සියදිවි . . .

ආචාර්ය වසන්තා සුබසිංහ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමාජ විද්‍යා අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය.

වර්තමාන සමාජයේ අපරාධ දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතී. ඒ අතර සියදිවි නසා ගැනීම් ද දිනෙන් දින වර්ධනය වෙයි. ශ්‍රී ලාංකික සමාජය තුළ සියදිවි නසා ගැනීම් වර්ධනය වීමට බලපා ඇති හේතු පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය සමඟ අප කළ කෙටි සාකච්ඡාවකි මේ.

සමහර කාලවල සියදිවි නසා ගැනීම්වලින් ඉහළම අගයක් පෙන්වීමේ දී ශ්‍රී ලංකාවත් එතැන සිටියා. ඒ සම්බන්ධයෙන් අද මොනවගේ තත්ත්වයක් ද උද්ගත වී තිබෙන්නේ?

"94 වසර වනවිට ලෝකයෙන් ම සියදිවි නසා ගැනීම්වලින් වැඩි ම රට බවට පත් වී තිබුණේ ශ්‍රී ලංකාවයි. ඒ කාලයේ වසරකට අටදහසක් පමණ සියදිවි නසා ගැනීම් සිදු වූ බවයි වාර්තා වන්නේ. ඊට පස්සේ යළිත් ඒ වාර්තාවල පසු බැසීමක් සිදුවුණා. නමුත් අද වනවිට යළිත් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් දිනකට දහයකට වඩා සිදුවන බව පොලිස් වාර්තාවලින් කියැවෙනවා."

"මේ පිළිබඳ විමසීමේ දී මීට වසර ගණනකට ඉහතදී සියදිවි නසා ගැනීම්වලට යොමුවුණු සුවිශේෂී වයස් කාණ්ඩය වූයේ අවුරුදු පනහකට පමණ එහා අයයි. නමුත් අද වනවිට සියදිවි නසා ගැනීම්වල වාර්තා වීම සිදුවන්නේ අවුරුදු විස්ස වයස් කාණ්ඩයේ සිටයි."

සියදිවිනසා ගැනීම් සඳහා බලපෑ හේතු මොනවා ද?

"මීට පෙර විරැකියාව, අවිවාහක බව, ආර්ථික ප්‍රශ්න, ඉච්ඡාභංගත්වය ආදී කාරණායි සියදිවිනසා ගැනීම් සඳහා බලපෑම් කළේ. නමුත් අද වනවිට ඒ තත්ත්වය සංකීර්ණ වී ඇත්තේ හේතුවක් සොයා ගැනීමට නොහැකි වන තරමටයි. ඒ සඳහා හේතු වී තිබෙන්නේ ඉතා ම පැහැදිලි සුළු හේතු විය හැකියි. "

අපරාධ සමාජයට බලපෑම් කරන්නේ කෙසේ ද?

"සමාජයේ සිටින යම්කිසි පුද්ගලයකු කරන ක්‍රියාවක් නිසා සමාජය විසංවිධානකාරී වෙනවා. උදාහරණයක් විදියට කෙනකු යම් අයෙක් මරනවා යැයි සිතන්න. එතැනදි මිනීමැරීමට ලක්වුණු පුද්ගලයාගේ පවුලට සිදුවන්නේ මහත් අසාධාරණයක්. ඔහු ඒ නිවසේ ගෘහමූලිකයා විය හැකියි. එහෙම නැතිනම් අම්මා විය හැකියි. මේ පුද්ගලයා මියයෑමෙන් පසුව සිදුවන්නේ ඔහු එතෙක් සමාජය වෙනුවෙන් කළ කාර්යභාරය අවුලට පත්වීමයි. එතැනදියි සමාජය විසංවිධානකාරී වන්නේ. "

සියදිවිනසා ගැනීම් අයත් වන්නේත් අපරාධවල කොටසක් ලෙස ද?

"සියදිවි නසා ගැනීම් සලකා බලන්නේත් අපරාධයක් ලෙසයි. අපට මැරෙන්නට අයිතියක් නැහැ. මන්ද අප සමාජයේ නිෂ්පාදනයක්. අපට උගන්වලා තනතුරුවලට ගෙනෙන්නට පවුලේ අය පමණක් නොවෙයි, සමාජයත් සහය වෙනවා. අප වෙනුවෙන් සමාජය මඟින් බදු මුදල් ගෙවීමක් සිදු කරනවා. ඒ නිසා එක්වර ම සමාජයෙන් සමුගැනීමට අප කිසිවකුට අයිතියක් නැහැ. අනෙක් පැත්තෙන් එය විමසීමේ දී අපට පැහැදිලි වන්නේ ඔහුගේ සමුගැනීමෙන් පසුව ඒ පවුලට ඉටුවිය යුතු යුතුකම්, වගකීම් සියල්ල නිමාවට පත්වන බවයි. ඒ නිසා සියදිවි නසා ගැනීමකදී පාඩුවක් සිදුවන්නේ පුද්ගලයාට පමණක් නොවෙයි. මුළු මහත් සමාජයටමයි ඒ පාඩුව සිදුවන්නේ.

එසේ නම් පුද්ගලයාව ආරක්ෂා කිරීම බොහෝ වැදගත්. මේ කුමන දෙයක් සඳහා වුවත් මිනිස්සුන් ව මෙහෙය වන්නේ සිතුවිලියි. සිතුවිලි මෙහෙය වන්නේ මනසයි. මනස ධන හා සෘණ සිතුවිලිවලින් යුක්තයි. ධන සිතුවිලි ලෙස ගැනෙන්නේ ආදරය, කරුණාව, ඉවසීම, බෙදාහදා ගැනීම, සහයෝගීත්වය, මිත්‍රශීලීත්වය, පරාර්ථකාමී බව, සමාජශීලී බවයි. කේන්තිය, ඊර්ෂ්‍යාව, කුහකකම, තණ්හාව, වෛරය, නිරත වන කාර්යයේ දුරනොපෙනීම, සංකීර්ණ බව ආදිය අපගේ මනසේ තිබෙන සෘණ සිතුවිලියි. මානසික ආවේග පැමිණෙන්නේ මේ දෙකෙහි එකතුවෙනුයි. ඒ නිසා ආවේග පාලනය කරගන්නේ කොහොම ද? ඒ සඳහා අප සූදානම් ද යන කාරණා මතයි සියදිවි නසා ගැනීම් ප්‍රශ්නය සාකච්ඡා කළ හැක්කේ. "

සමාජයේ ඇතිවන යම් යම් වෙනස් වීම් හා සියදිවිනසා ගැනීම් අතරත් යම් බලපෑමක් තිබෙනවා යැයි ඔබ සිතනවා ද?

"විවෘත ආර්ථිකය, නිදහස් වෙළෙඳ පොළ, ජාත්‍යන්තර වශයෙන් ඇතිවුණු ජනමාධ්‍ය දියුණුව, අධ්‍යාපනික වශයෙන් ඇතිවුණු පුළුල් වෙනස්කම්, කලාවේ ඇතිවුණු වෙනස්කම්, ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡා කළ මානසික අයිතිවාසිකම් ලිහිල් කිරීම්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න ආදී මේ සියල්ලට ම ලෝකය විවෘත වුණා. ශ්‍රී ලංකාවටත් එය පොදු කාරණයක්. අපේ රටේ ඒ විවෘත ආර්ථිකයේ වෙනස්වීම ඇතුළේ නිදහස් අධ්‍යපනය හා නිදහස් සෞඛ්‍ය යන කාරණා දෙකත් පැමිණියා. ඒත් සමඟ ලාංකේය සමාජයේ කාර්යභාරය වෙනස් වීමට පටන්ගත්තා. ආර්ථික, සමාජීය, සංස්කෘතික වශයෙන් පමණක් නොවෙයි පාරිසරික වශයෙනුත් ඒ වෙනස්කම සිදුවුණා. මේ සියල්ල බලපෑවේ පුද්ගලයාගේ හැසීරීම මතයි. 2000 වසරෙන් පසුවයි ඒ වෙනස්වීම වඩාත් පැහැදිලි ලෙස දකින්නට ලැබෙන්නේ. අධ්‍යාපනය ඈත ගම්දනව් කරා යත් ම සමාජය, සංස්කෘතිය තුළ ඇතිවුණේ පැහැදිලි වෙනසක්. ඒ වගේ ම කාන්තාවගේ හා පුරුෂයාගේ කාර්යභාරය වෙනස් වුණා. පවුල් සංස්ථාව වෙනස්වීමට ලක්වුණා. ඒ අනුව මගේ අදහස වන්නේ සියදිවි නසා ගැනීම් සඳහා බලපෑම් කරන ප්‍රධාන සාධක අතරෙන් සෘජුව ම බලපෑම් කර ඇත්තේ පවුල් සංස්ථාවේ වෙනස් වීම බවයි. "

පවුල් සංථාවේ වෙනස් වීම සියදිවි නසා ගැනීම් සඳහා බලපෑම් කරන්නේ කුමන ආකාරයෙන් ද?

"මෙහි මූලික ම කාරණය ගොඩනැඟෙන්නේ විස්ථුත පවුල න්‍යෂ්ටික පවුල බවට පත්වීම මඟිනුයි. විස්ථුත පවුල සමන්විත වුණේ සාමාජිකයන් රැසකගෙන්. අම්මා, තාත්තා, සීයා, ආච්චි, නැන්දා, මාමා සිටියේ එකම පවුලක් විදියටයි. එහෙම නොවුණත් පවුලේ ඥාතීන් සියලුදෙනාගේ නිවෙස් ඉදිවුණෙත් එකිනෙකට ආසන්නයේ. එතැනදි ළමයාගේ පෝෂණයට, ආරක්ෂාවට බොහෝදෙනෙක් වග කිව්වා. ළමයින්ව බලාගන්න, ඔවුන් සමඟ කතා කරන්න, සෙනෙහස දක්වන්න මේ සියල්ල සිදුවුණේ අර විස්ථුත පවුලෙන්. ළමයින්ගේ වගේ ම වැඩිහිටියන්ගේ ප්‍රශ්නවලටත් විසඳුම් ලැබුණේ ඒ පවුලෙන්. එහෙත් සමාජයේ කාර්යභාරය වෙනස්වීමත් සමඟ, නාගරීකරණය පුළුල්වීමත් සමඟ, අධ්‍යාපනයේ පුළුල්වීමත් සමඟ ගමේ සිටි මිනිස්සු නගරය කරා සංක්‍රමණය වුණා. මේ තත්ත්වය කාලයක් සිදුවීමේ දී වුණේ ගමේ තිබුණු විස්ථුත පවුල ටිකෙන් ටික අභාවයට ගිහින් නගරය මුල් කරගත් න්‍යෂ්ටික පවුල බවට පරිවර්තනය වීමයි. "

"ගමේ එක් පවුලේ හත්අටදෙනෙක් ලෙස සාමුහිකව ජීවත් වුණු ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් නගරයේ දී හතරදෙනකුටයි සීමාවුණේ. ඉස්සර පුංචි ගෙදරක ලොකු පවුල අද විශාල ගෙදරක පුංචි පවුලක් බවට පත්වෙලා. ඒ විතරත් නොවෙයි ඒ ගෙදර තනි තනි කාමරවලට කොටුවෙලා. අම්මා, තාත්තා පමණක් නොවෙයි දූ - දරුවනුත් ඉතා ම කාර්යබහුලයි. එකිනෙකාට කතා කරන්නවත් වෙලාවක් නැහැ. කතා කරන්න යනකෙනාගේ කතාව අහන්න කෙනෙකුත් නැහැ. ඔවුන් හුදකලාභාවයෙන් පිඩා විඳීනවා. මේ හුදකලාවයි සියදිවි නසා ගැනීමට බලපෑම් කරන්නේ. ඒ නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට නම් පරම්පරා තුන නැවතත් යා කළ යුතුයි. ඔවුන් සියල්ලන් ම මුණ ගැස්විය යුතුයි. යළිත් පෙර කතාබහ ම

ඇතිකළ යුතුයි. "

සියදිවි නසා ගැනීමක් සඳහා හේතුවන සැඟවුණු යම් කරුණු කාරණා තිබේ ද?

"සියදිවි නසා ගැනීමට බලපාන සාධක අතරට අප පෙර කියූ සාධක වගේ ම ප්‍රේම සබඳතා බිඳ වැටීම, විභාග අසමත් වීම, මානසික රෝග කියන සාධකත් ගත හැකියි. මේ සියලු සාධක දෙස විමසීමෙන් බැලීමේ දී අපට හැඟෙන්නේ හුදකලා භාවය ඊට හේතුවී ඇති බවයි. දරුවන් පවුලෙන් ඈත්වීම, සැමියා පවුල් සංස්ථාවෙන් ඈත්වීම මේ හුදකලාභාවයට පත්වීමට යම් සාධකයක් සපයනවා. යම් දරුවකු ප්‍රේම සම්බන්ධයක් නිසා සියදිවිනසා ගන්නවා නම් දරුවන්ට වර්ධනය කරදිය යුතු පෞරුෂයට මොක ද වුණේ? ඔහුට විශ්වාසනීය කෙනෙකු හඳුන්වා නොදීම කියන ප්‍රශ්න පැන නැඟෙනවා. එදා පවුලක සියලුදෙනා කටයුතු කළේ සමඟිවයි. යම් ආහාරයක් ගෙනා පසුව බෙදාහදාගෙනයි ආහාරයට ගත්තේ. එහෙත් අද එහෙම නැහැ. අධ්‍යාපනය ඇතුළෙත් තිබෙන්නේ තරගය හා සාධනයයි. මේ තරගය හා සාධනයෙන් තොර ජීවිතයක් අපට තිබෙනවා. තරගය හා සාධනයේ ජීවත් වන අයයි ජීවිතයේ කුමන හෝ අවස්ථාවක් ගිලිහී යන්න යනවිට සියදිවි නසා ගන්නේ. ඒ නිසා සියදිවි නසා ගැනීමට මූලික ම හේතුව වී ඇත්තේ ප්‍රේම සබඳතාව ගිලිහී යෑම පමණක් නොවෙයි. ඇතුළේ සැඟවුණු කරුණු රැසක් තිබෙන බව අපට පැහැදිලියි. අනෙකුත් සියදිවි නසා ගැනීම්වල තත්ත්වයත් මෙයමයි."