සයුරු වෙරළක ජීවිතය පිදූ සාගරිකා

සයුරු වෙරළක ජීවිතය පිදූ සාගරිකා

සාගරිකා ඝාතනය කොට වසර 23 යි

බිනර මහේ පුරා පොහොය සඳ පිපෙන්නට මෝදු වෙමින් තිබිණි. එහෙත් සතර අතින්ම බියකරු අඳුරු සේයාවන් නිසොල්මනේ ඇදී ගියේ මුළු මහත් මිනිස් ජන දිවියේ විවිධ හැලහැප්පීම් තව තවත් මතු කරවමිනි. 1989 වසරේ සැප්තැම්බර් මාසයේ 13 වැනිදාට එළැඹිණි. දවස මහලුවෙමින් ඉර අවරට ගියේ අඳුරු ගොම්මන් සළුව සාගරිකාලාගේ ගම් පෙදෙසටද ගුප්ත නිහැඩියාවක් සමඟින් විසුරුවාලමිණි. ඇය මෙහෙවර නිමකොට වෙහෙස නොබලාම නිවෙස බලා ආවාය. වෙනදා සුපුරුදු ගහකොළ මහපාර පසුකරමින් ඇය තම නිවෙසට ළඟා වූවාය. දුර තියාම ඇය දුටුවේ ගොම්මන් අඳුර ඇතිරූ නිවෙසෙහි කවදාවත් නොමැතිව පහනක් හෝ දැල්වී නොතිබුණි සෙයකි. ඇය තව තවත් ඉක්මනින් නිවෙසට පා නැගුවාය. සැබෑවකි මුළු නිවෙසම අඳුරේ ගිලී තිබිණි.

“අම්මේ ඇයි කළුවරේ. ලයිට් එකක්වත් දාලා නැහැ.”

“ඇගේ හඬ අඳුරු නිවසේ නින්නාද දුන්නද කිසියම් බියකරු යමක් ඒ නිවෙස තුළ සැලසුම්ගත වෙමින් තිබිණි.ඇගේ හඬට දොර විවර විය. එහෙත් ඇය දුටුවේ තම ආදරණීය කුටුම්භය තුළින් වෙනදා දකින ළෙන්ගතු කිසිවකු නොවේ. ඇය නොදන්නා මිනිස් රූ කිහිපයක් මතු වූයේ ඒ අඳුර තුළින්මය.”

“හ්ම්. සද්ද නොකර අපි කියන විදිහට වැඩ කරන්න ඕනෙ.”

ඒ නන්නාඳුනන අවිගත් මිනිස් රූ ඇය වෙත අණ දුන්හ.

සියල්ල පුදුමයකි. මේ කුමක් සිදුවන්නේ ද? තමන්ගේම නිවෙස තුළ අණසක පතුරවන්නේ නාඳුනන පිටස්තර පිරිසකි. නිවෙසෙහි දොරගුළු ලා ඇය ගෙට දමා තවත් කාමරයකට රැගෙන ගොස් ඇයගෙන් බොහෝ දේ විමසූහ. තත්ත්පරයෙන් තත්ත්පරය ගෙවී යන්නේ සිතන්නට හී කියන්නට කිසිවකට ඉඩ නොතබාය. එහෙත් ඇගේ සිත දැඩිය. තමන් කළ වරදක් නොමැත. වුණ දෙයක් වුණාවේ...ඇය සියල්ලටම නොබියව පිළිතුරු දුන්නාය.

එහෙත් ඇසූ නෑසූ බොහෝ දේ දන්නේ ඇයත් නාඳුනන අලුගෝසුවන් රෑනත් පමණය. ඔරලෝසුවේ ඩග් ඩග් ශබ්දය අභිබවා ඇසෙන්නේ තම නිවෙස තුළම සිරගත කළ ඔවුන්ගේම හදවත් ගැහෙන හඬය. ඇයටද භීතියක් නොදැණුනාම නොවේ. සැඟවී ගත් මරණයේ ආඥාව මුළුමහත් ගම්බිම් සිසාරා කිනම් මොහොතක හෝ හඹා ආ යුගයක අහිංසක යුවතියකට කළ හැක්කේ කුමක් ද? ගතවී ගිය අඩහෝරාව තීරණාත්මකය.දොරගුළු හැර දැමූ දාමරික පිරිස නිවැසියෝ එක්තැනකට ගාල් කළහ. හදවත නාඳුනන බියකින් පෙළී යද්දී සාගරිකා හදවතට දිරි ගත්තාය.

“යමු අපිත් එක්ක”

ඒ ඔවුන්ගේ හඬය.කඳුළු, වැලපුම්, ආයාචනාවන් ඒ මොහොතේ සිරගතකර අවසන්ය. දෙවියනේ...මේ මොන අපරාධයක්ද? මගේ කෙල්ල තනිපංගලමේ නාඳුනන මිනිසුන් රෑනක් සමඟ පිටත්කර හරින්නට...එක මොහොතක් මවගෙන් දුරස්ව රැයක් ගත කරන්නට හුරුපුරුදු නැති දෝණිය...” ඇගේ මව රූපාගේ පපුවේ ගින්දරින් මුළු රාත්‍රියම දැවී නොගියා නම් එය විශ්වාස කළ යුතුව ඇත. “හෙට අනිද්දා පෝරුමස්ථකව නිවෙසින් පිටත්ව කුලගෙදරට වඩින්නට පෙරුම් පුරා සිටින මගේ රත්තරන් කෙල්ල. කෙල්ලක් තබා කොල්ලෙක්වත් මේ රාත්‍රියේ පිටස්තරයින් කැටිව පිටත් කළ හැකිද?

“අම්මා බය වෙන්න එපා.

මේ මල්ලිලා මාව එවයි.” ඇය තම ගෙලබැඳි රන්මාලය, වළලු ජෝඩුව ගලවා තම පියා අත තැබුවේ එළැඹෙන තීරණාත්මක ගමනට පිවිසෙන්නට පෙරාතුවය. රාත්‍රිය අවිනිශ්චිතව ගෙවී යන්ට ඇත. අමෝරාගත් ගිනි අවියට නිවැසියෝ නතු ව සිටියහ. සාගරිකා රැගෙන ගොස් හරියට ම හෝරාවක් ගතවූ තැන රැකවල්ලු නිවැසියෝ නිදහස් කළහ. අවිචාරවත් යුගයක අභියස බිහිසුණු කළුවර රාත්‍රියක රටක් හැඳින සිටි 27 හැවිරිදි සුන්දර කෙල්ලකගේ ජීවිතය කිසියම් පිරිසක් විසින් අමානුෂිත ලෙස උදුරාගත්තේ සංවේදී මිනිසුන්ගේ නෙතඟ උණුසුම් කඳුළකින් තෙමී යද්දීය. මහා සාගරයේ දළ රළපෙළ පවා මේ අපරාධයෙන් උමතුව හඬා වැළපෙමින් රළ බිඳ දැම්මේය. සයුර අබියස ලැගුම්ගත් පක්ෂීහු මහ හඬින් ඉගිල අහසට නැගුණේ ‘අනේ මේ අපරාධය නොකරන්න’යි කියන්නාක් මෙනි. ඇය මුවහත් පිහිතුඩක් ඇතැතියන් දුටු මොහොතේ සන්ත්‍රාසයෙන් භීතියට පත්වන්නට ඇත.

“අනේ මා නොමරන්න. මා වරදක් කර නැතැ”යි ඉකිබින්ද මොහොතේ ඒ රුදුරු මිනිසුන්ගේ හදවත් උණු නොවුණු හැටි සරස්වතිය නිරන්තරයෙන් ලැගුම්ගත් ඒ හදවත පාළු මූසල හුදකලා යාමයක සමුදුරු තලාවක කෙළවර සදාකාලයටම නිද්‍රාවට පත්කළ මොහොතක ඒ හදවතේ මොනතරම් නූපන් පැතුම් ගොන්නක් වියැකී යන්නට ඇති ද? නොපෙනෙන දෙවියකු හෝ පැමිණ මේ වදකයන්ගෙන් මා ගලවා ගන්නවානම් අසරණ වූ මොහොතක ඇයට සිතෙන්නට ඇත.

“අනේ මල්ලියේ මං කුප්පි ලාම්පුවෙන් පාඩම් කරලයි, මේ තත්ත්වයට ආවේ මාව මරන්න එපා මල්ලියේ....” කිසිදා අයුක්තියට නොනැමුණ, අසාධාරණය හමුවේ නොසැලුණු ඇය ජීවිතය ඉල්ලා නැගූ හඬ ඒ කුරිරු ම්ලේච්ඡ සහාසිකයන්ට ඇසුණේ නැත.

1989 සැප්තැම්බර් මස 13 වැනිදා රාත්‍රියේ පැහැරගෙන යනු ලදුව මරා දැමුණු සාගරිකා චාන්දනී ගෝමස් කලාශිල්පිනියගේ සිරුර පසුදා අලුයම දෙහිවල මුහුදු තීරයේදී තිබී හමුවන විට මුළු මහත් සිරිලකම එදෙස බලා සිටියේ අතිමහත් සංවේගයකින් යුතුවය.

ඇය 1961 ඔක්තෝබර් මස 19 වැනි දින කොළඹ කාසල් කාන්තා රෝහලේ දී උපත ලැබුවාය. මිය යන විට 27 වැනි වියේ පසුවූ ඇය තව නොබෝ දිනකින් හමුදා නිලධාරියකු වූ තම පෙම්වතා සමඟ යුගදිවි ගමන් ඇරඹීමට පෙරමඟ බලමින් සිටියාය. සොයුරු සොයුරියන් සිවු දෙනකුගෙන් යුතු පවුලක සුරතලිය ලෙස ආදරය හිමිකරගත් ඇය රූපා හා සැම්සන් නම් මාපිය යුවලගේ සෙනෙහස නොඅඩුව හිමිකරගත්තාය.

උපන්දා සිටම සුවිශේෂී හැකියාවන් ප්‍රකට කළ සාගරිකා සරස්වතියගේ ඇල්ම බැල්ම නිරන්තරයෙන්ම ලබා තිබූ බව සැම්සන් රූපා යුවල දැන හඳුනා ගත්තේ ඇගේ සිඟිති වියේදීමය. පුංචි සාගරිකා අහස දෙස සඳ දෙස බලා සිඟිති වියේදීම කවි පදවැල් බැන්දේය. පුංචි සිරුර රිද්මයට ලෙලවා තාලයට සිඟිති රැඟුමක් රැඟුවේ කාගේත් ආදරය නොඅඩුව ලබමින්ය.

පුංචි ළමුන් හරි හොඳයි
රෝස පඳුරෙ මල් වගෙයි
නරක ලොකු මිනිසුන් තමයි
රෝස පඳුරෙ කටු වගෙයි

මේ ඇය ලියූ සිඟිති පදවැල් ය.

දෙහිවල ප්‍රෙස්බ්‍රෙටේරියන් විදුහලෙන් ද පසුව දෙහිවල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්ද නැණ පහන් දැල් වූ සාගරිකා තම නිසඟ කලා ප්‍රතිභාවන්ද ඔප්නංවා ගත්තාය. වජිරා චිත්‍රසේනයන් ඇසුරේ නැටුමට පා තැබූ ඇය ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන්ද තම ප්‍රතිභාවන් කලඑළි දුටුවාය. ගුවන් විදුලියේ ජනප්‍රිය, නාට්‍ය සඳහා තම හැකියාවන් එක්කළ සාගරිකා ශ්‍රාවකයන්ගේ අමන්දානන්දයට ලක් වූ අතිශය සුවිශේෂී චරිතයක් වූවාට සැක නැත.

හැම තැනදීම එඩිතරව ඕනෑම දෙයකට මුහුණ දෙන තම පවුලේ සුරතලිය දෙස රූපා මෙන්ම සැම්සන් දෙපළ ද බලා සිටියේ සෙනෙහස උතුරන දෑසින්ය. තම පවුලේ අගහිඟකම් දැන හැඳින හැකි අයුරින් හැම විටම ගෙදරට යුතුකම් ඉටුකරන දියණිය සැබැවින්ම ඒ අගහිඟකම් උතුරාගිය නිවහනේ ආලෝකය දුන් ‘පහන් සිළුව‘ ම වූවාය. එදා රාත්‍රියේ තමන්ගේ තුරුලෙන් උදුරාගෙන ගිය සදාදර දියණිය පසුදින වනවිට කපාකොටා පණනල සුන්කළ සිරුරක්ව වෙරළක අද්දර නිසොල්මන් කර තිබුණු අයුරු ඒ අම්මා දුටුවාය. ඒ දෙනෙත් ඇයට ඇදහිය නොහැකිය. කලින් දා හැන්දෑවේ පුරහඳක්මෙන් හිනැහිගෙන නිවෙසට පය නැගූ දියණිය පණ පිටින් දුටු අන්තිම වතාව එයම වේ යැයි ඇය සිහිනෙකින් හෝ නොසිතුවාය.

“මගේ රත්තරන් දුව දන්න දේශපාලනයක් නැහැ. එයා කාටත් උදව් උපකාර කළා. එයාගේ හැකියාවන් දැකලා එයාට රැකියාව දීපු අයට එයාගෙ තිබුණෙ ගෞරවයක්. පුරපෝයහඳ නැගගෙන එද්දි ගෙට පැනපු තිරිසන්නු දුවව වැල්ල අයිනේ මරා දාලා තිබුණා.” වියපත් සැම්සන් පියාගේ හදවතද දැවී අළු වී ගිය කලෙක මෙනි.

පොහොසත් නොවූ පවුලක උපත ලබා තම වෙර වීරියෙන් ජීවිතය ජයගත් සාගරිකා හැකි අයුරින් කාටත් තම යුතුකම් ඉටුකළේ හදපුරා සතුටින් යුතුවය. ඇය මාපියන් වෙනුවෙන් වෙහෙසුණාය. සොයුරු කැල වෙනුවෙන් වෙහෙසුණාය. ඉනිඳු නොනැවතී ඔවුනගේ කිරිදරුවන් වෙනුවෙන් කළයුතු සියල්ල නොපමාව ඉටුකර දුන්නාය. එහෙත් නොපසුබට දිරියෙන් ජීවිතය ජයගත් ඇයට ඉරණමේ කුරිරුතර සරදමෙන් ගැළවීයාමට ඉඩ ලැබුණේ නැත. යොවුන් වියේ මල්වර වයසේ ඇයට උරුම වූයේ අතිශය අමානුෂික මරණයකි. දිවියන් රැළකට හසුව ලේ ගලන ගොදුරක්ව ඇය ජීවිතයෙන් සමුගත්තාය. එහෙත් ඇගේ ජීවිතය නවතාලුවද ‘සාගරිකා ගෝමස්’ තවමත් අප රටේ කලාවට ලැදි මිනිසුන්ගේ චිත්ත සන්තානයේ නොනැසෙන පිළිරුවක්ව කිසියම් මොහොතක හෝ රිදී රේඛාවක් සේ දැල්වී නිවී යනවා ඇත. තියුණු මුවහත් අවියකින් අමානුෂික ලෙස ඇගේ ගෙල සිදී ගොස් තිබිණි. දකුණු කොළඹ මහ රෝහලේදී ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකෙරිණි.

ඇය මිය යන විට ටවර්හෝල් පදනමේ පොත් තබන්නියක ලෙස සේවය කරමින් සිටියාය. එහිදී ඇගේ කලා කටයුතු මුවහත් කර ගැනීමට කදිම තෝතැන්නක් වූවාට සැක නැත. එහිදී ලද ශිෂ්‍යත්වයක් අනුව 1983 වසරේදී ඇය කල්කටාව බලා පිටත්ව ගියේ නාට්‍ය පාඨමාලාවක් හැදෑරීම සඳහාය. අඩියෙන් අඩිය ඉදිරියට පා තබන ආදරණීය දුව රූපා අම්මාගේත් සැම්සන් පියාගේත් සිහිනවල වීරවරිය වී සිටියහ. ඔවුන්ගේ ලෝකයට මිනිපහනක් සේ එළිය දුන්නේ ඇයයි.

ඒ ජීවිත අඳුරට හෙළමින් එක්තරා අනුවේදනීය දිනයක ඒ ආදරණීය මිනිපහන කවුරුන් හෝ විසින් රැගෙන ගොස් තිබිණි. ඉතින් ඒ නිවහනට සදාකාලයම හිරු පායන්නේ නැති බව ඔවුහු දනිති. ඒ මිනිපහන නැති නිවෙසට හිරු දහසක් පෑයුවත් ආලෝකයක් නොලැබෙන බව සහතිකය. සාගරිකා අපෙන් උදුරාගෙන සැප්තැම්බර් 13 වැනිදාට වසර 23ක් ගෙවී හමාරය. එහෙත් ඒ ළබැඳීයන්ගේ නෙත්වල කඳුළු වියැකෙන්නේ නැත. අතීතයේ වේදනාබර මතකය හදවත් පහුරුගාලමින් යෝධ රළ කඳක් සේ නිබඳව ගලා එනවාට සැක නැත. ඒ මාපියන්ගේ හදවත් තවමත් ඉකිබිඳින්නේ එලෙසය.

“සාගරිකාව විතරක් නොවෙයි. උන් විනාශ කළේ අපේ මුළු පවුලම. අපේ ජීවිත හැමෝම උන් විනාශ කළා.”

සිනාවෙන් කෙලිලොල්බවින් පිරුණු සාගරිකාගේ සොඳුරු රුව ආයේ දකින්නට නැත. කුරිරු මිනිසුන්ගේ රුදුරු හස්තයට ඒ රුව මිරිකී පොඩිපට්ටම් වී හමාරය. ප්‍රවෘත්ති කියන්නට එපා යයි තහනම් වූ යුගයක ඇය නොබියව රූපවාහිනියෙහි ප්‍රවෘත්ති කීවාය. ඇගේ රුව මෙරට ප්‍රේක්ෂකයන් දුටු අවසාන දසුන එයම විය. ඇත්තටම ඇය මරාදැමුවේ කවරහුද? අවිගත් කල්ලියක පටු දැක්මක් ඉදිරියේ ඇයට මරණය උරුම වීද? පෞද්ගලික වෛරයක කෙළවර ඇය මරා දැමුවා ද? එය දන්නේ සාගරිකාත් ඒ අවිදැරූ මිනිසුන්ම පමණකි.

කලා කරුවන්ට ලොවම ආදරය කරයි. එහෙත් එක්තරා යුගයක ලොවම සැනැසු කලාකරුවන් වෙඩි උණ්ඩයට ගොදුරු වූයේය. සමනලයන්ට වෙඩි තබන්නට හැකි රුදුරු මිනිසුන් ඒ දහමද උදුරා දැම්මේ එලෙසය. කෙලෙස හෝ එය සිදුව ඇත. ඇගේ මාපියන් තවමත් අසන පැනයකි.

“කුරා කුහුඹුවකුටවත් වරදක් නොකළ මගේ රත්තරන් දුව මරා දැම්මේ ඇයි? කලාකාරියන් විදිහට ගීතයක් ප්‍රවෘත්තියක් කිව්වාම ඒක මරන්න තරම් වරදක් ද?”

ආදරණීය සාගරිකා, නොඑසේ නම් ආදරණීය ‘වසුන්දරා’ අවිචාරවත් යුගයක් ගෙවී ගියේ ඔබේ සුන්දර වටිනා යෞවන දිවියද මල් නටුවකින් සිඳබිඳ දමන්නාක් පරිදිය. ඔබ අද සිටියානම් ඔබේ ජීවිතයේ ජයග්‍රාහී අර්ධ සතකය ගෙවමින් සිටින සුන්දර බිරිඳකි, ආදරණීය මවකි. එහෙත් ඔබේ නෙත්සිත් බඳනා සිනහව, ආදරණීය කටහඬ අද නිද්‍රාවට පත් ශෝක ගීතයක්මය.