බිරිය රට ගිය වේදනාවට කනේරු ඇට කවා දරුවා මරා දාලා

බිරිය රට ගිය වේදනාවට කනේරු ඇට කවා දරුවා මරා දාලා

මවුපියන්, වැඩිහිටියන්ගේ අනුවනකම් හේතුවෙන් දරුවන්ට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවන අවස්ථා අපි කොතකුත් අසා ඇත්තෙමු.

එවන් ශෝචනීය සිද්ධියක් පසුගියදා මාරවිල ප්‍රදේශයෙන් ද වාර්තා විය. ඒ වයස අවුරුදු තුනහමාරක් වූ තම සිඟිති දරුවාට වස පොවා පියාද වස කෑමේ සිද්ධියකි. මෙහිදී අහිංසක දරුවා මිය ගිය අතර වස කෑ පියාගේ ජීවිතය බේරිණි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගියේ රන්දෙනි ආරච්චිගේ අශේන් සවිඳු නමැති දරුවායි. මාරවිල මූලික රෝහලට ඇතුළත් කෙරුණු පියා රන්දෙනි ආරච්චිගේ සුජිත් නිශාන්ත අප්පුහාමි නම් වූ වයස අවුරුදු 35 ක පුද්ගලයෙකි.

සුජිත් නිශාන්ත මාරවිල කුරුස පල්ලිය මාර්ගයේ පදිංචිව සිටි අතර ඔහු එදිනෙදා ලැබෙන කුමක් හෝ රැකියාවකින් ජීවිතය ගැටගසා ගනී. මීට වසර දාහතරකට පෙර හලාවත බංගදෙණිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටි නිරෝෂා මානෙල් නමැති කාන්තාව සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් මත ඔහු ඇය හා යුග දිවියට එළැඹිණි.

ඉන්පසු ඔවුහු බංගදෙණිය කෝට්ටපිටිය - හේන්යාය ප්‍රදේශයේ ඇගේ නිවෙසේ ජීවත් වූහ. දැනහඳුනාගෙන ආදරය කළ නිසා විවාහ ජීවිතය ද ඔවුහු සතුටින් ගත කළහ. ගහට පොත්ත මෙන් බද්ධ වූ ඔවුන්ගේ කැදැල්ලට කුළුඳුල් දරුවා එකතු වන්නේ මේ අතරතුරය. කුළුඳුලේම ලැබුණු දරුවා පුතකු වීමද ඔවුන්ගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීය. කාලය කෙමෙන් ගෙවී යන අතරතුර ඔවුන්ගේ කැදැල්ලට තවත් සාමාජිකාවක් එක්විය. දෙවන දරුවා ගැහැනු දරුවකු වීම ඔවුන්ගේ සතුට තව තවත් වැඩි කරන්නට හේතුවිය. මෙලෙස වසර කිහිපයක් ගත වෙද්දී පවුලේ විවිධ අගහිඟකම් ඇති විය. ආදරය සෙනෙහස වගේම බැඳීමද කෙමෙන් කෙමෙන් පෑල දොරින් පලායාමට පටන් ගත්තේය. ඇතැම් අවස්ථාවල දෙදෙනා අතර ඇතිවන අඩදබර හේතුවෙන් සැමියා දරුවන් දෙදෙනාද රැගෙන මාරවිල ඔහුගේ නිවෙසට ගියහ. එහෙත් ටික දිනකින් ආරවුල විසඳී ඔවුහු නැවතත් බිරියගේ නිවෙසට යන්නට පුරුදු වී සිටියහ. භේද බින්නවීම් ටික දිනකින් දෙදෙනාගේම මතකයෙන් ඈත් වී ගියහ.

සැමියා බිරියගේ අමනාපකම් තිබෙන්නේ “ලිපේ තැබූ බත් මුට්ටිය ඉදෙනතුරු පමණක්” යැයි කියමන සනාථ කරමින් ඇතැම් අවස්ථාවල ඇති වූ අඩදබර සිත් අමනාපකම්, සුළු කාලයකින් පහවයාම දෙදෙනාටම කිසියම් මානසික සුවයක් ගෙනදුන්හ. එහෙත් අමනාපකම්, රණ්ඩු සරුවල් මැද දෙදෙනාම ජීවිතය ගෙවන්නට වූහ.

මේ අතරතුර ඔවුන්ගේ පවුලට තවත් සාමාජිකයෙක් එක්විය. ඒ දෙවැනි දරුවා ඉපදී වසර 7කට පමණ පසුවය. ඒ බඩ පිස්සා අශේන් සවිඳුය. ඔහු ඉපදී මාස කිහිපයක් යනතුරු මාපියෝ සතුටින් ගත කළද අළු යට ගිනි පුපුරු මෙන් ඔවුන්ගේ හැල හැප්පීම් නැවත නැවත මතුවී ආවේය. සැමියාට බිරියත්, බිරියට සැමියාත් නොරුස්සන තත්ත්වයක් ඇතිවූහ. ඇනුම් බැනුම්, හැල හැප්පීම් ඇතැම් අවස්ථාවල කෙළවර වූයේ ගුටිබැට හුවමාරුවෙන්ය.

දිගින් දිගටම පැවැති මෙම තත්ත්වය මත සුජිත් නිශාන්තගේ බිරිය බාල දරුවාට මාස 08ක් ගතවෙද්දී විදෙස් රැකියාවකට යාමට තීරණය කළාය. ඒත් සැමියාගෙන් ඊට නිරන්තරයෙන් බාධා එල්ල විය. දරුවන් තිදෙනා තනිකර දමා බිරිය විදෙස්ගතවීම සම්බන්ධයෙන් සුජිත් නිශාන්ත දැඩි ලෙස විරුද්ධ විය. එහෙත් පවුල තුළ පවතින ආර්ථික අගහිඟකම් හමුවේ ජීවත්වීමට නොහැකි බව දත් ඇය තීරණය වෙනස් නොකළාය. සැමියාට නොකියා ඒ සඳහා අවශ්‍ය ලියකියැවිලි ද සකසා ගත්තාය. නිවෙසින් පිටත්ව ගොස් දින ගණනාවක් යෙහෙළියකගේ නිවෙසේ කල් ගෙවා ඩුබායි හි ගෘහ සේවිකාවක් ලෙස සේවය සඳහා ඇය පිටත්ව යනතුරු සැමියා ඒ බවක් දැන සිටියේ නැත.

බිරිය පිටත්ව ගොස් මාස කිහිපයක් දරුවන් තිදෙනා සමඟ ඇයගේ නිවෙසේ ගත කළ සුජිත් තවදුරටත් දරුවන් තිදෙනා තනිවම බලා කියා ගැනීමට නොහැකි තැන සිය මව ජීවත්ව සිටින මාරවිල කුරුස පල්ලිය මාර්ගයේ පිහිටි නිවෙසේ පදිංචියට පැමිණියේය.

සුජිත්ගේ මවත්, ඔහුගේ වැඩිමල් සොහොයුරා හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ද මෙම නිවෙසේ පදිංචි වූහ. නිවෙසට යාබදව ඉදිකර ඇති කාමරයක සුජිත් දරුවන් තිදෙනා සමඟ ජීවත් වූහ. එය ඔවුන් පැමිණීමට පෙර සුජිත්ගේ මව සිටි කාමරය විය.

මෙලෙස දින සති මාස ගණන් ගතවිය. දරුවන් තිදෙනා රිසි සේ විනෝද වෙමින් කාලය ගත කරන්නට වූහ.

නිවෙසට යාබදව තිබෙන නිවෙසකට මෙම දරුවන් නිතර නිතර යෑමට ද පුරුදු වූයේ ඔය අතරය. ඒ එම නිවෙසේ සිටි දරුවන් සමඟ කෙළිසෙල්ලම් කිරීමටය. එම නිවෙස්හිමි කාන්තාව නිශාන්තගේ දරුවන්ටද ආහාර පානාදිය ලබාදීමට ද කටයුතු කළාය. ඔවුන්ට ආදරය, සෙනෙහස දැක්වූවාය. මවගේ සෙනෙහස ආදරය අවශ්‍යම කාලයේ එය අහිමිවීම නිසා සුජිත්ගේ දරුවන් ද නිරායාසයෙන් ඇයට ළං විය.

මේ අතරතුර විදෙස් ගතව සිටින සුජිත්ගේ බිරියගේ දුරකථන අංකය ලබාගත් එම නිවෙස හිමිකාරිය ඇය සමඟ දුරකථන පණිවුඩ හුවමාරුද කරගත්තාය. එවැනි අවස්ථාවල දරුවන්ගේ සැපදුක් විමසීමට ද සුජිත්ගේ බිරිය අමතක නොකළාය. ටික කලක් ගතවෙද්දී සුජිත්ගේ වැඩිමල් දරුවන් දෙදෙනාට එනම් වයස අවුරුදු දහතුනක් වන සුමුදු නිර්මාල් පුතාටත් වයස අවුරුදු එකොළහක් වන නදීෂා සෙව්වන්දි දියණියටත් මවකගේ නිසි රැකවරණය නොලැබීම නිසා ඔවුන්ගේ අනාගතය සකසා ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමේ පියවරක් ලෙස ඔවුන් දෙදෙනා ළමා නිවාසවලට යොමු කිරීමට ද එම කාන්තාව පියවර ගත්තාය. ඒ දරුවන්ගේ පියා හා මව දැනුවත් කිරීමෙන් පසුවය. දියණිය ගාල්ලේ පිහිටි ළමා නිවාසයකටත් වැඩිමල් පුතා දංකොටුව තඹරවිල ප්‍රදේශයේ ළමා නිවාසයකටත් භාර කෙරිණ. දරුවන් දෙදෙනාගේම බාරකාරත්වය මෙම කාන්තාවගේ නමින් සිදුවිය.

සුජිත් නිශාන්ත සිය බාල දරුවා වන අශේන් සමිඳු සමඟ ජීවත් වූහ. විවිධ රැකියාවල නිරත වූ සුජිත් තණකොළ කපන යන්ත්‍රයක් මිලදී ගෙන යතුරුපැදියෙන් නිවෙස්වලට ගොස් තණකොළ කැපීමටද පටන් ගත්තේය. ඒ යන සෑම විටම බාල දරුවා රැගෙන යාමට ද ඔහු අමතක නොකළේය. බාල දරුවාට සුජිත් අසීමිතව ආදරය කළේය. ඒ නිසා යන සෑම තැනකම දරුවා රැගෙන යාම සුජිත්ගේ පුරුද්දක් විය. මොනවා හරි යමක් කෑමට දී සෙල්ලම් කිරීමට අවශ්‍ය පරිසරයක් දරුවා වෙත ළංකර ගෙවතු සුද්ද කිරීමේ කටයුතුවල සුජිත් නිරතවිය. බොහෝ අවස්ථාවල දරුවාගේ අවශ්‍යතා සියල්ල ඉටු කරන්නේ ඔහු විසින්ය. විශේෂයෙන් දරුවා නැහැවීම කැවීම පෙවීම පවා ඔහු අතින්ම සිදුවිය.

මේ අතරවාරයේදී නිවෙසට යාබදව පිහිටි නිවෙසේ සිටි කාන්තාව සමඟ කිසියම් හේතුවක් නිසා සුජිත් අමනාප විය. එම අමනාපය රණ්ඩු සරුවල් දක්වා දුරදිග ගියේය. සුජිත්ගේ හැසිරීම් හේතුවෙන් ඇය විවිධ චෝදනා කරමින් ඔහුට බැණ වැදීමට පටන් ගත්තාය. මේ සියලු චෝදනාවලට තමන් වැරදි නැති බව සුජිත් ඇයට පැවසුවද ඇය ඒ බවක් පිළිනොගත්තාය.

අවසානයේ මොවුන්ගේ අමනාපය තද වෛරයක් බවට පත්වන්නට විය. සුජිත්ට එම කාන්තාවත්, ඇයට සුජිත්වත් නයාට අඳුකොළ මෙන් විය. මෙම විරසකය පොලිස් පොතේ සටහන් වන තරමටම දුර දිග ගියේය. තම දියණියට අතවර කිරීමට පැමිණි බව කියමින් ඇය සුජිත්ට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් ද දැම්මාය.

කාලය මෙසේ ගෙවී ගියේය. ඒ ඉකුත් 17 වැනිදාය.

දරුවාද කැටුව යතුරුපැදියෙන් තණකොළ කැපීම සඳහා සුජිත් සුපුරුදු පරිදි නිවෙසින් පිටවීය. එදින සවස හයට පමණ වැඩ නිමවී නිවෙසට පැමිණි ඔහු සිය පුතා සමඟ නින්දට වැටුණද සුජිත්ගේ අහළකටවත් නින්ද පැමිණියේ නැත. එකවර අවදි වූ ඔහු පුතාව යතුරුපැදියේ තබාගෙන නිවෙසින් පිටත්ව යන්නට සූදානම් විය. යතුරුපැදිය නිවෙසින් මාර්ගයට දැමීමට උත්සාහ කිරීමේදී දරුවා වමනය කරන බව සුජිත්ගේ වැඩිමල් සොහොයුරාත් සෙසු පිරිසත් දුටුහ. වහා කලබල වූ ඔවුහු ත්‍රිරෝද රථයකින් දරුවා මාරවිල මූලික රෝහලට රැගෙන ගියහ.

පසුව නිවෙස අසල පුටුවක වාඩිවී සිටි සුජිත්ගෙන් දරුවා වමනය කළේ මන්දැයි වැඩිමල් සොහොයුරා විමසුවේය. කනේරු ඇටවලට සීනි දමා මිශ්‍රකර පුතාට කන්න දී තමනුත් ඒවා කෑ බව සුජිත් සිය සොහොයුරාට කීවේය. අනතුරුව නිවැසියන් එක්ව සුජිත්ව ද රෝහලට රැගෙන ගියේය. වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නත් කනේරු මිශ්‍රණය වැඩිපුර ශරීරගතවීම නිසා පුංචි අශේන් මෙලොවින් සමුගත්තේ කාගේත් දෙනෙත්වලට කඳුළු පුරවමින්ය. සුජිත් නිශාන්ත මාරවිල රෝහලට ඇතුළත් කළද ඔහුට බරපතල තත්ත්වයක් නැතැයි රෝහල් කාර්ය මණ්ඩලය කීවේය.

කෙසේවෙතත් සුජිත් සිය පුතාට කනේරු ඇට කවා ඔහුද කනේරු කෑම තවමත් කාහටත් ගෙන දී ඇති ප්‍රශ්නයකි. සුජිත් දරුවාට කනේරු කැව්වේ ඇයි....? ඒ සම්බන්ධයෙන් නිවැසියන් හා ප්‍රදේශවාසීන් දක්වන්නේ මෙවැනි අදහසකි.

“සුජිත්, අශේන් දරුවාට හරිම ආදරෙයි. පුතාව කොයි මොහොතකවත් තනි කරන්න එයා කැමති නැහැ.... වැඩට ගියත් අරන් යනවා. එයාගෙ පණ වගේ තමයි දරුවා ආරක්ෂා කෙරුවේ. නිවෙසට යාබදව සිටින කාන්තාව සුජිත්ට නිතර නිතර චෝදනා එල්ල කරමින් පොලිසියට පැමිණිලි කරනවා.”

“අන්තිමට එයාගේ දුවව දූෂණය කරන්න ආවා කියලා පොලිසියට පැමිණිලි කරලා තිබුණා. ඒක විභාග කරන්න පොලිසියට සුජිත්ට එන්න කියලා තිබුණා. සුජිත් ඒ චෝදනාවට බයවෙලා තමයි සියදිවි හානි කරගන්න හැදුවේ. පුතාට තිබෙන අසීමිත ආදරය හා සෙනෙහස නිසයි එයාව තනිකරන්න බැරිව පුතාටත් කනේරු ඇට කන්න දීලා තියෙන්නේ.....”

මේ සම්බන්ධව මාරවිල පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්. ඩී. ආර්. ප්‍රියන්ත මහතාගෙන් විමසීමේදී ඔහු පළ කළේ මෙවන් අදහසකි.

“මේ සම්බන්ධව අපිට නිතර නිතර පැමිණිලි ලැබුණා. ඕනම කෙනෙකුට පැමිණිල්ලක් කරන්න පුළුවන්. ඒත් ඒ ගැන නිසි විමර්ශනයක් කරලා තමයි අපි තීන්දු තීරණ ගන්නේ. නමුත් මෙවැනි පැමිණිල්ලක් කළා කියලා ජීවිතේ නැති කරගන්න අවශ්‍ය නෑ. අනිත් කාරණය තමන්ගේ ජීවිතය පමණක් නෙමෙයි අහිංසක දරුවකුගේ ජීවිතයත් අහිමි කරලා....”

“දෙපිරිස අතර ගැටුම් ඇති නොවන්නට අපි මේ වන විටත් ආරක්ෂාකාරී පියවරක් ක්‍රියාත්මක කර තිබෙනවා.”

අශේන් සවිඳු දරුවාගේ මරණය ආරංචි වී දරුවාගේ මව ඩුබායි ඉකුත් 17 දින ලංකාවට පැමිණියාය. ඇය විසින් දරුවාගේ දේහය තමාගේ නිවෙසට රැගෙන යාමට අවසර ඉල්ලා සිටියත් දරුවාගේ පියාගේ පාර්ශ්වය ඊට විරුද්ධවීම හේතුවෙන් දේහය පියාගේ නිවෙසේ තැන්පත් කර අවසන් කටයුතු සිදු කෙරිණි. දරුවාගේ මව හලාවත මෘත ශරීරාගාරයට පැමිණ දේහයට අවසන් ගෞරව දක්වා තිබිණ. මෙම මරණය සම්බන්ධයෙන් දරුවාගේ පියා සුජිත් පොලිසිය අත්අඩංගුවට ගත්තේය. ඒ දරුවාට කනේරු ඇට කැවීම නිසාය. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කරන්නට විය.

“මගේ පවුලේ සහෝදර සහෝදරියන් 07ක් ඉන්නවා. මම පස්වැනියා. මම අධ්‍යාපනය ලැබුවේ පහ වසර දක්වා පමණයි. පසුව මම විවිධ කුලී වැඩ කළා. මට අවුරුදු 20දි බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි නිරෝෂා මානෙල් සමඟ විවාහ වුණා. අපිට දරුවන් තුන්දෙනෙක් ලැබුණා....”

“මාවයි දරු තුන්දෙනාවයි අතහැර දාලා බිරිඳ 2014 වසරේ මැයි මාසයේ ඩුබායි රටේ ගෘහ සේවයට ගියා. ඇය රට ගියේ මටත් හොරෙන්. මේ නිසා මට හරියාකාරව රස්සාව කරගන්නත් බැරිව ගියා. බිරිඳට ලංකාවට එන්න කියලා එයා කතා කරන සෑම අවස්ථාවකදීම කිව්වා. ඒත් ඇය ආවේ නැහැ. ගෙදර වියදමට සල්ලි එව්වෙත් නැහැ. මමයි දරුවෝ තුන්දෙනායි අසරණ වුණා. වැඩිමල් දරුවෝ දෙන්නා ළමා නිවාසවල පොඩි දරුවා මා ළඟම තියාගත්තා....”

“මම තණකොළ කපන්න වතුවලට යද්දී පොඩි එකාත් හඬමින් මගේ පස්සෙන් එනවා. පොඩි එකා නිසා මට ඒ රස්සාව කරන්න බැරි තත්ත්වයක් ආවා. පොඩි දරුවා මරලා මමත් සියදිවි නසා ගන්නවා කියා තීරණයක් ගත්තා.”

“සිද්ධිය වුණ දවසෙ මම කනේරු ඇට වගයක් කඩාගෙන ආවා. ඒවා පලලා මද අරගත්තා. පස්සේ කඩේට ගිහින් සීනි ගෙනල්ල කනේරු ඇට කෝප්පයකට දාලා සීනිත් එකතු කරලා කලවම් කරලා පුතාටත් දීලා මමත් කෑවා....”

“පස්සේ මම එයාව මෝටර් සයිකලේ තියාගෙන ටික දුරක් ගියා. එතකොට මගේ පපුව දන්න ගත්තා. ඒත් එක්කම පුතාට වමනය ගියා. ඊට පස්සේ මල්ලි පුතාව අරන් ඉස්පිරිතාලෙට ගියා. ඊට පස්සේ ලොකු අයියගෙ ත්‍රීවිල් එකෙන් මාවත් ඉස්පිරිතාලෙට ගෙනිච්චා. මම ඉස්පිරිතාලෙට ආවට පස්සේ දොස්තර මහත්තයට කිව්වා කනේරු ඇට පුතාටත් දීලා මමත් කෑවා කියලා. මම හිතේ අමාරුවෙන් පුතාට කන්න දුන්නේ. නෝනා රට ගිය නිසා මම හිතේ අමාරුවෙන් හිටියේ....”

සැකකරු පොලිසිය හමුවේ කියා සිටියේය.

සිද්ධියට සම්බන්ධ මියගිය දරුවාගේ පියාවන සුජිත් නිශාන්ත අප්පුහාමි මාරවිල දිසා අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් එස්. ජයසිංහ මහතා විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.

අධිකරණයට කරුණු වාර්තා කිරීම මාරවිල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පොලිස් පරීක්ෂක කුමාරසිරි මහතා විසින් සිදුකරන ලදී.

මාරවිල පොලිසියේ ස්ථානාධිපති එස්. ඩී. ආර්. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ. එම්. එස්. ජයනාත්, කොස්තාපල්වරුන් වන (31799) ග්‍රේටන්, (71947) විජේබණ්ඩාර, (138) සරත්චන්ද්‍ර යන නිලධාරීන් විසින් මෙම සිද්ධියේ විමර්ශන කටයුතු සිදුකළහ.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස්විය.)

මිහිර විජේසේකර

මාරවිල සමූහ