය සැමියාගේ අප්‍රසාදය නොඅඩුව එල්ල වී තිබෙන බව ඇය දැන සිටියා ය. ඒ මොනවා වුණත් ඇය තම අසම්මත පෙම්වතා වූ රෙක්ස් දැකගන්නට නොඉවසිලිමත් වූවාය.

ඇය අවන්හලේ පසෙකට වී ඔහු දෙස බලා සිටියාය. තාලයට වැයෙන “ට්‍රම්පට්” වාදනය ඇයගේ සිතට දැන වූයේ සතුටකි. ඒ අතර ඔහුගේ කෙලිලොල් හැඟුම්බර ප්‍රේමණීය දෙනෙත් එකිනෙක මොහොතකට ගැටි ගියේ සංසාරයේ හුරුපුරුදු ආවේගයකිනි. ඔහු මුවපුරා ඇය හා සිනාසුණේය. ඒ ආදරණීය දෙනෙත්, තාරුණ්‍යය උතුරා යන කඩවසම් සිරුර, ඇය තුළ ඇති කළේ තව තවත් රමණීය සිතිවිලි වැළකි. අවන්හලේ නෙක පැහැති විදුලි බුබුළු අතරේ දෙනෝදාහක් මැද ඔහුත් ඇයත් ප්‍රේමයෙන් හුදකලාවෙමින් සිටියහ. ඇතැම් දිනක ඔහු තම නිවෙස අසලින් කාරය පදවාගෙන යන ඇය දැක තිබිණි. එවන් මොහොතක ඔහු ඉතා ළෙන්ගතු ලෙස අතවනමින් සිනහවී ගෙන යන අයුරු ඇය දුටුවාය.

බුරුමයේ උපන් අතිශය සුරූපී කාන්තාවක වූ ෂර්ලි බුන්වත් ශ්‍රී ලංකාවේදී හමුවූ රෙක්ස් ද සිල්වා නම් කඩවසම් සංගීත ශිල්පියා සමඟ අසම්මතයේ සෙනෙහසින් බැඳි ගියේ එලෙසය. සුරූපී 26 හැවිරිදි ෂර්ලි බුන්වත් ලංකාවට පා තැබුවේ 57 හැවිරිදි තම සැමියා වූ සාවෝ බුන්වත් සමඟ ය. ඒ ශ්‍රී ලංකාවේ බුරුම තානාපති බිරිඳ ලෙස සපැමිණි ගමනේ දීය. සත් සමුදුර වළල්ලෙන් එපිට සිටියද ඇයගේ ජීවිතයේ ඉරණම් ගමන වැටී තිබුණේ මේ ආකාරයට ය.

1967 වසරේදී ඇය මෙරටට පා තැබුවේ තම සැමියා සමඟ විවාහයට එළැඹ පස් වසරකට පසුව ය. 57 හැවිරිදි සාවෝ බුන්වත් ඒ වන විටත් වැන්දඹු පුරුෂයකු විය. ඔහුගේ කලින් විවාහයේ දරුවන් ද ඔවුන් සමඟ ලංකාවට පැමිණ සිටියහ. ෂර්ලි සමඟ විවාහ වනවිටත් ඔහුගේ කලින් විවාහයේ දියණිය පවා ෂර්ලිගේ වයසටත් වඩා වැඩිමහල් වියේ පසු විය. සිය මාපියන්ගේ කැමැත්ත හා යෝජනාව පරිදි ෂර්ලි බුන්වත් නම් සුන්දර යෞවනිය තමන්ට වඩා වසර ගණනාවකින් වැඩිමහල් සාවෝ සමඟ යුගදිවියට එළබුණාද, ඇය පැතූ ලෝකය ඇයට ලැබුණාද යන්න සැකයකි.

තම රාජකාරි කටයුතු අතර ලිපිගොනු පුරා මුළු දවසම ගත කරමින් සිටි සාවෝ තම තුරුණු වියේ සුරූපී බිරියගේ ඕනෑඑපාකම් පිළිබඳ සොයා බලන්නට කාලය ගත කළේ නැත. නිහඬ එහෙත් දැඩි පුද්ගලයකු වූ සාවෝ නිරන්තරයෙන්ම ගත කළේ ඇයට දැඩි නීතිරීති හා රැකවරණ යොදමින්ය.

ඇය නොවැරැදීම සවස් යාමයේ අවන්හලට ගියාය. ඒ වැඩියෙන්ම රෙක්ස් දැක ගන්නටය. ඔහු සමඟ වචනයක් කතා කරන්නය. ජීවිතයේ පාලුව කලකිරීම රෙක්ස්ගේ දසුනින් මොහොතකට දුරු වී යන්නේය.

‘’දෙයියනේ....රෙක්ස්.... මේ තරම් ප්‍රමාදවෙලා ඇයි අපිව මුණ ගැස්සුවේ. ඔබෙන් තොර ලෝකයක් මට තියේවීද රෙක්ස්....” ඇගේ නිදිගත් දෙනෙත් තුළ පවා සැඟව සිටියේ ඔහුගේ රුව ය.

‘’රෙක්ස් ...මට පාලුයි රෙක්ස්...මං සතුටින් ඉන්නේ ඔයා ළඟදී විතරයි. නැත්නම් මම හිරගෙදරක ඉන්නවා වාගේ මට දැනෙන්නේ....’’ ඇය තම පෙම්බරයා වූ රෙක්ස් ගේ තුරුලේ දොඩමලු වූ මොහොතක ඔහුගේ ළමැද හිස හොවාගෙන පැවසුවාය.

කාලය ජීවිතයේ පෑල දොරින් ඉගිලී ඈතට පාවී ගියේ බොහෝ පෙරැළි සිදු කරමින්ය.

දෙදෙනාට දෙදෙනා නොදැක සිටින්නට බැරි තරම් පේ‍්‍රමයේ මායිම් දැඩිව බැඳී ගොස් තිබිණි. රෙක්ස් නොමැති ජීවිතයක් තබා ඔහුගෙන් තොර සිහිනයක්වත් තිබුණාද? ඇය සිතුවාය. රෙක්ස් හමු වූ මොහොතේ සිට වෙන්වී යන මොහොත දක්වා කියාගන්නට බැරිව ලතැවුණු බොහෝ දේ ඇය හසුනකට ගොනුකර ඔහු අතර තැබුවේය. කෙසේ වුවත් රෙක්ස් තුළ වූයේ ද ඇය පිළිබඳ කිසියම් ගෞරවනීය බවකි.

‘’මැඩම් කලබල වෙන්න එපා.

තව ටිකක් ඉවසල බලන්න’’

‘’මොනතරම් සැප සම්පත් තිබුණත්....’ගැහැනියකට ආදරේ මොනතරම් වටිනවාද රෙක්ස්’’

විවාහ වු දා

ඇගේ දෙනෙත් අග ගලායන කඳුළු රෙක්ස් බලා සිටියේ හදවතේ උපන් අනුකම්පාවෙනි.

‘’මට මැඩම් කියන්න එපා රෙක්ස් ...එතකොට අපි හුඟක් ඈතයි. මට ෂර්ලි කියන්න. අපි කවදහරි ආත්මෙක එකට ඉන්න ඇති. අපි රටවල් දෙකක බව ඇත්ත. ඒත් සංසාරේ දවසක මට ඔය ඇස් හමුවෙලා තියෙනවා වාගේ දැනෙනවා රෙක්ස්....’’

ආදරයත් කැස්සත් සැඟවිය නොහැකි බවට කියමනක් ඇත. එය සැබෑවකි. තම බිරියගේ වෙනස්වීම සාවෝ තුළ ඇති කළේ සැකයකි. තම කනවැකුණු ආරංචි හමුවේ හදවත සසල වුවද ඔහු නිසලව සිටියේය. එක්තරා හැන්දෑවක සුන්දරව සැරසීගත් ෂර්ලි තම මෝටර් රථයෙන් රාත්‍රියේම නිවෙසට එමින් සිටියාය. සාවෝ සිටියේ ගිනිගන්නට ආසන්න තරමේ හදපුරා ඉහවහාගිය කේන්තියෙනි.

‘’ඔහොම හිටපන් මම දන්නවා උඹේ නාඩගම් සේරම. අදින් පස්සේ උඹ මේ ගෙදරින් එළියට යනව නෙවෙයි.’’

තම සැමියාගේ කෝපයෙන් නලියන දෙනෙත් හමුවේ ඇය මඳක් චංචල වුවත් ඇය ලෙහෙසියෙන් පසුබට වන්නියක් නොවුණාය. එහෙත් තරමක් සන්සුන්ව කටයුතු කිරීම නුවනට හුරුබව ඇය උඩුමහලට වී කල්පනා කළාය. ඇයට රෙක්ස් දැකගන්නට නැතිවීම වේදනාවකි. දිනපතාම ඇය මේ කවුළුවෙන් බලා සිටින බව දැන දැනම රෙක්ස් අතවනමින් මෝටර් රථය පදවාගන යන්නේ ඇයට පෙනෙන්නටය.

කෙසේ හෝ රෙක්ස් දැක ගැනීමේ උමතුවෙන් ඇය පෙලුණේය. දුරකථනයටද අත තැබීම පවා තහනම් වූ මොහොතේ ඇය අසරණව හදවතින් ඉකිබිඳිමින් යහනේ වැතිරී කළයුත්තේ කුමක්දැයි කල්පනා කරමින් පසු වූවාය. ඉන්පසු ඇය කළේ තම නිල නිවෙස යාබද වත්තක සිටි මෙහෙකාර කොලු ගැටයකු මඟින් රෙක්ස්ට හසුන්පතක් යැවීමට සැලසීමය. ඇය හසුන්පත ලියා ටෙනිස් බෝලයක් තුළ සඟවා එය යාබද නිවෙසේ කොලුගැටයාට ලැබෙන සේ ඒ වත්තට විසිකරයි.

ජීවිතයේ සියලුම සැලසුම් පරාජිත වූ කල්හි ඇය යම් තීරණයකට එළඹුණාය. නොනිදා හඬමින් ගෙවී ගිය රාත්‍රියක ඇය තම සුහදයාට හසුනක් ලීවාය.

‘’මගේ සදාදර රෙක්ස්. ආදරයේ නාමයෙන් මට කළ නොහැකි කිසිවක් නොමැත. මගේ ජීවිතයේ අවසන් තීරණය මෙය විය හැකිය. හරියටම උදේ 9.00 ට ගී‍්‍රන්පාත් කලාභවන ළඟට ඇවිත් ඉන්න. මා දැන් අත්තටු සිඳුණු කිරිල්ලියක්. එසේ ජීවත්වෙලා ඇති ඵලය කුමක්ද ? අපි දෙන්නට ලස්සන අතීතයක් තිබුණා. දැන් එය අවසානයද මම නොදනිමි. මට මේ ලෝකෙ වෙන කිසිදෙයක් එපා.’’

ඇගේ දුක්බර හසුන්පත කියවීමෙන් පසු රෙක්ස් මහත් වේදනාවට පත්වූයේය. තම ජීවිතයටද අවධානයක් ඇති බව රෙක්ස්ටද වැටහී තිබිණි. එහෙත් ඔහු ද තම පෙම්වතියට පණමෙන් ආදරය කළේය. ජීවිතයට ඇති අවධානමද නොතකා දෙදෙනා කෙලෙස හෝ එකම එක වතාවක් අවන්හලේදී හමුවූයේ සැලසුම් කළ පරිදිය.

වරෙක කඳුළින්ද වරෙක සිනහවෙන්ද සිප වැළැඳ ගත් පෙම්වත්හු ඔවුන්ටම වෙන් වූ ලොවක මොහොතක් ගත කළේය. ඔවුහු අනාගතය සැලසුම් කළේය. ඕනෑම දෙයකට මුහුණ දෙන්නට සිතාගත් රෙක්ස් හා ෂර්ලි කිසිවක් ගිවිසාගත්තේ රහසිගතවය. අවන්හලෙන් එළියටවිත් මොහොතක් දෑත් අල්වාගෙන ඇය මොහොතක් මිමිණුවාය.

‘’මට දැන් ජීවිතේ එපාවෙලා
මට ඔයා ගැන බයයි රෙක්ස්
ඔයාට මොනවහරි කළොත්....
මට මැරෙන එක හොඳයි
ඔයා පරිස්සමින් ඉන්න
හරියටම හෙට උදේ 6.00 ට
මං කියාපු තැනට ඇවිත් ඉන්න’’

ඇය සමුගෙන ගියාය.

රාත්‍රිය ගුප්තය දිගුය. නින්ද නේන රාත්‍රිය ඇයට වදයකි. ඔරලෝසුවේ ‘ඩග් ඩග්’ ශබ්දය පවා හදගැස්ම ඉක්මවා ඇයට ඇසෙන්නාක් බඳුය. තම සැමියා නිදියහනේ නැත.

ඇය සැමියාගේ කාමරයට එබී බැලුවාය. අලුයම අවදි වූ ඔහු ලිපිගොනු අතර බර කල්පනාවකය. 1967 ඔක්තෝබර් 15 දින වටින් ගොඩින් එළිය වැටෙද්දීම ඇය යහතින් අවදිව සූදානම් වූවාය. ඇය ජනේලයෙන් එබී බැලුවේ ධර්මපාල මාවත දෙසය. ඔහු දැනටමත් පැමිණ සිටිනවාට සැක නැත. ඇය අත්බෑගයද රැගෙන පඩිපෙළ බැස තම ඉරණම් ගමනට යාමට පිය එසවූවාය. වෙව්ලන අතැඟිලිවලින් දොරගුළු හැර මිදුලට පය තැබුවා පමණි. හෙන හඬ නගමින් පිටවූ වෙඩි හඬත් සමඟම කපාහෙළූ කඳක් මෙන් ඇය රුධිර ගංගාවක ඇද වැටුණාය. දුම්පිටවන රිවෝල්වරය අතැතිව මාරාවේශයෙන් ඇය පසුපස සිටියේ තම සැමියා වූ සාවෝ ය.

‘’රෙක්ස් මාව අරන් යන්න.

ඔයා කොහේද ? මාව බේරගන්න.

අයියෝ....රෙක්ස්’’

ඇය මරළතෝනි දෙමින් සිඳී යන පණ නළට මොහොතක් දිරි දුන්නාය. තම පෙම්වතා වූ රෙක්ස් සමඟ අලුත් ජීවිතයක් සොයා ඉගිලියාමට පා එසවූ සුන්දර ෂර්ලි බුන්වත් තම සැමියා අතින්ම මරු වැළඳගත්තේ අතීශය සංවේදී කතාවක් ඉතිරි කරමිනි.

බිම වැටුණු තම බිරිඳ රුධිරය ගලා උතුරා යද්දීම ඇගේ දෙපාවලින් ඇද නිවෙස තුළට ඇද දැම්මේ ඝාතනය බාහිර ලෝකයට වසන් කිරීමටය. ඒ අසල ගොඩනැගිල්ලක සේවය කරමින් සිටි පෙදරේරුවන් දෙදෙනකුද මේ සිද්ධිය හොඳ හැටි දුටුහ. ඉන්පසු සාවෝ බුන්වත් කළේ සුප්‍රකට රේමන්ඩ් ආයතනයට අවමඟුල භාරදීමය.

‘’මගේ නෝනා ඊයේ රෑ හදිසියේ ප්‍රෙෂර් හැදිලා මැරුණා. අවසන් කටයුතු කරලා දෙන්න. කීයක් ගියත් කමක් නෑ.’’

මරණ පරීක්ෂණ සහතිකයක් නොමැතිව එය කළ නොහැකි බව ඔවුන්ගේ පිළිතුර විය. කෙසේ වුවද අවසානයේ වෛද්‍ය සහතිකයක් පමණක් ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ කනත්තේදී ෂර්ලිගේ දේහය වළ දමනු ලැබුවේ මරණයෙන් පැය දෙකක් ගතවන්නටත් පෙරය.

ජීවිතයේ සැනසීම සෙනෙහස සොයා ඉගිලි ගිය අහිංසකාවියක් වූ 26 හැවිරිදි ෂර්ලි උපන් රටින් දුර ඈත කෙදෙව්වකදී අමානුෂික ලෙස ජීවිතය හැර ගියාය. 1967 වසරේදී කොල්ලුපිටිය ධර්මපාල මාවතේ (එවකට ටර්ටි පාරේ) පිහිටා තිබූ බුරුම තානාපති කාර්යාලයේ පදිංචිව සිටි ෂර්ලි එවකට බුරුම තානාපතිවරයාගේ බිරිය වූවාය.

ශ්‍රී ලංකා පොලිසියට නීතිමය කටයුතු කිරීමට එහිදී නොහැකි වූයේ පිළිගත් ජාත්‍යන්තර නීතිරීති අනුවය. තානාපති කාර්යාලයට පොලිසියට ඇතුළුවීමට අවසර නැත. පොලිසිය එහි පැමිණි විට තානාපති සාවෝ පැවැසුවේ ‘මෙහේ කිසිම ප්‍රශ්නයක්’ නැත යන්නය.

පසුව මිනීමැරුම් වරදට බුරුමයෙන් පැමිණි නිලධාරීන් දෙදෙනකු විසින් සාවෝ බුරුමයට රැගෙන යන ලදී. එහිදී වසර 4 ක සිරදඬුවමක් නියම වූ බව පැවැසේ. එහෙත් තම රටේ ගෞරවය රැක ගැනීම උදෙසා කළ ඝාතනයක් නිසා එය අත්හිටවූ සිරදඬුවමක් ලෙස ලිහිල් කරන ලද බව පසුව ප්‍රකාශ විණි.