කාංචනාගේ ඝාතකයා . . .

දැරණියගල පොලිස් වසමේ උඩපොළවත්ත, ටැංකිය අසල පදිංචිව සිටි කාංචනා කුමාරි ඝාතනය කළ විජයකුමාර් එදිනම ප්‍රදේශයෙන් පලාගිය බවට පොලිසියට තොරතුරු ලැබිණි.

ඔහු සොයා පොලිසිය මෙහෙයුම් දියත් කළ අතර මසකට ආසන්න කාලයක් ගෙවී ගියද ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකිවූයේ නැත.

මේ අතර පසුගිය දිනෙක එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට පුද්ගලයකු තොරතුරක් පවසා තිබිණි. ඒ කාංචනා ඝාතනය කර තිබූ ස්ථානය අසල පල්ලම දෙසින් දුගඳක් හමන බවටය.

ග්‍රාම නිලධාරීවරයා මේ බව පොලිසියට දැන්වූ අතර තොරතුර ලැබුණු වහාම පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් සෝදිසියක නිරත විය. එහෙත් කිසිවක් හමුවූයේ නැත.

කාංචනා ඝාතනය කිරීමෙන් අනතුරුව ඇය සේවය කළ වත්තේ වැඩ රාජකාරිද යම් තරමකට අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබිණි.

ඇය මරා දැමුණු ප්‍රදේශයට යාමට සියල්ලෝම බිය වූහ. එබැවින්..... ඒ කොටස පාළු ප්‍රදේශයක් බවට පත්විය. එම ස්ථානය අවට පල්ලම් සහිත වන අතර ලඳු කැලෑවකින්ද සමන්විතය.

කුරුඳු හා මල්බෙරි වගාවෙන් සමන්විත මෙම වතුයායේ මේ ප්‍රදේශය ද කාංචනා ඝාතනයෙන් අනතුරුව පාළුවට ගියේ වතු සේවකයන් ඒ පැත්ත පළාතකට යාමට බිය වූ නිසාය.

මිනී කුණු ගඳ හමන ආරංචියටත්, ඒ පිළිබඳ සෙවීම සඳහා පොලිසිය පැමිණ ඇති බවටත් තොරතුරු ලද අවට පදිංචිකරුවන් එකිනෙකා එම පාළු ප්‍රදේශයට ඇදෙන්නට වූයේ සිදුව ඇත්තේ කුමක්දැයි දැන ගැනීමේ කුතුහලය නිසාය.

තොරතුර ලැබී ගෙවුණු දෙවැනි දිනයේදී කාංචනා මරා දැමුණු ස්ථානයට පහළින් වූ පල්ලමේ තිබී නරක් වූ මළ සිරුරක් හමුවිය.

මළ සිරුරේ තට්ටම් ප්‍රදේශයේ පමණක් මස් තිබුණ නමුත් ඉතිරි කොටස් සියල්ලේම මස් දියව ගොස් ඇටකටු පෑදී තිබිණි.

ඒ..... විජේකුමාර්ගේ මළ සිරුර බවට මුලින්ම සැක කළ අතර අසල තිබී හමුවූ ලිපි ලේඛනවලින් ඔහු විජේකුමාර්ම බවට තහවුරු කර ගැනීමට පොලිසියට හැකිවිය.

ඔහු..... සිංහලෙන් සහ දෙමළ භාෂාවෙන් ලිපි දෙකක් ලියා තිබිණි. ඒ ලිපි දෙකෙහිම සඳහන්ව තිබුණේ එකම විස්තරයකි.

“මෙයා මාව පොළඹවා ගත්තා. අන්තිමට මාව පාරට දැම්මා. මම මෙයාව මරනවා. මගේ බැංකු පොත් මගේ බිරියට ලබාදෙන්න.....”

එම ලිපි දෙකෙහි භාෂා දෙකෙන්ම සටහන්ව තිබුණේ එකම කරුණය. ඒ සමඟ බැංකු පොත් තුනක්ද විය. එහෙත්.... ඒවායේ රුපියල් විසිදහසකට වඩා තිබුණේ නැත.

මළ සිරුර අසල අරක්කු බෝතලයක් දක්නට ලැබිණි. එහි තුන්කාලක් හිස්ව තිබිණි. වස කුප්පි තුනක් සහ සිලින්ජරයක් ද එතැන විය. ඉන් වස කුප්පි දෙකක් ඔහු පානය කර තිබිණි. ඊට අමතරව ඔහුගේ ජංගම දුරකථනය ඒ අසල විය.

මළ සිරුර නරක්ව තිබූ ආකාරයට අනුව පොලිසියේ නිගමනය වූයේ මොහු කාංචනා මරා දමා එතැනින් පහළට දිවගොස් වස පානය කරන්නට ඇති බවයි.

එනම්..... ඔහු සියල්ල සැලසුම් කොට ලියුම් ද ලියා වස ද අරක්කුද මිලදී ගෙන ඇය මරා තමා ද දිවි නසාගන්නා බවට තීරණය කොට ඇය මරා දමන්නට ඇති බවය.

ඔහුගේ මළ සිරුර මාසයක් පමණ ගතවනතුරු හමු නොවූයේ කාංචනා ඝාතනයෙන් අනතුරුව වතු සේවකයන් එම ප්‍රදේශයට නොයා සිටීම හේතුවෙනි.

විජේකුමාර් යනු දැරණියගල උඩපොළවත්තේ කංකානම් කෙනෙකි. විවාහකයකු වූ දරුවන් සිටින පියෙකි.

ඔහු අතින් ඝාතනය වන කාංචනා දෙදරු මවකි. එහෙත් ඇය නීතියෙන් විවාහ වී නැත. පළමුවරට ඇය පුරුෂයකු සමඟ එකට ජීවත්ව දරුවකු ද ප්‍රසූත කළාය. එහෙත් කල් ගතවෙද්දී දෙදෙනා අතර ඇති වූ ආරවුල් හේතුවෙන් ඇය දරුවා ඔහුට බාරදී යන්නට ගියේ නීතියෙන් බැඳීමක් නොවූ බැවිනි.

අනතුරුව උඩපොළවත්තේ රැකියාවකට යන ඇය දෙවනුව පෙම් බඳින්නේ එහි කංකානම්වරයකු වූ විජේකුමාර්ටය. දෙදෙනා අතර අනියම් ඇසුරක් ඇතිවන්නට වැඩිකල් ගතවූයේ නැත.

අනතුරුව ඇය.... ඔහු හා යුගදිවියට එළැඹියේ නිත්‍යානුකූල සහතිකයක් නොමැතිවය. ඇයට.... එවැනි සහතිකයක අවශ්‍යතාව තිබුණ ද එවැන්නක් ලබා ගැනීමේ හැකියාවක් ද තිබුණේ නැත. ඒ..... ඔහු විවාහකයකු වූ බැවිනි.

විජේකුමාර් සමඟ ඇරඹූ යුග දිවියෙන් ද ඇය දෙවන වරට මවු පදවිය ලබා ගත්තාය. දරුවා සමඟ රැකියාවට යා නොහැකි බැවින් ඇය.... සිය මව කැඳවා ගැනීමට ද කටයුතු කළාය.

ඒ අනුව උඩපොළවත්ත ටැංකිය අසල නිවෙසේ කාංචනා, විජේකුමාර්, දරුවා හා කාංචනාගේ මවද කල් ගෙවන්නට වූහ. මව දරුවා බලා ගනිද්දී කාංචනා සුපුරුදු ලෙස කුරුඳු වත්තේ වැඩට යාම ආරම්භ කළාය.

එහෙත්.... දරුවා ඉපැදී වැඩිකල් ගතවීමට පෙර කාංචනා හා විජේකුමාර් අතර ආරවුල් හටගත්තේය. එම ආරවුල් හේතුවෙන් දෙදෙනා ඈත් වූ අතර කතාබහද නතර විය.

කාංචනා වැඩ කරන කුරුඳු වාඩියේ කාංකානම් වූයේ විජේකුමාර්ය. එබැවින්.... කාංචනා සේවය කළේ ඔහු යටතේය. එහෙත්.... දෙදෙනා අතර කතාබහක් නැත.

කාංචනාගේ දරුවා කිරි බොන වයසේ පසුවන බැවින් ඇයට දරුවාට කිරිදීම සඳහා යාමට පාලනාධිකාරියෙන් අවසර ලැබී තිබිණි.

සිද්ධිය වූ දින ඇය.... දහවල් දොළහමාර පමණ වන විට සිය නිවෙස වෙත යන්නේ කංකානමගේ අවසරය ඇතිවය. ඔහු.... කුරුඳු මඩුවේ සේවය කරන අයකුට පවසා තිබුණේ දරුවාට කිරිදීම සඳහා කාංචනාට නිවෙසට යන්නට කියන ලෙසටය.

එම අවසරය ලද කාංචනා කුරුඳු මඩුවෙන් පිටව ගියාය. ඒ සමඟම කංකානම්ද ඇය පසුපස ගිය අතර විනාඩි කිහිපයක් ගෙවී යද්දී කුරුඳුවාඩියේ සිටි අනෙක් පිරිසට කෑ ගසන ශබ්දයක් ඇසිණි.

ශබ්දය ආ දෙසට දිවගිය පිරිස දුටුවේ ලේ පෙරාගෙන කාංචනා වැටී සිටින අයුරුත්, විජේකුමාර් පලායන අයුරුත්ය. දැරණියගල පොලිසියට මෙම තොරතුර ලැබෙන්නේ වත්තේ හිමිකරු ලබාදෙන දුරකථන පණිවුඩයකිනි.

පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය සැකකරු සොයා මෙහෙයුම් දියත් කළද ඔහු පිළිබඳ කිසිම තොරතුරක් සොයාගැනීමට හැකිවූයේ නැත. ඒ.... ඔහු එදිනම සියදිවි නසාගෙන තිබූ බැවිනි.

දැරණියගල පොලිසියේ ස්ථානාධිපති දේවප්‍රිය ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති සමරවීර ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණවල නිරත වූහ.

(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.)