දරුවා ගෙනාවේ මරන්න නෙමේ

දරුවා ගෙනාවේ මරන්න නෙමේ

සැකකාරිය පොලීසියට කියයි

ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධෝත්තම දිනය එසේත් නොමැතිනම් දෙවියන්ගේ දවස ලෙස සැලකෙන දිනය සිකුරාදා ලෙස සඳහන් කළ හැක. එදිනට මුස්ලිම් බැතිමතුන් සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීමට දැඩි ඇල්මක් දක්වන නිසාවෙන් එදින ඔවුන් කාර්යබහුල බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

එවන් සිකුරාදා දිනයක පුත්තලම නගරය පුරා ආන්දෝලනාත්මක කතාවක් පැතිර ගියේය. ඒ සිවුහැවිරිදි දරුවකු පැහැර ගැනීමකි. පැහැරගෙන ගොස් තිබුණේ පාහින් නමැති මුස්ලිම් දරුවෙකි. සිකුරාදා දහවල් එකොළහට පමණ තම සිඟිති දරුවා ඒ අසල පිහිටි වෙළෙඳසල වෙත ඔහුගේ මව යවා ඇත්තේ මුළුතැන්ගෙට අවශ්‍ය ගම්මිරිස් කුඩු ගෙන ඒමටය. කඩේට ගිය දරුවා නැවත ගෙදර නොඒම ගැන මාපියෝ කලබල වූහ. ඔවුහු දරුවා සොයා ගම පුරා දිවගියහ.

අවසානයේ දරුවාගේ මාපියන් නැවතුණේ පුත්තලම පොලිසියේය. සිද්ධිය සැලවීමත් සමඟ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් මත කණ්ඩායම් හයක් විධිමත් පරීක්ෂණයක් පැවැත්වූහ. මෙහෙයුම අතරතුරදී පොලිස් නිලධාරියකුගේ උකුසු ඇස වැරහැලි හැඳ සිටි යාචක කාන්තාවක දෙස යොමුවිය. සැකසහිත කාන්තාව පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී ඇය විසින් තෙපළු තොරතුරුවලට අනුව පුංචි දරුවා පැහැරගත් බව කියන කාන්තාව ඇතුළු තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

සියල්ල එසේ සිදුවෙමින් තිබියදී දරුවාගේ මවුපිය දෙපළගේ දෑස් කඳුළුවලින් තෙත්ව මලානික වී තිබුණේ පුංචි දරුවා තමන්ගේ කැදැල්ලට නැවත නොඑන බව දැඩි ලෙස විශ්වාස කිරීම නිසාය. ඔවුන් සිතා සිටියේ ඒ වන විටත් දරුවා මරා දමා ඇති බවය. විවිධ තරාතිරම්වල විවිධ පුද්ගලයෝ විවිධ මතිමතාන්තර ගෙන එද්දී කවුරුත් නොසිතූ නොපැතූ විශ්මයජනක සිදුවීමක් සිදුවන්නේ ඒ අතරතුරය.

පුංචි දරුවා තුරුළු කරගත් හැඩිදැඩි වියේ පසුවන පුද්ගලයකු දරුවාගේ නිවෙසට පැමිණියේ ඒ මතිමතාන්තර, කටකතා බොරු කරමින්ය. දරුවා දුටු මවුපියෝ සතුටු කඳුළු වැගුරූහ.

මේ පුංචි මල් කැකුළ පැහැරගැනීම සඳහා සැලසුම් කළ පළමු විත්තිකාරිය ලෙස ගනේෂන් දෙවමනෝහරී නමැති කාන්තාවත්, දෙවන විත්තිකාරිය ලෙස ගනේෂන් ශාන්තිනී නමැති කාන්තාවත්, තෙවන විත්තිකරු ලෙස ඉන්දීය ජාතිකයකු වන අලමුදින් හුලාන් නමැති අය සහ අදාළ දරුවා රැගෙන ආ බව පැවසෙන ත්‍රිරෝද රථ රියැදුරු සිවුවන විත්තිකරු ලෙසත් නම් කර පොලිසිය විසින් සියල්ලන්ම අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත් පිරිස අතර දෙවන විත්තිකාරිය ලෙස සැලකෙන ශාන්තිනී පොලිසිය හමුවේ මෙලෙස පාපොච්ඡාරණය කර තිබිණි.

“මගේ තාත්තා ස්ථිර රැකියාවක් කළේ නැහැ. කුරුණැගල තෙළියගොන්න කියන ගමේ තමයි අපි පදිංචිවෙලා හිටියේ. අපේ තාත්තා පුත්තලමට ඇවිල්ලා ගෙවල්වල, වතුවල වැඩ කළා. පස්සෙ තමයි මම පිටරට වැඩකට ගියේ. එහෙම ටික දවසක් ඉද්දි ඉන්දියාවේ ඉඳලා ඇවිත් හිටිය හුලාන් කියලා කෙනෙක් හම්බවුණා. එයා එහෙ ඩ්‍රයිවින් කළා. එයා එක්ක මම ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තා. පස්සේ මමයි, එයයි තීරණය කෙරුවා සවුදියේදීම කසාද බඳින්න. හැබැයි සවුදි නීතියේ හැටියට අපි හිතන විදිහට කසාද බඳින්න බැරි නිසා අපි ඉස්ලාම් ආගමට ගිහින් 2011 දී කසාද බැන්දා. ඒ බැඳලා අපි 2012 අවුරුද්දෙ ලංකාවට ආවා. ලංකාවේ ටික දවසක් ඉඳලා ආයේ පෙබරවාරි ඉන්දියාවට ගියා. ඉන්දියාවේදී හුලාන්ගේ කැමැත්තට හින්දු ආගම අදහන්න පටන් අරගෙන හින්දු ආගමේ විදිහට අපි ආයෙත් කසාද බැන්දා. පස්සේ අපි දෙන්නම ආයෙත් ලංකාවට ආවා. මම ලංකාවේ හිටියා. එයා සවුදියේ රස්සාවට ගියා. එයා රට යද්දි මට දරුවෙක් ලැබෙන්න හිටියා. එයා යද්දි මට කියලා ගියා මගේ කුසේ ඉන්න දරුවව හොඳින් බලාගන්න, මම දරුවා බලන්න එනවා කියලා. එයා රට ගිහින් ටික දවසකින් මගේ බඩේ හිටිය දරුවා නැතිවුණා. මම ගොඩක් බය වුණා දරුවා නැතිවුණ නිසා හුලාන් මාව අත්හරියි කියලා. ඒ හින්දා මම දරුවා නැති වුණ කතාව හුලාන්ට කිව්වේ නෑ. හුලාන් නිතරම දරුවට ඕන කරන දේවල් ගන්න වියදම් රට ඉඳලා එව්වා. එයා දරුවා ගැන දුරකථනයෙන් අහද්දී වෙන දරුවන්ගෙ කටහඬවල් එයාට ඇහෙන්න සැලැස්සුවා. එයා සතුටු වුණා.... පස්සේ සැප්තැම්බර් හයවැනිදා හුලාන් ලංකාවට එන බව කියද්දී මම හොඳටම බයවුණා."

කියපු බොරු සේරම අහුවෙන්නයි යන්නේ කියලා මම අක්කා එක්ක කිව්වා. පස්සේ අක්කත් එක්කම ගිහිල්ලා අවුරුදු හතරක විතර දරුවෙක් හෙව්වා. පරිවාසවලට ගියා.... ගෙවල් ගාණේ ගියා.... දරුවෙක් හදාගන්න එක එක බොරු කියලා ඉල්ලුවා.... ඒත් ලැබුණේ නැහැ.....”

“පස්සේ අක්කා මට කිව්වා ඔය කියන වයසට හරියන කොලු පැටියෙක් ඉන්නවා පුත්තලම කොප්පරා පල්ලිය ළඟ කියලා. අක්කා ඒ දරුවට නිතරම ටොෆි, චොක්ලට් අරන් දීලා යාළු කරගෙන තිබුණා. පස්සේ හුලාන් ලංකාවට ආවා. ඇවිත් දරුවා ගැන අහද්දී දරුවා අක්කලගේ ගෙදර ඉන්නේ කියලා මම කිව්වා. දවස් දෙකක් එහෙම කෙරුවා. තුන්වැනි දවස හුලාන්ගෙන් බේරෙන්න බැරුව ගියා. ඒ නිසා තමයි මේ දරුවා අරගෙන ආවේ. දරුවා ගෙනාවේ මරන්නවත් වෙන දෙයකටවත් නෙමෙයි... මේ දරුවා හුලාන්ගේ බව කියන්න.....”

“දරුවා කඩේට යද්දී තමයි අක්කා අරන් ගෙදර ආවේ. දරුවා හරිම සුරතල් නිසා මම හිතුවා හුලාන් දරුවා ගැන සැක කරන්නේ නැතිවෙයි කියලා. ඒ වුණාට දරුවාගෙන් හුලාන් එක එක දේවල් ඇහුවා. තාත්තගේ නම අහද්දී දරුවා මුල්සිම් නමක් කිවුවා. අම්මගේ නම අහද්දිත් ඒ වගේමයි. ආයේ තවත් විස්තර ගොඩක් ඇහුවා. දරුවා එහෙම කියද්දී හුලාන්ට සැක හිතුණා. මට බය හිතුණා. මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ගියා.”

“දරුවයි හුලානුයි ගෙදර දාලා මම අක්ක හිටිය පුත්තලම ගෙදරට ගියා. පස්සේ දරුවා එයාගේ ගේ තියෙන තැන කියපුවම හුලාන් ත්‍රිරෝද රථයක් කුලියට අරන් පුත්තලම දරුවගේ ගෙදරට ඇවිත් තිබුණේ මේ කිසි දෙයක් දන්නේ නැතුව.... අපි දරුවට කිසිම දෙයක් දුන්නේ නැහැ.....”

ඇය හඬමින් පාපොච්ඡාරණය කළාය.

ඒ අනුව ඉකුත් දාහතරවැනිදා පුත්තලම අධිකරණයට මෙම පිරිස නැවත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම සිද්ධියේ පළමු විත්තිකාරිය හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර තිබූ අතර, එහිදී මෙම සිද්ධියේ පළමු සාක්ෂිකාරිය විසින් සැකකාරිය හඳුනාගනු ලැබීය. ඒ සමඟම ඉන්දියන් ජාතිකයා හා අනෙක් සැකකාරිය ඇතුළු තිදෙනා මෙම මස විසිඅට වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු බන්දුල ගුණරත්න මහතා පොලිසියට නියෝග කළේය.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පුත්තලම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්. බී. රත්නායක, පුත්තලම සහකාර පොලිස් අධිකාරී එස්. බී. එස්. පී. සන්දනායක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන, පොලිස් පරීක්ෂකවරුන් වන චමින්ද පිංතු, මෙන්ඩිස් යන මහත්වරුන් ඇතුළු තිහකට ආසන්න පොලිස් කණ්ඩායමක් දරුවා සොයා ගැනීමේ මෙහෙයුම සඳහා සහභාගී වූ අතර, පුත්තලම පොලිස් අපරාධ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. සී. බෝදරගම මහතා ඇතුළු නිලධාරිහු මෙම විමර්ශනවලට එක්වී සිටියහ.

කේ. පි‍්‍රයංකර වනාතවිල්ලුව