දුම්රියට පැන්න සිසුවියගේ පෙම්වතා මරා ළිඳට දාලා

දුම්රියට පැන්න සිසුවියගේ පෙම්වතා මරා ළිඳට දාලා

“නංගි කොල්ලෙක් එක්ක යාළුයි කියලා මම ටික දවසක ඉඳලා දැනගෙන හිටියා. මම ඒක නංගිගෙන් ඇහුවම එයා පිළිගත්තෙම නෑ. මට බැනලා පුළුවන්නම් අල්ලලා පෙන්වනවා කියලා මාත් එක්ක රණ්ඩුවුණා.....”

“නංගි රෑට ගෙදර ෆෝන් එකෙන් කෝල් අරගෙන හොරෙන් කතා කරනවා. එයා පාවිච්චි කරන්නේ තාත්තගේ ෆෝන් එක. දවසක් නංගි රෑ කතා කරලා ෆෝන් එක තියනකම් ඉඳලා මම රෑ හොරෙන් ඒ ෆෝන් එක අරගෙන අන්තිමට කතා කරපු අංකෙට කෝල් කළා. කොල්ලෙක් කතා කළේ. මම කටහඬ වෙනස් කරලා ගෑනු හඬකින් නංගි කතා කරනවා වගේ හොරෙන් කතා කළා. කොල්ලා නංගි කියලා රැවටුණා. ගෙදර අය ඉන්න නිසා කතා කරන්න අමාරු විදිහට තමයි මම හොරෙන් කතා කළේ කොල්ලා කිව්වා හෙට පන්තිය ගාවදි හම්බවෙමු කියලා.....”

“මම දවසක් මේ දෙන්නව අතටම අල්ලගත්තා. ඒත්..... දෙන්න බස් හෝල්ට් එකේ දෙපැත්තට වෙලා හිටියේ. ඒ වෙලාවෙත් නංගි කිව්වේ එහෙම එකක් නෑ.... පුළුවන්නම් අතටම අල්ලලා පෙන්වන්න කියලා.....”

“නංගි ඔය විදිහට මට කියද්දී මට කොල්ලව මරලම දාන්න ඕන කියලා හිතුණා. මගේ පවුල ඉන්නේ රඹුක්කන. එයාගේ අක්කගේ මහත්තයා තිලක්. එයා බණ්ඩාරවෙල කෙනෙක්. එයත් රඹුක්කන තමයි හිටියේ. මම එහේ ගිය වෙලාවේ තිලක් අයියට මේ සිද්ධිය කිව්වා. තිලක් අයියා ඇහුවා මොනවද කරන්න ඕන කියලා. මම කිව්වා ඕකව මරමු කියලා.... නංගිගේ අභියෝගය නිසා තමයි මට ඒ වගේ දෙයක් කරන්න හිතුණේ....”

“එදා.... ඔය සිද්ධිය වෙච්ච දවසේ මමයි, තිලක් අයියයි රඹුක්කන ඉඳලා කෝච්චියේ එද්දි අම්බලන්ගොඩ ස්ටේෂන් එකට එහා “ලව් ලේන්” එකේ නංගි ඔය කොල්ලත් එක්ක කතා කර කර ඉන්නවා මං දැක්කා. කෝච්චිය අම්බලන්ගොඩ ස්ටේෂන් එකේ නවත්වද්දිම මමයි, තිලක් අයියයි කෝච්චියෙන් පැනලා නංගිලා හිටපු තැනට දුවගෙන ගියා. ඒ යද්දිත් දෙන්නා එතන කතා කර කර හිටියා.....”

“මම පැනලා කොල්ලගේ කොලර් එකෙන් අල්ලගත්තම චුට්ටේ අයියා එපා කියලා නංගි කෑ ගැහුවා.... ඒත්.... මම අතහැරියේ නෑ. ඒ එක්කම කෝච්චියක් ආවා. නංගි ඒ කෝච්චියට පැන්නා. කොල්ලා මගේ අත ගසලා දාලා පැනලා ගියා.....”

“ඊට පස්සේ අපි කෙල්ලව හෙව්වා. හමුවුණේ නෑ. ඊට පස්සේ ආරංචියක් ආවා කොල්ලා අම්බලන්ගොඩින් බස් එකකට නැග්ගා කියලා. මමයි, තිලක් අයියයි චමිල් කියලා තව යාළුවෙකුයි බස් ස්ටෑන්ඩ් එකට ගිහින් ඒ බස් එකටම නැග්ගා. චමිල් ගිහින් කොල්ලා වාඩිවෙලා හිටපු ෂීට් එකේම වාඩිවුණා. මමයි, තිලක් අයියයි බස් එකේ ෆුට්බෝඩ් එකේ ගියා.....”

“ඒක අම්බලන්ගොඩ බටපොළ බස් එකක්. ටික දුරක් යද්දී ත්‍රීවිල් එකක් එලවන මගේ යාළුවෙක් හම්බවුණා. එයා සරිඳු. අපි බස් එකේ ෆුට්බෝඩ් එකේ ඉන්නවා සරිඳු දැක්කා. මම සරිඳුට අතින් කිව්වා බස් එක පිටිපස්සෙන් එන්න කියලා. එයා ආවා.....”

“ටික දුරක් ගිහින් චමිල් අර කොල්ලවත් බස් එකෙන් බස්සව ගත්තා. කොල්ලා බැහැලා ආවා. අපි කොල්ලව ත්‍රීවිල් එකට දාගෙන පාළු හරියකට ගියා. ගිහින් ඇහුවම නංගි එක්ක සම්බන්ධයක් තිබුණා කියලා එයා පිළිගත්තා.....”

“ඒ වෙලාවේ තිලක් ගේ ලේන්සුව අරගෙන කොල්ලගේ කටට තියලා තද කරලා ඔළුව පහත් කරලා අල්ලගෙන කොල්ලගේ ගෙවල් පැත්තට ගියා. තිලක් අයියා කිව්වා ඇඟපතින්, බෙල්ලෙන් අල්ලන්න එපා පාරවල් හිටියි. ඒ නිසා ඇඳුම්වලින් විතරක් අල්ලන්න කියලා.....”

“ඒ විදිහට කට වහගෙන ඔය ළිඳ ළඟට ගෙනැත් කකුල් දෙකෙන් අල්ලලා ඔළුව ළිඳේ ඔබාගෙන හිටියා. එහෙම විනාඩි පහක් විතර යද්දී බුබුළු දාලා කොල්ලගේ දැඟලිල්ල නතර වුණා. කොල්ලා මැරුණා කියලා දැනුණා. අපි මිනිය ළිඳේම දාලා එතැනින් යන්න ගියා.....”

“යන ගමන් තිලක් අයියා මට කිව්වා කොල්ලා නංගිව කෝච්චියට තල්ලු කරනවා දැක්කා කියලා මාධ්‍යවලට කියන්න කියලා.... ඒකයි මම ඒ විදිහට කිව්වේ. ඒත්.... අම්බලන්ගොඩ පොලිසිය මගෙන් කටඋත්තර ගද්දී කිව්වා නංගි කෝච්චියට තල්ලු කළේ නෑ... එයා පනිනවා සී. සී. ටී. වී. කැමරාවල තියෙනවා කියලා. ඒක අහලා මට බය හිතුණා. ඒකයි මම කටඋත්තරය වෙනස් කළේ.....”

“ඒ සිද්ධියෙන් පස්සේ මම හරි බයෙන් හිටියේ. රෑට හරියට නින්ද ගියේ නෑ. හීනෙන් බය වුණා. කොල්ලා මැරුවේ අපරාදේ කියලා මම හොඳටම පසුතැවුණා. ඒත්.... මට කරන්න දෙයක් තිබුණේ නෑ. පොලිසියෙන් එද්දි මම වෙව්ලුවා. හොඳටම බය හිතුණා. පොලිසියට ගිහින් ඇත්ත කියන්නත් මට හිතුණා. ඒත්.... මම බයටම පාඩුවේ හිටියා. නංගිගේ අභියෝගය නිසයි මට එහෙම දෙයක් කරන්න හිතුණේ.... මම ඒ ගැන පසුතැවෙනවා.....”

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සමිත සංජීව එලෙස පාපොච්ඡාරණය කළේය. ඔහුගේ මෙම හෙළිකිරීමෙන් අනතුරුව පොලිසිය චමිල් හා සරිඳු අත්අඩංගුවට ගත් නමුත් තිලක් ප්‍රදේශය හැර පලා ගොසිනි. බණ්ඩාරවෙල පදිංචිකරුවකු වූ ඔහු සමිතගේ බිරියගේ අක්කගේ සැමියා වුවද නීතියෙන් විවාහ වී නැත. ඔහු..... බණ්ඩාරවෙල ප්‍රදේශයේ අපරාධවලට සම්බන්ධව සිට දැනට රඹුක්කන ප්‍රදේශයට පලාවිත් සිටින බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

අම්බලන්ගොඩ පොලිස් වසමේ ගොඩහේන, බෝධිය පාර ලිපිනයේ පදිංචිව සිටි නිමේෂා මධුමාලි දුම්රියට පැන සියදිවි නසාගත්තේ ජූලි මස 23 වැනිදා උදේ වරුවේදීය. ඒ..... අම්බලන්ගොඩ නගරාසන්නයේ "ලව් ලේන්" නමින් ප්‍රසිද්ධ ප්‍රදේශයේදී ගාල්ලේ සිට රඹුක්කන බලා ධාවනය වූ මන්දගාමී දුම්රියට පැනීමෙනි.

ඇය...... මෙලෙස දිවි නසා ගත්තේ ඇය පෙම්වතා සමඟ “ලව් ලේන්” හි සිටිනු දුටු ඇයගේ වැඩිමල් සහෝදරයා වන සමිත සංජීව එම ස්ථානයට ගොස් දෙදෙනාටම පහරදීම හේතුවෙනි. ඇය.... දුම්රියට ගෙල තබද්දී ඇයගේ පෙම්වතා වූ මීටියාගොඩ පොලිස් වසමේ බටපොළ, කොබෙයිතුඩුව, පන්සල පාරේ පදිංචි සංකල්ප ප්‍රභාත් එම ස්ථානයෙන් පැන යන්නේ සමිත කොළරයෙන් අල්ලා ගැනීමට උත්සාහ දරද්දීය.

එතැනින් පැනගිය ඔහු ඉන් අනතුරුව අතුරුදන් විය. දින තුනකට පසු ඔහුගේ නරක් වූ මළ සිරුර හමුවුණේ ඔහු පදිංචි නිවෙසට මීටර් දෙසීයක් පමණ නුදුරින් පිහිටි පොදු නාන ළිඳේ තිබියදීය.

ඒ අනුව සිද්ධිය පිළිබඳ රසවත් කතාන්දරයක් නිර්මාණය කිරීමට සියල්ලන්ටම හැකිවූහ. ඒ.... පෙම්වතිය දුම්රියට පැන සියදිවි නසාගත් සොවින් පෙම්වතා ළිඳට පැන සියදිවි නසාගත් බව කියමින්ය.

එහෙත්..... සංකල්පගේ පවුලේ අයගේ අදහස වූයේ ඔහු දිවි නසාගෙන නොව ඝාතනය කොට ළිඳට දමන්නට ඇති බවටය.

සංකල්පගේ මළ සිරුර පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාදී තිබුණේ විවෘත තීන්දුවකි.

සංකල්පගේ මළ සිරුර හමුවූයේ මීටියාගොඩ පොලිස් වසමේ ළිඳක තිබියදීය. එබැවින් ඒ පිළිබඳ පරීක්ෂණ පැවරුණේ මීටියාගොඩ පොලිසියටය. මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති දිනේෂ් නිශාන්ත ද සිල්වාගේ මූලිකත්වයෙන් මෙම පරීක්ෂණ ආරම්භ විය. එහිදී ඔහුගේ අදහස වූයේ ද සංකල්පගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනය කිරීමක් බවටය.

ඔහු.... එවැනි නිගමනයකට පැමිණ තිබුණේ කරුණු කිහිපයක් මුල් කරගෙනය. ඉන් මූලිකම කරුණ වූයේ අඩි පහක් ගැඹුරු අඩි පහම ජලයෙන් පිරී ඇති ළිඳකට පැන මෙවැනි උසක් සහිත අයකුට සියදිවි නසා ගැනීමට නොහැකි වන බවයි.

එනම්..... සිතට ක්ෂණිකව එන හැඟීමකට අනුව එලෙස සියදිවි නසා ගැනීම සඳහා එවැනි ළිඳකට පැන්නද ඊළඟ මොහොතේ සිතට දැනෙන ජීවිතය පිළිබඳ ආශාවත් සමඟ ඔහු ගොඩට ඒමට උත්සහ කිරීම සාමාන්‍ය සිරිතය. මෙම ළිඳෙන් එලෙස ගොඩ ඒම ඉතාම පහසුය. එලෙසම මෙම ළිඳට පැන්නට අඩි පහකට වඩා උස අයකු දියේ ගිලෙන්නේ ද නැත.

එලෙසම සංකල්පගේ මරණය ඝාතනයක් බවට සැක කිරීමට තවත් බොහෝ කරුණු තිබිණි. ඉන් එකක් වූයේ ඔහුගේ පාවහන් ළිඳ අසල ගලවා තිබීමයි. අවසිහියෙන් මෙන් දිව විත් ළිඳට පැන්නේ නම් ඔහු පාවහන් ගලවා තබන්නට කාල වේලාවක් ගන්නේ නැත.

එලෙසම ඔහු අත බැඳ සිටි ඔරලෝසුවත්, ඇට වලින් සෑදූ අත් පළඳනාවත් හමුවූයේ ඔහු හැඳ සිටි කලිසමේ වම් සාක්කුවේ තිබියදීය. ඔහු පාවිච්චි කළ වටිනා ජංගම දුරකථනය ඔහුගේ දකුණු කලිසම් සාක්කුවේ තිබී හමුවිය.

එවැනි හේතූන් නිසා මොහු මරා දමා ඇති බවට දිගින් දිගටම සැකකළ පොලිස් පරීක්ෂක දිනේෂ් එය..... ඇයගේ වැඩිමල් සහෝදරයා වන සමිත සංජීව විසින් සිදුකරන්නට ඇති බවට ද සැක කළේය.

ඔහු පිළිබඳ එලෙස සැක මතුවීමට ද කරුණු කිහිපයක් මුල්විය. ඉන් එකක් වූයේ සිද්ධිය වූ දිනයේ සමිත සංජීව මාධ්‍යවලට කළ ප්‍රකාශයන් ඊට පසුදින වෙද්දී තමා කළ ප්‍රකාශය වැරදි එකක් බව කියා සිටීමත්ය.

“එදා.... මම කෝච්චියේ දොරේ එල්ලිලා ආවේ. ඉස්ටේෂමට කිට්ටුවෙද්දී නංගි කොල්ලෙක් එක්ක රේල් පාර අයිනේ ඉන්නවා මම දැක්කා. ඒ දෙන්නා රණ්ඩු වුණා. කොල්ලා නංගිට ගැහුවා. මම කෝච්චියෙන් බැහැලා එතැනට දුවලා යද්දී කොල්ලා නංගිව කෝච්චියට තල්ලු කළා. මම පැනලා කොල්ලගේ කොළර් එකෙන් අල්ලගත්තා. ඒත්.... කොල්ලා පැනලා දිව්වා. ඒ හරියේ හිටපු අයියලා දෙන්නෙක් කොල්ලගේ පස්සෙන් පන්නගෙන ගියා. මම එතැන අඬ අඬ ඉඳලා ගෙදර ගිහින් තාත්තව එක්කගෙන ආවා....”

එදා.... ඔහු රූපවාහිනී නාලිකාවලට මෙන්ම පොලිසියට ද එවැනි ප්‍රකාශයක් කර තිබිණි. ඒ අනුව මෙම පුවත ඇසු දුටු සියල්ලන්ගේම වෛරය සංකල්ප වෙත යොමුවූහ. එනම්..... ඔහු සිය පෙම්වතිය දුම්රියට තල්ලුකොට පලා ගිය කුරිරු පෙම්වතකු ලෙස නම් කිරීමට ඇසු දුටු සියල්ලෝම පෙළඹුණහ.

එහෙත්..... ඊට පසුදින පොලිසියට කටඋත්තරයක් දෙමින් සමිත සංජීව කියා තිබුණේ පෙරදින තමා මාධ්‍යවලට ප්‍රකාශ කළේ බොරුවක් බවත් නංගි දුම්රියට තල්ලු කළා නොව තමා එනු දැක ඇය දුම්රියට ගෙල තැබූ බවත්ය. මේ ඔහු එදා කී කතාවයි.

“එදා... මම කෝච්චියේ දොරේ එල්ලිලා ආවේ.... ස්ටේෂම කිට්ටුවෙද්දී නංගි කොල්ලෙක් එක්ක රේල් පාර අයිනේ ඉන්නවා මම දැක්කා. මම ටීක් බෝලේ (ඇයට ආදරයට කියන සුරතල් නාමය) කියලා කෑ ගැහුවා. ඒක ඇහිලා නංගි මගේ දිහා බැලුවා.....”

“කෝච්චිය අම්බලන්ගොඩ ස්ටේෂන් එකේ නවත්වනකොටම මම කෝච්චියේ අනිත් පැත්තෙන් බැහැලා නංගිලා හිටපු තැනට දුවගෙන ගියා. ළඟට යද්දිම ගාල්ල පැත්තේ ඉඳලා ආපු කෝච්චියේ තුන්වැනි පෙට්ටියට නංගි බෙල්ල තිව්වා. කොල්ලව අල්ලගන්න යද්දී මම එතැන ගල් ගොඩේ වැටුණා. කොල්ලා දුවලා ගියා.....”

ඔහු.... එලෙස කටඋත්තරය වෙනස් කළේය.

එලෙස.... නංගිගේ පෙම්වතා මරා දැමූ සමිත සංජීවට මාස දෙකකට ආසන්න කාලයක් නිදැල්ලේ සිටීමට පොලිසිය ඉඩ සලසා දුන්නේය. ඒ.... ඔහුගෙන් දෙවරක් පමණ ප්‍රශ්න කොට ඔහු ලබාදුන් කටඋත්තර නිවැරදි බවට පොලිසිය පිළිගත් බවක් ඔහුට ඇඟවෙන පරිදිය.

ඔහු.... ජංගම දුරකථනයක් පාවිච්චි නොකරන බව පවසා තිබිණි. එහෙත්..... පොලිසිය ඔහු ජංගම දුරකථනයක් පාවිච්චි කළ බව සොයා ගත්තේය. එලෙසම..... ඔහුගේ හැසිරීම් රටාව, ක්‍රියා කලාපය පිළිබඳ ඔහුට නොදැනෙන ලෙස පරීක්ෂාවෙන් සිටීමට ද පොලිසිය වගබලා ගත්තේය.

සමිත සංජීව ඉතා සූක්ෂම ලෙස සංකල්ප මරා දමා එය සියදිවි නසා ගැනීමක් ලෙස ඒත්තු ගැන්වීමට උත්සාහ කළද අපරාධ පරීක්ෂණයේ ලා දක්ෂ නිලධාරියකු වූ දිනේෂ් ගේ කනින් රිංගා යාමට සමිතට හැකියාවක් තිබුණේ නැත. එලෙසම කොපමණ සැලසුම් සහගත ලෙස අපරාධ කළ අපරාධකරුවකුට වුවද සදාකල් සැඟව සිටීමට ඉඩකඩ ලැබෙන්නේ ද නැත.

ඒ අනුව.... සංකල්ප මරා දමා මාස දෙකක් සපිරෙන්නට ආසන්න වෙද්දී පොලිසිය සමිත සංජීව අත්අඩංගුවට ගන්නේ රඹුක්කන පිහිටි ඔහුගේ බිරියගේ නිවෙසේ සිටියදීය.

ඇල්පිටිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව, සහකාර පොලිස් අධිකාරී දුල්ෂාන් නාගහවත්ත යන නිලධාරීන්ගේ උපදෙස් මත මීටියාගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති දිනේෂ් නිශාන්ත ද සිල්වා ප්‍රමුඛ උප පොලිස් පරීක්ෂක ජී. ඩබ්ලිව්. ඩී. උදයංග(රථ වාහන අංශයේ ස්ථානාධිපති) උප පොලිස් පරීක්ෂක ජනක සම්පත්, සැරයන්වරුන් වන (18496) මෙන්ඩිස්, (13030) ජගත්, කොස්තාපල්වරුන් වන (13407) තිළිනක, (28542) හෙට්ටිආරච්චි, (72590) බණ්ඩාර, (74643) සුරංග, (58954) රංජිත්, (34529) රත්නායක, (77147) ජගත්, (59032) පුෂ්පකුමාර,(72674) නලීන්, (28366) විරාජිත්, (66626) නිශාන්ත, පො. ආ. ස. (735) නිලන්ත, රියැදුරු (80450) කාවින්ද, (90004)ජයනාත් පරීක්ෂණ සඳහා එක්වූහ.

තක්‍ෂිලා ජයසේකර